Saturday, May 18, 2024

තවත් ටෙන්ඩර් මගඩියක් – කටුනායක ‘ඩියුටි ෆ්‍රී’ය අත යට ගනුදෙනුවකට තීන්දු වේ

Must read

BTI32238_fmtකටුනායක ගුවන් තොටුපොළෙහි තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ වෙළෙඳ අයිතිය ඉන්දීය සමාගමකට ලබා දීම පිටුපස පිළිගත් ටෙන්ඩර් පටිපාටි කෙලෙසමින් රුපියල් ලක්ෂ 500 කට ආසන්න අත යට ගනුදෙනුවක් මත සිදුව ඇති බව වාර්තා වෙයි.

විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරන ලෙස මෙම අත යට ගනුදෙනුව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රබලයන් කිහිපදෙනකු සහ අදාළ ටෙන්ඩරය ලබාගත් ඉන්දීය සමාගම වන ෆ්ලෙමින්ගෝ (Flemingo) සමාගමේ ඉහළ නිලධාරීන් කිහිපදෙනකු අතර සිදුව ඇත.එසේම එම අත යට ගනුදෙනුව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ සහාය ද ලැබී ඇති බව සඳහන් කරන එම ආරංචි මාර්ග ඒ හේතුවෙන් මෙතෙක් තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ සේවය කළ සේවක සේවිකාවන් 300 කට ආසන්න ප්‍රමාණයක රැකියා අවස්ථාව ද අහිමිව යන තත්ත්වයක් උද්ගතව ඇති බව ද පෙන්වා දෙයි.මේ සම්බන්ධව අප වෙත ලැබී ඇති තොරතුරු මෙන්ම අප විසින් හෙළි කරගනු ලැබූ තොරතුරුවලට අනුව අදාළ සිදුවීම මෙසේය.

පෞද්ගලීකරණය ඇරඹීම

කටුනායක ගුවන්තොටුපොළ ආශ්‍රිතව පළමුව තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක් පවත්වා ගෙන ගොස් තිබෙන්නේ බී.සී.සී. නම් බ්‍රිතාන්‍ය සමාගමයි. එහි ඒකාධිකාරය උසුලනු ලැබූ එම සමාගම  අතර පසු කලෙක දී එය රජයට පවරාගෙන ඇති අතර එතැන් පටන් අදාළ සමාගම ඔරියන්ට් ලංකා නමින් වෙළෙඳ කටයුතු සිදුකර ඇත.

1997 වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ දී එම  සමාගම පෙරළා පෞද්ගලීකරණය කිරීමට තීන්දු කර ඇති අතර එහි දී  ඒ අනුව ඇල්ෆා නම් ඇමරිකානු සම්භවයක් ඇති සමාගම ඇල්ෆා ඔරියන්ට් ලංකා පෞද්ගලික සමාගම ලෙස හඳුන්වා ඇත.

චන්ද්‍රිකා පාලන සමය තුළ සිදු වූ පෞද්ගලීකරණ ක්‍රියාවලිය තුළ පළමුව වසර 10ක් වෙනුවෙන් කටුනායක ගුවන්තොටුපොළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ වෙළෙඳ කටයුතුවල නිරත වෙන එම සමාගම එම කාල සීමාවෙන් අනතුරුව ද අදාළ හිමිකාරීත්වය ලබන අතර ඒ අනුව 2011 වසර දක්වා එහි ඒකාධිකාරය උසුලන්නට අවස්ථාව හිමිකර ගනියි. ඒ ලබන ආදායමින් 24%ක් රජයට ගෙවන කොන්දේසිය මතය.

නමුත් රාජපක්ෂ පාලන සමයේ දී එනම් 2011 වසරේ ජුනි මාසයේ එම සමාගමේ වෙළෙඳ ඒකාධිකාරය බිඳදමන අතර එහි දී ගනු ලැබූ කැබිනට් තීරණයක් මත මෙරට තීරුබදු රහිත වෙළෙඳපොළ එක් සමාගමක් වෙනුවට සමාගම් දෙකකට දීමට තීන්දු කර ඇත. ෆ්ලෙමින්ගෝ සමාගම පළමු වරට කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ තීරුබදු රහිත වෙළෙඳාම සඳහා අවස්ථාව හිමිකර ගන්නේ ද ඒ අනුව වන අතර එම සමාගමට ඒ සඳහා අවස්ථාව ලබා දීමට බැසිල් රාජපක්ෂ මැදිහත්ව ඇති බවට ද දැනගන්නට ඇත.

මේ අතර ඇල්ෆා ඇල්ෆා ඔරියන්ට් ලංකා පෞද්ගලික සමාගමේ ද හිමිකාරීත්වයේ වෙනසක් සිදු වන අතර එය තීරුබදු රහිත ගුවන්තොටුපොළ ආශ්‍රිත වෙළෙඳාමේ අංක එකේ සමාගම වූ dufry (ස්විස්) සමාගම සතු කරගෙන ඇත. එතැන් පටන් එය dufry මව් සමාගම යටතේ ඇති world duty free group ltd ලෙස සිය වෙළෙඳ කටයුතු සිදුකර ඇත.

මෙම සමාගම් ද්විත්වයම මෙරට රජය සමඟ ඇති කරගෙන සිටි ගිවිසුම් කාලය 2016 වසරින් අවසන් වන අතර ඉහත සඳහන් දූෂිත අත යට ගනුදෙනුව සිදු වන්නේ ඉදිරි වසර 5 සඳහා කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ තීරුබදු රහිත වෙළෙඳාම සඳහා අලුතින් ටෙන්ඩර් කැඳවන අවස්ථාවේදීය.

2016 වසරේ සිට ඉදිරි වසර 5 ක කාලය වෙනුවෙන් වන අදාළ ටෙන්ඩරය වෙනුවෙන්  ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ ඇති  ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම (Airport and  Aviation Services (Sri Lanka) Limited)විසින් 2016 මැයි 08 වන දා ජාත්‍යන්තර විවෘත  ටෙන්ඩර් දැන්වීමක් පළ කරන අතර එය අවසන් වන දිනය වන්නේ 2016 ජුනි 23 වනදාය. නමුත් පසුව අදාළ ටෙන්ඩර් කැඳවීමේ දිනය තවත් සති දෙකකට එනම් 2016 ජූලි 7 දක්වා දීර්ඝ කිරීමට ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම කටයුතු කර ඇත.

එම ටෙන්ඩර් දැන්වීමට අනුව කටුනායක ගුවන්තොටුපොළේ තීරුබදු රහිත වෙළෙඳාම සඳහා වෙන්කර ඇති ඉඩ ප්‍රමාණය කොටස් දෙකකට එනම් space1 සහ space 2 ලෙස නම් කරන අතර මෙරට ඉතිහාසයේ එවැනි වර්ගීකරණයක් සිදු කරනු ලබන්නේ පළමු වතාවටය. එසේම අදාළ ටෙන්ඩර් කොන්දේසි ලෙස ඉදිරිපත් වන සමාගම් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ව්‍යාපාරික කටයුතුවල නිරත වීම, ජාත්‍යන්තර මට්ටමේ ගුවන්තොටුපළ 3ක වත් අදාළ වෙළෙඳාමේ අත්දැකීම් සහිත වීම, එයින් එක් ගුවන් තොටුපළක එන යන මගී ප්‍රමාණය මිලියන 8ට වැඩි වීම, සමාගමේ කාරක ප්‍රාග්ධනය (Working capital)  ඇමරිකන් ඩොලර් මිලියන 4 කට වඩා විය යුතු බව ආදී ලෙසින් දක්වා ඇත. තවද වෙළෙඳාමෙන් 25%ක් අවම වශයෙන් ශ්‍රී ලංකා රජයට ලබා දිය යුතු බව ද ඒ කොන්දේසි අතර ඇත.

එසේ සිදු කළ ටෙන්ඩර් විවෘත කරනු ලබන දිනය වන විට සමාගම් 6 ක් ඒ සඳහා ඉදිරිපත් වී ඇති අතර එහි දී වැඩිම ගෙවීම් ප්‍රතිශතයක් දක්වා ටෙන්ඩරය වෙනුවෙන් ලංසු තබා ඇත්තේ flemingo සමාගම වන අතර එය සිය ආදායමින් 40%ක් ය. ඉන් අනතුරුව පිළිවෙළින් WDF (වර්ල්ඞ් ඩියුටි ෆ්‍රී) ස්විස්  සමාගම සිය ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් වුවොත් 36%ක්, ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 50-60 ත් අතර සිදු වුවහොත් 38%ක් සහ ආදායම ඇමරිකානු ඩොලර් 60 ට වැඩි වුවහොත් 40%ක් ගෙවන බවට දක්වා ටෙන්ඩරයට ලංසු තබා ඇත. එසේම ඊළඟ වැඩිම ලංසුව තබා ඇත්තේ නෙදර්ලන්ත සමාගමක් වන B & S සමාගම වන අතර එය ආදායමින් 35%ක් ය. එසේම කොරියානු සමාගමක් වන shila සමාගම ආදායමින් 34%ක් සහ අයර්ලන්ත සමාගමක් වන Aer Rianta සමාගම 28%ක් ලෙසත් ලංසු තබා ඇති නමුත් මෙම අයර්ලන්ත සමාගම පසුව වෙන්දේසියෙන් ඉවත් වී ඇත. ඉදිරිපත් වූ අනෙක් සමාගම වන්නේ හොංකොං සමාගමක් වන DFS සමාගම වන අතර ඔවුන් ඒ සඳහා ඉදිරිපත් වී ඇත්තේ මෙතෙක් මෙවැනි වෙන්දේසියක දී නොඇසූ විරූ ලෙසින්ය. එනම්  ඔවුන් වෙන්දේසියට ඉදිරිපත් වී ඇතත් එහි දී ලංසු තැබීමක් සිදු නොකරන බවත් තමන් ඉදිරිපත් වූයේ වෙන්දේසියට විරෝධය පළ කිරීමට බවත් ඔවුන් සඳහන් කර ඇත.

මෙහි දී කටුනායක ගුවන්තොටුපළේ තීරුබදු රහිත වෙළෙඳාම සඳහා වෙන්කර ඇති ඉඩ ප්‍රමාණය කොටස් දෙකකට එනම් space 1 සහ space 2 ලෙස නම් කිරීම තුළ එහි වැඩි වෙළෙඳපොළ අවස්ථාවක් ඇත්තේ space 1 සඳහා වන අතර space 2 ලැබෙන සමාගමට සිදු වන්නේ තරගකාරී ලෙස භාණ්ඩ මිල අඩු කර සිය අලෙවිය ප්‍රවර්ධනය කරගන්නටය.

Space 1 සහ 2

ඒ හමුවේ සිදු කළ ලංසු තැබීමට අනුව  space 1 හිමි විය යුත්තේ flemingo සමාගමට වන අතර space 2 හිමි විය යුතුව තිබුණේ දශක ගණනාවක් කටුනායක තීරුබදු රහිත වෙළෙඳාමේ නියුතුව සිටි WDF (වර්ල්ඞ් ඩියුටි ෆ්‍රී) ස්විස්  සමාගම වෙතය. එහෙත් ටෙන්ඩර් මණ්ඩලය එම සමාගමට එම අවස්ථාව අහිමි කරන්නේ ඔවුන් ඉදිරිපත් කළ ලංසුව සීමා පැනවීමක් තුළ සිදු කර ඇති නිසා space 2 පවා ලැබීමට සුදුසු නොවන බව වාචිකව දැනුම් දෙමින්ය. එසේම කාරක ප්‍රාග්ධනය සම්බන්ධව අපේක්ෂිත මට්ටම අදාළ සමාගම සතුව නැති බව ද ටෙන්ඩර් මණ්ඩලය එම සමාගමට දැනුම් දී ඇත.

එසේම  නෙදර්ලන්ත සමාගම ද ප්‍රතික්ෂේප කර ඇති ටෙන්ඩර් මණ්ඩලය කොරියානු සමාගම වූ Shila සමාගම වෙත space 2 සඳහා ආරාධනා කරන අතර ඒ ඔවුන් ඉදිරිපත් කළ ලංසුව 40% දක්වා වැඩි කරන ලෙස දැනුම් දෙමින්ය. මේ ටෙන්ඩර් ගනුදෙනුවේ ඇති ඉතා සැක සහිත සහ දැනුවත්ව සිදුකර ඇති දූෂිත තක්කඩිකම් එළියට එන්නේ මෙහි දී ය.

ඒ බව තහවුරු කරන ආරම්භක කරුණ වන්නේ ජාත්‍යන්තර විවෘත ටෙන්ඩරයක් සඳහා ලංසු කැඳවූ පසුව ඉදිරිපත් කළ ලංසුව සංශෝධනය කරගෙන එන ලෙස දන්වන අපූරු යෝජනාවය. මෙම යෝජනාව කොරියානු Shila සමාගම වෙත සිදුකර තිබෙන්නේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර විසින් වන අතර ඒ බව daily FT පුවත්පතට සම්මුඛ වෙමින් ලේකම් පිළිගෙන ඇත. මේ ආකාරයේ ලොවෙත් නැති යෝජනා සිදු කිරීම සමහර විට දුපත්වාසී මොළ ගෙඩිවලට ගැටලුවක් ලෙස නොපෙනුණත් ජාත්‍යන්තරව පිළිගත් ටෙන්ඩර් පටිපාටි අනුව එවැනි ළපටි ආරාධනා සිදු කරන්නේ නැත. අනෙක් අතට අදාළ කොරියානු සමාගමට space 2 ලබා දීම වෙනුවෙන් අල්ලසක් ඉල්ලා ඇති බවත් එම සමාගම එය ප්‍රතික්ෂේප කර ඇති බවටත් රාවයක් ඇත. එහි ඇත්ත නැත්ත නොතකන අප මෙහි දී ඔබට පෙන්වා දෙන්නේ මෙම ගනුදෙනුවට සම්බන්ධ වගකිවයුතු පාර්ශ්ව සිදුකර ඇති තාක්ෂණික තක්කඩිකම්ය.

එක් පසෙකින් තීරුබදු රහිත වෙළෙඳාම එක් සමාගමක් වෙත පමණක් සීමා නොකිරීමට රාජපක්ෂ සමයේ ගත් තීන්දුව හේතුවෙන් ඒ සඳහා සංශෝධන සහිතව ඉදිරිපත් වීමට වෙන්දේසියට සහභාගි වූ අනෙක් සමාගම් වෙත ආරාධනා කරනවා නම් අවම සදාචාරය හෝ රැක ගත්තා වන්නේ දෙවැනි වටිනාකමට ලංසු තැබූ සමාගමට හෝ නැතිනම් තෙවැනි වටිනාකමට ලංසු තැබූ සමගමටවත් ඒ සඳහා ආරාධනා කිරීමය. එහෙත් එවැන්නක් නොකරන මේ අය සිව්වන ස්ථානයේ සිටි කොරියානු සමාගමට ආරාධනා කරනවා පමණක් නොව එය ද සිදු කරන්නේ ඉහත ටෙන්ඩරය තුළ තමන්ට අසාධාරණයක් සිදුව ඇති බව සඳහන් කරමින් WDF ස්විස් සමාගම සහ නෙදර්ලන්ත B & S සමාගම් ටෙන්ඩර් අභියාචන කමිටුව වෙත යොමු වූ පසුබිමකය.

මෙවැනි ජාත්‍යන්තර විවෘත ටෙන්ඩර් කැඳවීමක් සම්බන්ධව අභියාචනයක් ඉදිරිපත් කළ විට සාමාන්‍යයෙන් උපරිම  සති දෙකක කාලයක් තුළ ඊට අදාළ කරුණු දැක්වීම් සිදු කළ යුතු වුවත් මේ ටෙන්ඩර් අභියාචන මණ්ඩලය ඒ ගැන තැකීමක් කරන්නේ නැත. මාස 7ක පමණ කාලයක් ගතවුවත් අභියාචන වෙනුවෙන් පිළිතුරු නොදෙන මේ වගකිව යුතු පිරිස් අනතුරුව සිදු කරන්නේ  2017 පෙබරවාරි 28 වන දා වන විට කටුනායක තීරුබදු රහිත වෙළෙඳ කලාපයෙන් ඉවත්වන ලෙස දැනුම් දී WDF ස්විස් සමාගම වෙත ලිපියක් යොමු කිරීමය.

මේ සම්බන්ධව පසුගිය සමයේ මාධ්‍ය වාර්තා ද පළව තිබූ අතර ඒ සම්බන්ධව අප ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ සභාපති සමන් එදිරිවීර ඇමතූ අවස්ථාවේ ඔහු සඳහන් කර සිටියේ අදාළ ක්‍රියාවලියට තමන් කිසිසේත් සහභාගි නොවූ බවත් එය පිළිගත් ටෙන්ඩර් පටිපාටියට සහ මුදල් අමාත්‍යාංශය ඇතුළු කැබිනට් අනුමැතිය මත සිදු කළ විධිමත් ක්‍රියාවලියක් තුළ සිදු වූ බව තමන් දන්නා බවය.

මේවා කාට නීත්‍යනුකූල වුව ද දාර්ශනික තක්කඩිකම් බව තහවුරු වන්නේ පළමුව  space 1 සහ space 2 ලෙස එකට නම් කර ඉදිරිපත් වූ ටෙන්ඩරය සම්පූර්ණ නොවූ පසුබිමේ space 2 සඳහා නැවත 2017 අප්‍රේල් 17 වනදායින් අවසන් වන ටෙන්ඩරයක් කැඳවීමට වගකිවයුත්තන් කටයුතු කිරීමය. එහි ඇති වැදගත් තක්කඩිකම වන්නේ space 2 හී ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වන සමාගම් සිය අලෙවියෙන් අවම 40%ක් රජයට ගෙවිය යුතු බව සඳහන් කිරීමය.

මේ නම් අපූරු යෝජනාවක්ය. පළමු ටෙන්ඩරය යටතේ තීරුබදු වෙළෙඳාමේ වාසිසහගත කොටස එනම් space 1, flemingo සමාගමට දීමෙන් අනතුරුව space 2වෙත එන කවර හෝ සමාගම වුවද ඒ තුළ තරගකාරී මිල ගණන් යටතේ space 1 සමඟ තරග කරන්නට සිදු වන්නේ රජයට ගෙවන කොටස අඩු කිරීම තුළ ලබා ගන්නා අවස්ථාව හරහාය. මන්ද ඒ බිමේ වෙළෙඳාම යනු පාරේ ඇති සුපර් මාර්කට් මෙන් ඕන ඕන වෙලාවට පාරිභෝගිකයන්ට ඇතුල්වීමට අවස්ථාව ඇති තැන් නොව ගුවන්තොටුපොළ වෙතින් ඇතුල්වීමේ හෝ පිටවීමේ දී ඇති ඉතා සුළු වෙලාව තුළ පරිභෝජන අවස්ථා සපුරා ගන්න එන වෙළෙඳ බිම්ය.

එහෙයින් රජයට ලැබෙන පංගුව වැඩි කිරීමේ සත් චේතනාවකින් දෙවන වර ටෙන්ඩරයේ රජයේ පංගුව වැඩිකලා නම් එය කළ යුතුව තිබුණේ ආදායම් ඉපයීම සම්බන්ධව දෙගිඩියාවක් ඇති space 2 සඳහා රජයේ පංගුව වැඩිකිරීමෙන් නොව space 1 සඳහා වන රජයේ පංගුව වැඩි කිරීමය. එසේම පළමු ටෙන්ඩරය space 1 සහ space 2 එකට ඇතුළත් කර පසුව එයින් space 1 සඳහා සාධාරණ මිලක් ලැබී ඇති බව උපකල්පන ය කිරීම යමෙකුට ගැටලුසහගත නොවේ නම් ඔවුන් පහත අවධාරණය කිරීම් වෙත පිළිතුරු ලබා දිය යුතුව ඇත.

space 2 සඳහා කැඳවන දෙවන ටෙන්ඩරයේ අවම ලංසුව 40%ක් කිරීම තුළ කෙැපසබට ද සමාගම වෙත විශේෂ වාසියක් සලසා දී නොමැති යැයි කියන පදනම මොකක්ද? space 1 සහ space 2 සඳහා එකම පංගුවක් ලබා දීම තුළ space 2 සිට flemingo සමඟ තරග කරන්නට අවස්ථාවක් තිබේද? space 2 සඳහා අවම ලංසුව ලෙස 40% යොදා ඇත්තේ ඒ සඳහා ඉදිරිපත් වන සමාගම් අධෛර්යමත් කිරීමට නොවේද? space 1 සහ space 2 එකම වටිනාකමක් නියෝජනය කරන බවට තක්සේරුවක් පළමු ටෙන්ඩරය නිකුත් කළ අවස්ථාවේ නොතිබුණේ මන්ද? ඒ තුළ දෙවන ටෙන්ඩරය හරහා flemingo වෙත අයථා වාසියක් අත්කර දී ඇතුවා නොවේද? වැඩි ආදායමක් රටට ගෙන ඒමට අපේක්ෂා කළා නම් පළමු ටෙන්ඩරයේ කොන්දේසි ඉතා අවම මට්ටමක තබා ගත්තේ මන්ද?

එපමණක් නොව, මෙවැනි ටෙන්ඩර් කැඳවීම්වල දී කාරක ප්‍රාග්ධනයේ ඇති වැදගත්කම මොකක්ද? මෙම කර්මාන්තයේ නියුතු සමාගම් අතර ලෝකයේ අංක එකේ සමාගම වන Dufry හි අසලින්වත් යාමට flemingo වෙත හැකියාවක් තිබේද? එදා බැසිල් රාජපක්ෂ flemingo සමාගමට මෙරට තීරුබදු රහිත වෙළෙඳාම සඳහා  කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ඉඩ ලබාදෙන විට flemingo සමාගම අන්තර්ජාතිකව මෙම කර්මාන්තයේ නියුතු සමාගම්වලට නිර්ණායක දෙන the Moodi Riport’s Top Travel Retailer ලැයිස්තුවේ අසලකවත් එම සමාගම නොතිබූ බව නොදන්නේද? අවම වශයෙන් 2014 ලැයිස්තුවේවත් එම සමාගම තිබුණේද? 2015 වසරේ එම ලැයිස්තුවට flemingo සමාගම ඇතුළත් වුවත් ව්‍යාපාර වටිනාකම අතින් 2015 වසරේ Dufry සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 5683ක් සහිතව ලෝකයේ අංක එක වන විට flemingo ඇමරිකානු ඩොලර් මිලියන 483ක් සහිතව ඉහත වර්ගීකරණයේ 22 වන ස්ථානයේ සිටින බව නොදන්නේද? Dufry සමාගම් සමූහයේ සමාගමක් ලෙස WDF ඉදිරිපත් වීම සහ ඒ බව තහවුරු කර තිබිය දී නල්ල මලේ කාරක ප්‍රාග්ධනයක් ගැන විමසා සිටීමේ අපේක්ෂාව කුමක්ද යන ප්‍රශ්නවලට ද මේ තක්කඩි දාර්ශනික ටෙන්ඩර් වීරයන් කරුණු පැවසිය යුතුව ඇත.

ඒ අවධාරණයෙන් පසුව අප මේ පහත කරුණු දක්වන්නේ ආණ්ඩුවේ ප්‍රධානීන් වන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හරහා සමස්ත ජනතාව වෙතය.

අවම වශයෙන් ඇමරිකන් ඩොලර් මිලියනයකට වැඩි ටෙන්ඩර් තීරණ සම්බන්ධව ප්‍රසිද්ධ මාධ්‍ය හරහා දැනුවත් කළ යුතු බවවත් මේ අය දන්නෙ නැද්ද? එසේම පසුගිය අවස්ථා දෙකක දී වරක් උසාවිය මැදිහත්ව සහ තවත් වරක් ජනාධිපතිවරයා මැදිහත්ව ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගම සහ ප්‍රවාහන අමාත්‍යාංශය නටන්න ගිය මෙවැනි ටෙන්ඩර් නාඩගම්වල නව පිටපතක් ලෙස මෙය දකින්නට නොහැකිද? එසේම කේපසබටද සිය ආනයනික භාණ්ඩ ගබඩා කර තබන්නේ වත්මන් මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ පවුලේ පොදු ගුදම වන ග්ලෝබල් පාර්ක් හි බව ඔබ දන්නවාද? එසේම පළමු ටෙන්ඩරය හමුවේ ලොවෙත් නැති විරෝධයක් සමඟ ඊට ඉදිරිපත් වූ හොංකොං DFC සමාගම සහ flemingo සමාගම මුම්බායිහි එකට එක්ව මේ ව්‍යාපාරයේ නිරත බව ඔබ දන්නවාද? ජාත්‍යන්තර විවෘත ටෙන්ඩරයක් සමඟ මේ නටන ජවුසම් හමුවේ අවසානයේ රටට හෙට එන්නට සිටින ආයෝජකයන් කුමන තීරණයක් ගනු ඇත්දැයි ඔබ සිතනවාද? එසේම මෙතරම් බරපතළ සහ සැකකටයුතු ගනුදෙනුවක් සිදු වූ අමාත්‍යාංශය භාරව සිටින්නේ නිමල් සිරිපාල ද සිල්වා නම් කෘතහස්ත දේශපාලනඥයා බව ඔබ දන්නවාද? මෙහි විධායක අධ්‍යක්ෂ යොහාන් ජයරත්නලා රාජපක්ෂ සමයේ දී මේ තුළ දක්ෂ ලෙස ක්‍රීඩා කළ අය බව ඔබ දන්නවාද? නොදන්නවා නම් ඒ ගැන සහ මීට පිළිතුරු එතුමාගෙන්ම අසාගන්න එක වැදගත් නේද? අවසාන වශයෙන් මහින්දගේ ගෝලයන් සමඟ ගල් අඟුරු, අධිවේගී මාර්ග, ඩීසල්  විදුලි බලාගාර වැනි යහපාලනයේ නැට්ටේ සිට ගොම ගෑවෙන තවත් දූෂිත ගනුදෙනුවක් විය හැකි  මෙය වළක්වා ගැනීමට තව කොපමණ කාලයක් කල් මරනවාද?

උපුටාගැනීම – http://sathhanda.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article