Monday, April 29, 2024

බදියුදීන් ඇතුළු පිරිසට එරෙහි විල්පත්තු නඩුව යළි විභාගයට

Must read

 

විල්පත්තුව රක්ෂිත වනාන්තරයේ අක්කර විශාල ප්‍රමාණයක් එළිකොට ඉදිකර තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු පිරිසකට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනුකොට තිබූ පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීමට නඩුව විභාග කළ විනිසුරුවරයා අකමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන් එම නඩුව යළි විමසීමට අභියාචනාධිකරණය ඊයේ (28දා) තීරණය කළේය.

2015 වසරේදී පවරන ලද මෙම නඩුව විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා මෙම පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීමට අකමැත්ත පළ කිරීම හේතුවෙන් එම පෙත්සම වෙනත් විනිසුරු මඬුල්ලක් හමුවේ යළි විමසීමට මෙලෙස නියම කෙරිණි.

දීර්ඝ කාලයක් පුරා විභාග කළ මෙම පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට දින නියම වී තිබුණේ මීට වසරක පමණ කාලයකට පෙර වුවද, එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අවස්ථා තුනකදීම කල්ගිය තත්ත්වයක් තුළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා හමුවේ මෙම පෙත්සම කැඳවන ලදුව නඩුව විභාග කළ විනිසුරුවරයා මෙහි තීන්දුව ප්‍රකාශ කිරීමට අකමැත්ත පළ කොට ඇති බව දැනුම් දුන්නේය.

ඒ අනුව පෙත්සම ලබන ජූලි මස 31 වැනිදා සිට අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්ධුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් හමුවේ යළි විමසීමට නියම කෙරිනි.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කොට තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ඇතුළු නව දෙනෙකු නම් කොට තිබිණි.

රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති විල්පත්තු වනාන්තරය තුළ අනවසර ඉදිකිරීම් සිදු කිරීම තුළින් විශාල පාරිසරික හානියක් සිදුවන බව පෙන්වා දෙන පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය පරිසර නීති උල්ලංඝනය කරමින් ඉදිකර ඇති මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලෙස නියම කරමින් වගඋත්තරකරුවන්ට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කොට ඇත.

උද්ගතව තිබූ තත්ත්වය අනුව ලබන ජූලි 31 වැනිදා සිට මෙම පෙත්සම වෙනත් විනිසුරු මඬුල්ලක් හමුවේ විමසීමට නියම කළ අධිකරණය, එදින මෙම පෙත්සම යළි කැඳවීමටද නියම කළේය.

(Ada.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article