Monday, May 20, 2024

රටින් ගේන බාස්මති සහල් වල ප්‍රමිතිය පිළිබද ගැටළු රැසක් ?

Must read

ඉකුත් 2021 වසරේ සිට මේ දක්වා වූ කාලය තුළදී මෙරටට විදෙස් රටවලින් ආනයනය කිරීම සඳහා පරීක්ෂාවට ලක්කරන ලද බාස්මතී සහල් සාම්පල 365 කින් 162 ක්ම නියමිත ප්‍රමිතියට අනුකූලව නොතිබූ බව බතලගොඩ වී පර්‌යේෂණ හා සංවර්ධන ආයතනය විසින් කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි ශ්‍රි ලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ

මෙම සාම්පල 365 අතුරින් ආනයනය සඳහා ප්‍රමිතියෙන් යුතුව පැවතියේ සාම්පල 203ක් පමණක් බවද අනාවරණය වන බව එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

 

එම කාලය තුළදී මෙරටට ඉන්දියාව, පාකිස්තානය ඇතුළුව විවිධ රටවලින් මෙරටට බාස්මතී සහල් ආනයනය කර තිබේ.

2021 වසරේ සිට මේ දක්වා මෙරටට ආනයනය කරන ලද බාස්මතී වර්ගයට අයත් සහල් සාම්පල පිළිබඳ තත්ත්ව වාර්තාවක් ලබා දෙන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර බතලගොඩ වී පර්‌යේෂණ හා සංවර්ධන ආයතනයට පසුගියදා දැනුම් දුන්නේය.

ඒ අනුව එම වසර තුනක කාලය තුළ ඉන්දියාවේ සිට බාස්මතී වර්ගයට අයත් සහල් ආනයනය සඳහා සාම්පල 109 ක් බතලගොඩ වී පර්‌යේෂණ හා සංවර්ධන ආයතනයට ලබාදී තිබුණි. ඉන් සාම්පල 68 ක් පිළිගත හැකි මට්ටමක තිබූ අතර 41 ක් නියමිත ප්‍රමිතියට අනුකූල නොවීම නිසා ප්‍රතික්ෂේප විය.

එමෙන්ම එම කාලය තුළ පාකිස්තානයෙන් ආනයනය කිරීම සඳහා සහල් සාම්පල 214 ක් ඉදිරිපත් කර තිබූ අතර ඉන් සාම්පල 121 ක් පිළිගත හැකි මට්ටමක තිබුණි. නමුත්, සහල් සාම්පල 93 ක් නිසි ප්‍රමිතියට නොතිබීම නිසා ප්‍රතික්ෂේප කර ඇත.

එමෙන්ම වෙනත් රටවලින් සහල් සාම්පල 42 ක් ද ඉහත සඳහන් කාලය තුළ පර්‌යේෂණායතනයට සපයා තිබූ අතර ඉන් සාම්පල 14 ක් සුදුසු ප්‍රමිතියෙන් යුක්ත විය. එමෙන්ම සාම්පල 28 ක් ප්‍රතික්ෂේප වූ බව ද බතලගොඩ වී පර්‌යේෂණ හා සංවර්ධන ආයතනය විසින් ඇමැතිවරයා වෙත ලබා දුන් වාර්තාවේ දැක්වේ.

විශේෂයෙන්ම මේ නත්තල් සමයේ බාස්මති සහල් වලට වැඩි ඉල්ලුම් පවතින අතර තමන් විසින් ඉහල මිළක් ගෙවා ලබාගන්නා සහල් ප්‍රමිතිය ගැන මෙවැනි හෙළිදරව් කිරිම් ඉතාමත් වැදගත් වේ.
මුලාශ්‍රය – ශ්‍රි ලංකා මිරර්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article