Thursday, May 16, 2024

භික්ෂු කතිකාවතක අවශ්‍යතාව මුලින්ම පෙන්වා දුන්නේ මහා සංඝරත්නය බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමියෝ පවසති.

Must read

භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත රජයේ අවශ්‍යතාව මත ගෙන එන්නක් නොවන බවත් එවැන්නක අවශ්‍යතාව මුලින් පෙන්වා දුන්නේ මහනාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය විසින්ම බවත් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍යය ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝ පවසති.

මෙවැනි කතිකාවතක අවශ්‍යතාව රජය කිසිදු අවස්ථාවක භික්ෂූන් වහන්සේට පෙන්වා නොදුන් බවද උන්වහන්සේ කීහ.

යෝජිත භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත සම්බන්ධයෙන් අස්ගිරි මහනාහිමි ප්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභික හිමිවරු දැනුවත් කිරීම පිණිස මැදගොඩ අභයතිස්ස හිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ පිරිසක් ඊයේ (01) අස්ගිරි මහ විහාරයට ගිය අවස්ථාවේ අනුනාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

සංඝ සභාව මගින් යම් යම් භික්ෂූන් සඳහා ලබාදෙන දඬුවම් වලට නෛතික බලයක් නොමැති බව කලක පටන් සාකච්ඡාවට බඳුන්වූ ප්‍රශ්නයක් බවත් පාර්ශවයෙන් නෙරපන ලද භික්ෂූන් පවා සිවුරු දරමින් නායක පදවි දරාගෙන සිටීම නිසා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ශාසනික කතාකවතක අවශ්‍යතාව මහ සංඝරත්නය විසින්ම රජයට යෝජනා කළ බවද ධම්මදස්සි හිමියෝ පැවසූහ.

ශාසනික කතිකාවත් ලියාපදිංචි කිරීම සඳහා පමණක් රජය සහයෝගය ලබා දෙන බව පවසමින් ඒ ඒ පාර්ශව වලට කැමැති නිර්නායක අනුව පනත් සකස් කර ගැනීමට අවකාශ ලබාදුන් බවත් ඊට අකමැති පාර්ශව වලට පැරණි සම්ප්‍රදායන් අනුව පෙර ලෙසම ක්‍රියාකළ හැකි බවත් ප්‍රකාශවූ බවද උන්වහන්සේ කීහ.

සංඝ සභා මගින් යෝජනා කරන දඬුවම් ක්‍රියාත්මක කිරීමට රාජ්‍යය තන්ත්‍රයේ සහය අවශ්‍යය බවද අනුනාහිමියෝ ප්‍රකාශ කළහ.

ඒ ඒ නිකාය අතර සම්මුති හා සම්ප්‍රදායන් වෙනස් බැවින් සෑම පාර්ශවයකටම පොදු කතිකාවතක් ලියාපදිංචි කිරීම අසීරු වුවත් භික්ෂූන් අතින් සිදුවන රටේ පෙනෙන්නට තිබෙන වැරදි සම්බන්ධයෙන් පොදු එකඟතාවකට පැමිණීමට සියලු පාර්ශව වලට හැකි බවද උන්වහන්සේ කීහ.

මෙහිදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික,රංගිරි දඹුලු රජමහ විහාරාධිපති ගොඩගම මංගල නාහිමියෝ අදහස් දක්වමින් ආණමඩුවේ අනුනාහිමියන් දක්වන අදහස් සමඟ තමන් වහන්සේ එකඟ නොවන බව ප්‍රකාශ කළහ.

සංඝ සභා මගින් නියම කරන දඬුවම් ක්‍රියාත්මක කිරීම පිණිස වෙනම අධිකරණ පද්ධතියක් සකස් කිරීම පිණිස යෝජනා කළාක් මිස කතිකාවත් ලියාපදිංචි කිරීමට කිසිදු විටෙක මහ සංඝරත්නය රජයෙන් ඉල්ලා නොමැති බවද උන්වහන්සේ කීහ.

උපුටාගැනීම -http://www.dinamina.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article