Friday, May 17, 2024

හදවත පමණක් නොව වකගඩු හා අක්මාවත් දන්දුන් සම්පත්ගේ කථාව

Must read

Heart-Operation-Successful-In-Kandy-Hospital

මෙරට වෛද්‍ය ඉතිහාසයේ ප්‍රථම වරට කළ හදවත් බද්ධ කිරීමේ සැත්කම සාර්ථක බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීම මත ඉදිරියේදී මහනුවර මහ රෝහලේදී කරන බවත් රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

වෛද්‍ය ඉතිහාසයේ ප්‍රථම වරට සිදුවූවක් වූ මෙම විශිෂ්ට බද්ධ කිරීම මහනුවර මහ රෝහලට විශේෂ වන බව ඊයේ (10දා) මහනුවර මහ රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවකදී රෝහල් අධ්‍යක්‍ෂවරයා කීවේය.

මහනුවර මහ රෝහලේදී මෙරට රෝහල් රැසක විශේෂඥ වෛද්‍යවරුන් විසිදෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් පැය හතක පමණ කාලයක් කළ බද්ධ කිරීමේ සැත්කම පිළිබඳ අදහස් දැක්වූ වෛද්‍ය සමන් රත්නායක මහතා මාධ්‍ය හමුවේදී මෙසේ ප්‍රකාශ කෙළේය.

‘මහනුවර මහ රෝහලේ හදවත් රෝගාබාධවලට පත් රෝගීන් රැසක් සිටිනවා. එවැනි අවස්ථාවක රිය අනතුරක් හේතුවෙන් මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින 22 හැවිරිදි තරුණයකු මොළය මරණයට පත්වූ බව තහවුරු වුණා. ශල්‍යාගාරය තුළ හදවත යන්ත්‍රය ඇසුරින් ක්‍රියාත්මක කළත් මෙම තරුණයා ජීවත් කළ නොහැකියි.
මේ අතර හුස්ම ගැනීමේ අසීරුතාව හේතුවෙන් අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි මවක මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා. ඇයගේ හදවතේ ක්‍රියාකාරිත්වය තිබුණේ 12%ක තත්ත්වයේයි. මේ අතර හදවත් සැත්කම් පිළිබඳ පුහුණුව ලැබූ විශේෂඥ වෛද්‍යවරුන් ඇය සඳහා හදවත් බද්ධ කළ යුතු බව සැලසුම් කළ බව මට ප්‍රකාශ කළා.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම අගනා සැත්කම කිරීමට තීරණය කළේ. මේ සඳහා මුලින්ම මොළය මියගිය තරුණයාගේ පවුලේ අනුමැතිය ලබා ගත්තා. එහිදී තරුණයාගේ හදවත පමණක් නොව වකුගඩු, අක්මාව ආදියද බද්ධ කිරීම සඳහා පරිත්‍යාග කිරීම ගැන තරුණයාගේ පවුලේ සාමාජිකයන්ට අප කෘතවේදී වෙනවා.

හදවත් රෝගීන් විශාල ප්‍රමාණයක් මෙරට සිටින අතර ඔවුන්ගේ ජීවිත රැක ගැනීම වෙනුවෙන් විවිධ සැත්කම් කරනවා. මෙරට වෛද්‍ය ඉතිහාසයේ ප්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම සඳහා මහනුවර මහ රෝහල, පේරාදෙණිය ශික්‍ෂණ රෝහල, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල, වැලිසර හා රිජ්වේ ආර්යා රෝහල ඇතුළු රෝහල් රැසක වෛද්‍යවරුන්, සෙසු කාර්ය මණ්ඩලය විශේෂ සහයෝගයක් ලබා දුන්නා.
ඉකුත් 07 වැනිදා රාත්‍රි 08ට පමණ ආරම්භ කළ මෙම සැත්කම පසුදින අලුයම 1.30ට පමණ සාර්ථකව අවසන් කිරීමට අපට හැකියාව ලැබුණා. හදවත බද්ධ කිරීමට පත් කාන්තාව නිරෝගී සුවයෙන් ඉන්නවා’යැයි වෛද්‍ය සමන් රත්නායක මහතා කීවේය.

තනි කාර්යයක් ලෙස නොව හෘද, හෘද රෝග, නිර්වින්දන, රුධිර පාරවිලයන, වයිරස්, ස්නායු ශල්‍ය, අධිකරණ වෛද්‍ය ඇතුළු අංශ ගණනාවක් නියෝජනය කරන පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම සැත්කම කෙරිණි.

මහනුවර මහ රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවේදී හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රොෂාන් පරණමාන, ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ලෙස්ලි සිරිවර්ධන, රුධිර පාරවිලයන පිළිබඳ විශේෂඥ වෛද්‍ය ධර්මා සමරකෝන්, හෘද රෝග නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ජගනි පෙරේරා, හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් වන කේ. ඥානකාන්තන්, අනිල් අබේවික්‍රම සහ මුදිත ලංසක්කාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද මෙහිදී අදහස් පළ කළහ.

මෙම හදවත් බද්ධ සැත්කම සඳහා හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් වන කේ. ඥානකාන්තන්, අනිල් අබේවික්‍රම සහ මුදිත ලංසක්කාර, හෘද රෝග විශේෂඥ සුනේත්‍රා ඉරුගල්බණ්ඩාර, රොෂාන් පරණමාන, නිර්වින්දන වෛද්‍යවරු වන ජගනි පෙරේරා, අරුණි ජයසේකර, ප්‍රියන්ත දිසානායක, රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍ය ධර්මා සමරකෝන්, වයිරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල, ක්‍ෂුද්‍රජීව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශිරාණි චන්ද්‍රසිරි, ස්නායු ශල්‍ය විශේෂඥ ලෙස්ලි සිරිවර්ධන, අධිකරණ වෛද්‍ය විශේෂඥ එම්. ශිවසුබ්‍රමනියම්, ස්නායු නිර්වින්දන විශේෂඥ වෛද්‍ය රවී වීරකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු කණ්ඩායමක් සහභාගි වී ඇත.

උපුටාගැනීම – http://www.citizen.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article