Thursday, May 2, 2024

මෙරටින් සමු ගෙන යන මුතුරාජා වෙනුවෙන් දැන් අපට කළ හැක්කේ කුමක්ද?

Must read

 

ධර්ම දීපය නමින් අප විසින් පමණක් හඳුන්වා ගන්නා මේ රට තුළ 2001 වසරේ සිට පුරා වසර විසි දෙකක් ජීවත් වන ලදුව අනේක විධ වද බන්ධනයන්ට ලක් වූ මුතුරාජා හස්තියා නැවත තායිලන්තයට ආරක්ෂිතව ගුවන් මගින් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය පෙරහුරු මේ දිනවල කඩිනමින් සිදුවෙමින් තිබේ. බහාලුම් ප්‍රවාහන ට්‍රක් රථ ට්‍රේලර් අලි ඇතුන් ප්‍රවාහන ට්‍රේලර් ආදී නිෂ්පාදනයේ පුරෝගාමී ශ්‍රී ලාංකේය ආයතනයක් වන TANTRI විසින් නිර්මාණය කරන ලද විශේෂ රැඳවුමක බහා මුතුරාජා ගුවන් මඟින් තායිලන්තයට ගෙන යාමට නියමිත ය.මුතුරාජා ඊට ඇතුල් කිරීම,එහි රැඳී සිටීම සහ පිටතට ගැනීම් ආදියේ දී හස්තියා ඊට දක්වන ප්‍රතිචාර අධ්‍යයනය කරමින් ඊට හුරු කරවීම මේ දිනවල සිදුවෙමින් පවතී.මේ වන විට අදාල රැඳවුම තුළ මුතුරාජා පැය දෙකකට වැඩි කාලයක් කිසිදු අපහසුවකින් හෝ ප්‍රතික්ෂේප කිරීමකින් තොරව රැදී සිටින බව වාර්තා වෙයි.ඒ අතර රැඳවුමේ ප්‍රධාන දොරවල් සහ අතිරේක කවුලු වසා දමමින් බාහිරින් ඇති කරන ලද ශබ්ද වලට පවා කිසිදු ප්‍රතිචාරයක් පවා නොදක්වමින් මුතුරාජා මනාව සිය පුහුණුව නිම කරමින් සිටින බව ද වාර්තා වේ. භාණ්ඩ ප්‍රවාහන ගුවන්‍ යානා තුළට සාමාන්‍ය මගී ප්‍රවාහන ගුවන් යානා වල මෙන් මගීන් සඳහා වන “කැබින් එකක්’ නැත.එබැවින් ඒවාට සාපේක්ෂව වැඩි ශබ්දයක් භාණ්ඩ ප්‍රවාහන ගුවන්‍ යානා තුළට ඇතුළු වෙයි.ඒ නිසා මුතුරාජා එම ශබ්ද වලට හුරු වීම ද අතිශය වැදගත් වේ. එසේ නොමැති වුව හොත් හදිසියේ හට ගන්නා කම්පන තත්වයක් මත සතා මරණයට පත් වීමට පවා යම් අවකාශයක් තිබේ.ඒ මිනිසුන්ට සාපේක්ෂව ඔවුන්ගේ ශ්‍රවණ පාරාසය සහ සංවේදිතාවන් වෙනස්ම අගයක් ගන්නා බැවිනි. 20hZ මිනිස් ශ්‍රවණ පාරාසය වන අතර අලි ඇතුන් ගේ එම පාරාසය 14-16hZ කි.ඔව්හු මිනිස් ශ්‍රවණ පාරාසයට පහලින් ඇති අධෝ රක්ත ශබ්ද පවා භාවිතා කරති. ශ්‍රී ලංකාවේ සිට මුතුරාජා ගුවන් මඟින් රැගෙන යාමට බලාපොරොත්තු වන තායිලන්තයේ Chiang mai ගුවන් තොටුපළ වෙත පියාසර කිරීමට පැය හයකට කට අධික කාලයක් ගත වෙයි. ඊට අමතරව දෙහිවල සත්ව උද්‍යානයේ සිට කටුනායක ගුවන්තොටුපලටත් ගුවන් තොටුපොළ සිට තායිලන්තයේ මුතුරාජා නිරෝධායනයට ලක් කිරීමට නියමිත ස්ථානයටත් ගොඩබිම් මගින් ප්‍රවාහනයට ද කාලයක් ගත වනු ඇත.එනිසා ඒ සියල්ල නිමාවන තුරු මෙම රැඳවුම තුළ පැය 12 කට වැඩි කාලයක් මුතු රාජාට ගත කිරීමට සිදු වනු ඇත.ඔහුට තායිලන්තයේ දී සැබෑ නිදහස ලැබෙනුයේ ඉන් පසුව ය.එබැවින් හස්තීන් සම්බන්ධ විශේෂඥතාවකින් යුතු පශු වෛද්‍ය වරයකු සේම අලි ඇතුන් හැසිරවීම සම්බන්ධ මනා පරිචයක් සහිත ඇත් ගොව්වකු ඇතුළු තායිලන්ත කණ්ඩායමක් විසින් මේ වන විටත් මුතු රාජා මුළුමනින් සිය භාරයට ගෙන ඇත.ඒ මුලදී පැමිණි තායිලන්ත ඇත් ගොව්වාට මුතු රාජා හසුරුවා ගත නොහැකිව ටික කලකින් ආපසු හැරී ගිය පසුව ය.

විශේෂයෙන් අප රටේ ඇත් ගොව්වන් අලි භාෂාව ලෙස භාවිතා කළ වදන් වලට හුරු වී සිටි මුතු රාජාට “තායිලන්ත අලි බාසාව ” නොතේරීම මීට හේතු වන්නට ඇත.දැනට වාර්තා වී ඇති අන්දමට මුතු රාජා අතිශය සංවේදී සත්වයෙකි.ඔව්හු ඇත් ගොව්වන් හමුවේ “හොඳට හොඳයි නරකට නරකයි” ආකාරයේ ප්‍රතිචාර දක්වන බව හස්ති ඉන්දියාවේ හස්ති චර්යාවන් පිළිබඳ හැදෑරීම් කළ විද්වත්හු සහ සත්ව චර්යාවේදීහු කියති.අඩුම තරමින් අප රටේ එබඳු විෂයන් වත් නැත.ලොව දියුණු රටවල් හමුවේ අප රටේ පශු වෛද්‍ය ක්ෂේත්‍රය තවමත් දහ නව වන සියවසවත් ඉක්මවා නැත.

තායිලන්ත රාජකීය පවුලේ පරිත්‍යාගයක් ලෙස මුතුරාජා සහ කණ්ඩුල ඇත් පැටවුන් දෙදෙනා තායිලන්ත රාජකීය ගුවන් හමුදාවට අයත් C130 Hercules වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇත්තේ 2001 වසරේ ය.එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් කණ්ඩුල ඇත් පැටවාගේ භාරකාරත්වය කැළණිය රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ට හා සහ මුතුරාජා ඇත් පැටවාගේ භාරකාරත්වය එවකට අලුත්ගම කන්දේ විහාරයේ විහාරාධිපති අපවත් වී වදාළ බටුවන්හේනේ බුද්ධරක්ඛිත හිමියන්ට සන්නස් පත්‍ර මගින් ලබා දී තිබේ. කන්දේ විහාරයේ සිටි මුතුරාජා මුල් කාලයේ පළපුරුදු ඇත්ගොව්වකු විසින් බලා ගෙන ඇතත් පසුව සතා බලා ගැනීම ලොරි රියැදුරකුට භාර දීම මත ඔහු අලින් බලන ශාස්ත්‍රය නොදන්නා නිසා මුතු රාජා ද ඉතා සාධාරණ ලෙස හිතුවක්කාර වී තිබේ.එහි ප්‍රතිඵලය වී ඇත්තේ ලොරි රියැදුරා විසින් මුතුරාජාට දරුණු වද හිංසා පමුණුවමින් සතාට කායික තුවාල පවා ඇති කොට හස්තියා ගේ ජීවිතාවදානමක් දක්වා තත්වය බරපතල කිරීම ය.පසුව RARE (Rally for Animal Rights and Environment) සංවිධානය ප්‍රමුඛ සත්ව ලෝලීන් සහ සත්ව හිමිකම් සංවිධාන මුතුරාජාට සිදුවන මෙම බිහිසුණු අපරාධය සම්බන්ධයෙන් අප රටේ විවිධ පාර්ශව දැනුවත් කොට අවසානයේ තායිලන්ත බලධාරීන් දැනුවත් කොට තිබේ.ඒ අනුව 2022 වසරේ නොවැම්බරයේ සිට මුතුරාජා දෙහිවල සත්වෝද්‍යානයේ රඳවා තිබේ.ඒ වන විට මද කිපීම් කාලයක පසුවන අතරේ බරපතල රෝගාබාධ තත්වයකට පත්ව සිටි මුතුරාජාට සැලකිය මට්ටමේ සුවයක් ලබා දීමට දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය මධුෂා පෙරේරා ඇතුළු කණ්ඩායමට හැකිව තිබේ. කන්ද විහාර භාරකාරත්වයෙන් ලැබුණු සැලකිලි කෙතරම් අගනේ ද යත් ඒ වන විටත් මුතුරාජා මන්ද පෝෂණය මත පදනම් වූ රක්ත හීනතාවයෙන් පවා බරපතළ ලෙස ඔත්පල වී සිට ඇත.

තායිලන්ත රජය විසින් මුතු රාජා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා එවූ තායිලන්ත ඇත් ගොව්වා ආපසු ගිය පසුව මෙහි පැමිණි කණ්ඩායම මේ වන විට සතා ගේ තත්වය ඉතා නරක අතට හැරී ඇති බව තායිලන්ත රජය වෙත වාර්තා කොට ඇත. එම සතා මෙරට දීම තායිලන්ත නිලධාරීන් වෙතට පත් කිරීමටත් සතා හැකිතාක් ඉක්මනින් ඉතා ආරක්ෂිත ලෙස තායිලන්තයට ගෙන්වා ගැනීමටත් එරට බලධාරීන් තීරණය කරන්නේ ඉන් පසුවය.මෙහි දී නැවත මුතුරාජා සම්බන්ධ කිසිදු කටයුත්තකට ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ කර නොගන්නා ලෙස තායිලන්ත රජය උපදෙස් දී තිබේ.නමුදු ඒ වන විටත් මුතු රාජා දෙහිවල සත්වෝද්‍යානයේ අලි ඇතුන් හසුරුවන සුනිල් නමැති අයට අතිශයින් කීකරු වී සිටි බව කියනු ලැබේ.ඔහු අලි ඇතුන් බලා ගැනීම සම්බන්ධ එතරම් නිපුනත්වයක් දරනෙකි.නමුත් තායිලන්ත නිලධාරීන් ඒ පිළිබඳවත් තැකීමක් නොකර ඇත්තේ මුතු රාජාගේ සිරුරේ ඇති අනේක විධ තුවාල වලට අමතරව ඉදිරි පාදයක් ද අකර්මණ්‍යව තිබීම නිසා විය හැක.ඒ අකර්මන්‍යතාව අලුත්ගම කන්දෙ විහාරයේ දී ලොරි රියැදුරා ගෙන් මුතුරාජාට ලැබුණු කුළුගෙඩි පහරක ප්‍රතිඵලයක් විය හැකි බව ඇතැමුන් ගේ මතයයි.

නමුත් තායිලන්තය මුතුරාජා එරටට ගෙන යාමේ දී රඳවා තබන ලෝහමය රැඳවුම පමණක් ජාත්‍යන්තර කීර්ති නාමයක් වන ශ්‍රී ලාංකේය ආයතනයක් වන TANTRI සමාගමට දී තිබේ. වෘත්තියෙන් නාවික ඉංජිනේරුවෙකු වන ජෝන් හපුතන්ත්‍රි විසින් නාවික ඉංජිනේරුමය අවශ්‍යතා සපුරාලීම පිණිස 1979 අරඹන ලද TANTRI 1982 දී සිය පළමු ට්‍රේලරය නිෂ්පාදනය කරන ලදී. එතැන් සිට TANTRI විසින් ට්‍රේලර් වර්ග රාශියක් සැලසුම් කර, නිෂ්පාදනය කර අපනයනය කර ඇති අතර ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා බොහෝ රටවල බර වානේ සහ ලෝහ නිෂ්පාදන ව්‍යාපෘති රැසකට සම්බන්ධ වී තිබේ. අද TANTRI සිය නිෂ්පාදන පරාසය ට්‍රේලර්වල සිට ටැංකි, ඉදිකිරීම් කම්හල් සහ උපකරණ, ගබඩා ටැංකි, සිලෝස්, ව්‍යුහයන්, උඩිස් සහ ගැන්ට්‍රි දොඹකර ආදිය දක්වා පුළුල් කර ඇත.මේ වන විට අප රටේ ධාවනය කෙරෙන අලුත්වැඩියා කරන ලද දුම්රිය බලවේග කට්ටල හා මැදිරි යම් ප්‍රමාණයක් ද ඔවුන් විසින් සකසා තිබේ.අප මේ වචන කිහිපය මෙහි සටහන් කරනුයේ මෙම මුතුරාජාගේ කටයුතු සම්බන්ධයෙන් හවුල් කරගත් එකම ආයතනය ඔවුන් බැවින් ඒ සම්බන්ධයෙන් කරන යම් සැලකීමක් ලෙසිනි.

මේ අතර ඉකුත් 20 වන දා පාර්ලිමේන්තුවේදී ද මෙම මුතුරාජා සම්බන්ධ ගැටළුව පිළිබඳව සංවාදයක් මතු විය.එහි දී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ද විෂය භාර අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චිගෙන් ඒ පිළිබඳව කරුණු විමසීමක් කරන ලදී. ඒ සතුන්ට ඡන්ද බලය නොමැති නිසා හෝ අහිංසාව යනු තමන්ට නොගැලපෙන විෂයක් නිසා මුතුරාජා ගැන කතා කිරීමෙන් වැලකී හිඳින විප්ලවකාරී විපක්ෂ මන්ත්‍රීන් පවා මුනිවත රකින අතරේ ය.එහි දී පසුගිය කොවිඩ් සමයේ ජාතියට අති විශාල විහිළු සම්භාරයක් එක් කරමින් රෝග සුවයට සෘජුවම ඉවහල් වන අන්දමින් ජාතියේ මානසික ආතතිය විශිෂ්ඨ ලෙස පහ කළ පවිත්‍රා වන්නිආරච්චි ඇමති වරියට අඩුම තරමින් එබඳු විහිළුවක් වත් නිර්මාණය කර ගැනීමට නොහැකි විය එහෙත්, ඒ වෙනුවට පිළිතුරු දුන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නැඟී සිටිමින් කියා සිටියේ මුතුරාජා ඇතා සම්බන්ධ කරුණ නිසා තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයට කිසිදු ගැටළුවක් මතු වී නැතැයි තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවකි.එහි දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, තමන් පසුගිය සතියේ කළ තායිලන්ත නිල සංචාරයේ දී එරට අගමැතිවරයා හමුවූ අවස්ථාවේ, ඇතා සම්බන්ධ සිද්ධිය ගැන තමන් රට වෙනුවෙන් කනගාටුව පළ කළ බව ය. ආසියාවේ නායකයෙකු ලෙස, රාජ්‍ය නායකයෙකුට හෝ රාජ්‍ය නායකයෙකු නියෝජනය කරමින් තායිලන්ත රජු හමුවීමේ ඉතා විරල අවස්ථාව තමන්ට රජු විසින් ලබාදුන් බවත්,ඒ අනුව දෙරට අතර මිත්‍රත්වය හා විශ්වාසය තහවුරු වී ඇති බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවත්, අග්‍රාමාත්‍ය වරයා උජාරුවෙන් පැවසීය.එහි දී ඔහුගේ එම ප්‍රකාශය අපට ඉතා හුරු පුරුදු අව්‍යාජ ගැමි සිතුවිලි වලට ආරෝපණය කළ හොත් කිව හැක්කේ “හරි නම් උන් අපේ පු…ට පයින් ගහලා ගහලා පන්නන්නයි තිබුණේ.ඒත් පුදුමේ කියන්නේ උන් ඒ ගැන ලොකු තැකීමක් කරපු බවක් වත් හැඟෙව්වෙ නෑනේ”යනුවෙනි.එහෙත් ඊට හේතුව මුතුරාජාට මෙරට දී කළ අපරාධය ගැන ඔවුන් ගේ සිත් කීරි ගැසී ඇතත් ඒ බවක් නොහැඟවීමට තරම් ඔවුන්ගේ ශිෂ්ඨත්වය ප්‍රවර්ධනය වී තිබීම බව සෙසු බොහෝ දේ සේම එය ද වැටහී නැති අගමැති වරයාට කිව යුතු ය.

එමෙන්ම ඉදිරි දිනයෙක තායිලන්තයට ගෙන යන මුතුරාජාට සාත්තු කොට නිරෝගිභාවයට පත් කිරීමෙන් පසු යළි අපට ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් කන්දේ විහාරාධිපති හිමියන් ලියකියවිලි භාරදී ඇති බව ද අගමැතිවරයා සඳහන් කළේ ඒ සම්බන්ධ තම හයක් හතරක් නොදන්න බව ජවයක් හා පන්නරයක් කර ගනිමිනි.

අර මොකක්දෝ කමක් මහ මුදලි කමටත් වඩා ලොකුය යන ප්‍රකට කියුමක් තිබේ. ,එහෙත් එළඹ ඇති තත්වය හමුවේ ඒ “මොකක්දෝ කම” යන්න වෙනුවට කන්දේ විහාරයේ විහාරාධිපති කම යන්න ඊට වඩා සුදුසු බව අසරණ සතුන්ගේ නාමයෙන් යෝජනා කිරීමට අපට සිදුවෙයි.

ඒ කෙසේ හෝ මුතු රාජා තවමත් තම ජීවිතයේ අවාසනාවත්තම කාල පරිච්ඡේදය නිම කරමින් අප මව් බිම තුළ රැඳී සිටියි.එමෙන්ම ඔහු හෙට අනිද්දා දිනයෙක තමන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දී තනා දුන් ලෝහමය රැඳවුමට නැඟ අප මව් බිමින් සදහටම සමු ගනු ඇත.එහෙත් ඒ දිනය වේලාව සිතේ සනිටුහන් කොට හිඳ මුතුරාජා කටුනායකින් හිස් ආකාශ තලයට නැඟ ඈතින් ඈතට පියඹා යන්නට පෙර ඔහුට පසු ගමන් ගොස් අප සිදු කළ අමන කමට මුතුරාජා ගෙන් සමාව අයැද සිටීමට තරම් මෘදු සිතක් පහළ වේ නම් එයම ජාතියක් වශයෙන් අප යන මෙම පව්කාර ගමන් මඟේ යම් හැරවුම් ලක්ෂයක් වීමට ද බැරි නැතැයි මට සිතෙයි.

හේමන්ත රන්බණ්ඩාර

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article