Monday, May 6, 2024

‘මාධ්‍ය නිදහසට මුවා වී නීති කඩන්න දෙන්නේ නැහැ’

Must read

nimal-bopageමාධ්‍ය නිදහසට මුවා වී නීතිය ඉක්මවා කටයුතු කිරීමට කිසිවකුට ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා අවධාරණය කර සිටියි.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය, ‘දෙරණ’ රුපවාහිනි ආයතනයට අනිසි බලපෑම් කරමින් නිදහස් මාධ්‍යයට අතපෙවීමක් කරන බවට ඇතැම් සංවිධාන විසින් සිදුකරන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඔහු විසින් නිකුත්කළ නිවේදනයක එබව සඳහන්වේ.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් ‘දෙරණ’ රූපවාහිනී ආයතනයට එරෙහිව පරීක්ෂණයක් සිදු කර ඒ පිළිබඳ ක්‍රියාකිරීමට පෙර ඔවුන්ගේ පාර්ශවය වෙනුවෙන් කරුණු දක්වන්නැයි දන්වමින් ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේ මහතා විසින් ‘දෙරණ’ ආයතනයට පසුගියදා ලිපියක් යොමු කර තිබු අතර එය මේවනවිට මාධ්‍ය හරහා ආන්දෝලනයට ලක්ව ඇත.

කෙසේවුවද දෙරණ මාධ්‍ය ජාලයට එරෙහිව විශේෂ විමර්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව නිමල් බෝපගේ මහතා සිය නිවේදනයෙන් යලි අවධාරණය කර සිටියි.

ඔහු විසින් නිකුත්කළ නිවේදනය පහත පළවේ.

විකෘති සංස්කරණයක් :

2016 ඔක්තෝබර් 12 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති ‘සත්විරු සංහිඳ’ උත්සවයේදී ගරු ජනාධිපතිතුමන් විසින් කරන ලද කතාව, එහි හරය විකෘති වන ආකාරයෙන් සංස්කරණය කොට එදින රාත්‍රී සිය ප්‍රවෘත්ති විකාශයන් ඔස්සේ දෙරණ රූපවාහිනී නාලිකාව විසින් ප්‍රචාරය කරන ලද බවට ලැබුණ පැමිණිල්ලකට අදාළව අප අමාත්‍යංශය විසින් ස්වාධීන විමර්ෂණයක් පවත්වන ලදී.

එහිදී එකී විමර්ෂණ කමිටුව විසින් ගරු ජනාධිපතිතුමාගේ මුල් කතාවද දෙරණ රූපවාහිණිය විසින් සංස්කරණය කොට විකාශය කළ කොටසද සියුම්ව පරීක්ෂා කොට ඒකමතිකව තීරණය කර ඇත්තේ උක්ත පැමිණිල්ලෙන් පෙන්වා දුන් පරිදි දෙරණ රූපවාහිණිය විසින් එහි ප්‍රධාන කොටස් කිහිපයක් හරය විකෘති වන ආකාරයෙන් සංස්කරණය කොට ප්‍රචාරය කර ඇති බවයි.

ඒ අනුව ඒ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පෙර ස්වාභාවික යුක්තියේ මූලධර්ම ගරු කරමින් එකී කමිටු තීරණය දෙරණ රූපවාහිනී නාලිකාවට දන්වා ඒ පිළිබඳව ඔවුන්ගේ අදහස ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දෙන ලදී.

‘නීති විරෝධී මාධ්‍ය සංදර්ශන’:

එය මීට පෙරද විවිධ මාධ්‍ය ආයතන වලට එරෙහිව ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් අප අමාත්‍යංශය අනුගමනය කළ සාමාන්‍ය ක්‍රියාමාර්ගය වූ අතර ඊට රාජකාරි මට්ටමින් ප්‍රතිචාර දක්වා අදාළ ගැටලු නිරාකරණය කර ගැනීමට එකී ආයතන කටයුතු කළා මිස ඒ පිළිබඳ ‘නීති විරෝධී මාධ්‍ය සංදර්ශන’ පැවැත්වීමක් සිදු නොවීය.

එහෙත් උක්ත ලිපියට සිය ප්‍රතිචාර ඇතුළත් පිළිතුරු ලිපියක් ඉදිරිපත් කරනවා වෙනුවට දෙරණ රූපවාහිනී අයතනය විසින් තම රූපවාහිනී නාලිකාවේද, ගුවන් විදුලි නාලිකාවේද, වෙබ් අඩවියේද, තම ෆේස්බුක් පිටු ඇතුලු සමාජ ජාල වලද එම ලිපිය ප්‍රසිද්ධියට පත් කරමින් අප අමාත්‍යංශයටද, රජයටද, පෞද්ගලිකව මා හටද අපහාසාත්මක ආකාරයේ දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්භ කොට එය මේ වන තුරුත් දියත් කරමින් සිටින ආකාරය නිල කටයුත්තක් සඳහා විදෙස්ගතව සිටින මා හට අන්තර්ජාලය ඔස්සේ දැකගන්නට ලැබුණි.

ඒ අනුව අධ්‍යාපනය, දැනුම, විනෝදාස්වාදය හා රසඥතාවය සිය ප්‍රේක්ෂකයාට සමබරව ලබාදෙමින් නිරවද්‍යතාවයෙන් හා සද්භාවයෙන් යුක්ත තොරතුරු සම්පාදනය ඔස්සේ වඩා විශ්වාසනීයත්වයක් සහිතව තම මාධ්‍ය මෙහෙවර ඉටුකළ යුතු බවට සියලු මාධ්‍ය ආචාරධර්ම වලින් තමන් බැඳී සිටියදී ඒ කිසිවක් කෙරෙහි සිය ගරුත්වය නොදක්වා තම මාධ්‍ය බලපත්‍රයේ අඩංගු කොන්දේසි වලටද පටහැනිව මාධ්‍ය නිදහස හා මහජන සංඛ්‍යාත අවභාවිත කරමින් සිදු කරනු ලබන මෙකී නීති විරෝධී හා අචාරධර්ම විරෝධී හැසිරීම සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි දෙරණ මාධ්‍ය ජාලයට එරෙහිව විශේෂ විමර්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව මෙයින් දන්වා සිටින අතර මාධ්‍ය නිදහසට මුවා වී නීතිය ඉක්මවා කටයුතු කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවද අවධාරණය කරමි.”

නීතිඥ නිමල් බෝපගේ
ලේකම්​​​​​​​​
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය
www.sinhala.srilankamirror.com/

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article