Sunday, May 5, 2024

ලෝක ආඝාත දිනය අදයි

Must read

 

සෑම වසරකම ලෝක ආඝාත දිනය ලෝක ආඝාත සංගමය මගින් නවමු තේමාවක් යටතේ සමරනු ලබයි. එම තේමාව කාලානුරූපව වෙනස් වන අතර මෙවර ලෝක ආඝාත දිනයේ තේමාව වනුයේ වටිනා කාලය රැකගමු… ආඝාතයේ රෝග ලක්ෂණ හදුනාගනිමු… යන්නයි. මෙවර ලෝක ආඝාත දිනය ඔක්තෝම්බර් 29 වනදාට එනම් අදට යෙදී ඇත.

ආඝාතය යනු මොළය ආශ්‍රිත රුධිර නහර වල ඇතිවන රෝගී තත්ත්වයකි. මේ නිසා සිදුවන මරණ සහ ආබාධිත වීම් සංඛ්‍යාව ඉතාමත් ඉහළ වන අතර ලෝකයේ මරණ සිදුවීමට මෙම ආඝාතය නොහොත් අංශභාගය ප්‍රධානම හේතුවක් වෙයි.

2022දී ප්‍රකාශයට පත්කළ ගෝලීය ආඝාත දත්ත පත්‍රිකාවට අනූව ආඝාතිය ව්‍යාප්තිය, මරණ සහ ආබාධිතවීම් පිළිබදව ඉතා බැරෑරුම් තොරතුරු වාර්තාවෙයි. පසුගිය වර්ෂ 17ක කාලය තුළදී ආඝාතය වැළදීමේ අවධානම 70%කින් වැඩිවී ඇති අතර ඒ නිසා සිදුවන මරණ සංඛ්‍යාව 43%කින් ඉහළ ගොස් ඇත. මෙම මරණ වලින් 86%ක් සහ ආබාධිත වීම් වලට ලක්වන්නන්ගෙන් 89%ක්ම සිදුවන්නේ මධ්‍යම අඩු ආදායම් සහ අඩු ආදායම් සහ අඩු ආදායම් ලබන ලංකාව වැනි රටවල් වල වීමද විශේෂයකි.

ලංකාවේ වර්ෂයකට 60,000ක් පමණ මෙම ආඝාතය හේතුවෙන් රෝහල් ගතවෙයි. ඉන් 4000ක් පමණ මියයයි. වර්තමානය වන විට දැනුවත් කිරීම් තුළින් රෝගී තත්ත්වය ඇතිවූ වහාම වෙනත් ප්‍රතිකාර වලට යොමුනොවී රෝහල්ගත වීම සදහා යොමු කිරීමෙන් රෝගය හේතුවෙන් සිදුවන මරණ සහ ආබාධිත වීම් අඩුකර ගැනීමට හැකිවී ඇත.

ලෝක ආඝාත සංගමය විසින් ලෝක ආඝාත දිනය ප්‍රකාශයට පත්කර ඇති අතර ශ්‍රී ලංකාවේ ජාතික ආඝාත සංගමය ක්‍රියාත්මක වෙයි.

යම් පුද්ගලයෙකුට ආඝාතය වැළදුනහොත් රෝගියාව සන්සුන් කරවා වම් ඇලයට හරවා හාන්සි කිරීම වැදගත් වන අතර මෙහිදී රෝගියාට කිසිවක් ආහාරයට ගැනීමට හෝ පානය කිරීමට නොදිය යුතුය. මෙවන් අවස්ථාවක රෝගියා හට සිහි කල්පනාව නැතිවීමක් සිදු නොවන අතර අප්‍රාණික වීමක් පමණක් සිදුවෙයි. මෙවන් විටක කිසිදු ඖෂධයක් හෝ පානයට දීම නුසුදුසු වෙයි. එනම් ගිලීමේ අපහසුතාවය හේතුවෙන් පිට උගුරේ යා හැකිය. එවන් අවස්ථාවක රෝගියාගේ හුස්මගැනීම ආදිය පරීක්ෂාකර හැකි ඉක්මණින් ගිලන් රථයක් ආධාරයෙන් රෝහල්ගත කිරීම වැදගත් වෙයි.

අප රටෙහි බොහෝ වශයෙන් මරණ සදහා හේතුවන දියවැඩියාව, අධි රුධිර පීඩනය, ආදී බෝ නොවන රෝග මෙන්ම පිළිකා ශ්වසන රෝග ආදී රෝග රැසක් සදහාම අහිතකර ආහාර රටා හේතු වෙයි. එනම් තෙල්, සීනි, ලුණු අධික ආහාර ගැනීම හේතු සාධක වෙයි. අධිකරුධිර පීඩනය හෘදයාබාධ, වකුගඩු අකර්මන්‍ය වීම් සහ ආඝාතය වැනි රෝගී තත්ත්වයන් ඇතිවීමට බලපානු ලබයි.

ලුණු සීනි සහ සංතෘප්ත මේද අධික ආහාර වලින් වැළකී සිටීම නිරෝගී දිවියකට හේතු වන අතරම මෙම සංඝඨක අධිකව අඩංගු වනුයේ ක්ෂණික සහ පිසූ ආහාර වල වෙයි. මේවාට විකල්ප වශයෙන් නැවුම් එළවලු සහ පළතුරු භාවිතා කිරීමට යොමුවිය යුතුය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදී ඇති දත්ත වල‌ෙ අනූව දිනකට පස් පංගුවක් පමණ නැවුම් එළවලු සහ පළතුරු ආහාරයට ගත යුතු වෙයි. මෙහිදී එළවලු වර්ග 03ක් සහ පළතුරු 02ක් දිනකට භාවිතයට ගත හැකිනම් එය වැදගත් වෙයි.

විස්තරය ඊයේ (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ආඝාත දිනය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව ඇසුරෙනි.

මෙම මාධ්‍ය සාකච්ඡාව සදහා ජාතික ආඝාත සංගමයේ සඝාපති ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය සහභාගී වූහ.
news.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article