මේ වනවිට පුත්තලම් දිස්ත්‍රික්කය තුළ අළු යට ගිණි මෙන් කැකෑරෙන ප්‍රධානම ප්‍රශ්නය වී ඇත්තේ වැලි මාෆියාවයි.
මේ වැලි මාෆියාව පසුගිය පාලන කාලයන් තුළ දීත්, රජකම් කළ අතර ඒවාට අඩුවැඩි වශයෙන් පක්ෂ ,විපක්ෂ දෙකේම පුත්තලම් දිස්ත්‍රික්කයේ දේශපාලකයෝද ගෑවී තිබුණ බව නොරහසකි. සමහරුන් වැව් හින්දවූ අතර සමහරු වැව් අලුතින්ද හැදූහ.
වැව් වල රොන්මඩ සුද්ද කිරීමට මුවාවී පදමට වැලි ඡාවාරම් කරගත්හ. සමහර දේශපාලකයින්ට මේ වනවිට අධිකරණයේ නඩුද ඇත.
දැන් ප්‍රශ්නය වී ඇත්තේ ජනතාව මේ සියල්ලෙන් බැටකා පත්කරගත් නව රජය නොහොත් මාලිමාව මේ වැලි ඡාවාරම්කරුවන් හමුවේ කිසිවක් කරකියාගත නොහැකිව අසරණ වී සිටිමයි. මෙම වැලි ඡාවාරම් නිසා ගම්වල පාරවල් විනාශ වන අතර ගම්වාසීන් මේවාට විරුද්ධව හැකි පමනින් අරගල කරති. මේ අතර විපක්ෂයේ මෙන්ම ආණ්ඩුපක්ෂයේද දේශපාලන ක්‍රියාධරයන් නැතුවා නොවේ.
මාලිමාවේ නායකයින් මෙම සෑම විරෝදයක්ම සාකච්ඡාකරමින් විරෝධය කළමනාකරනය කරමිනින් සිටියි. නව රජය පත්වූ පසු පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රා.ලේකම් බල පදේශ වල සංවර්ධන කමිටු නම් කීයක් පැවැත්විණිද. මේවාට සහභාගී වෙන උසස් පොලිස් නිලධාරීන්, පතල් කැනීම්,වෙරළ සංරක්ෂණ, වන ජීවී , මෙකි නොකී සියලුම රාජ්‍ය නිලධාරීන් ඉදිරියේ මේ වැලි ප්‍රශ්න ජනතාව විසින් ඇති පදමට ඉදිරිපත් කර ඇත.
උදාහරණයක් ලෙස විජයකටුපත – මා එළිය ගම්මානයේ ඇති ‘ෂැම්රෝක් වත්තේ’ වැලි හැරීම සහ ප්‍රවාහනය සම්බන්ධයෙන් ගම්වාසීන් දිගින් දිගටම අරගල කරමින් සිටිති. මෙම ප්‍රශ්නයට අදාළව මේ වනවිට අධිකරණයේ නඩුවක්ද පවතියි. මෙම නඩුවට තවමත් මෙම ෂැම්රෝක් වත්තේ වැලි කොන්තාත්කරුවන් පෙනී නොසිටියි. මුන්දලම ප්‍රා.ලේකම්වරයාට තවමත් මේ ප්‍රශ්නය විසඳාගත නොහැකිවී ඇත.
මෙම වැලි හෑරීම පරිසර විරෝධී බව මධ්‍යම පරිසර අධිකාරියෙන් පිළිගෙන ඇති අතර මෙම වැලි ප්‍රවාහනයට මාර්ග සංවර්ධන අධිකාරියෙන් අවසර ගෙන නොමැති බවද තහවුරු වී ඇත. මෙසේ තිබියදී මෙම වැලි හෑරිම තවමත් නතර කරගැනීමට , ප්‍රා.ලේකම්වරයාට හෝ පොලීසියට නොහැකි වී ඇත.දිනකට ප්‍රවාහනය කරන වැලි ටිපර් වාර ගණන සමහර දිනවල සිය වාරයකටත් වැඩි බව ප්‍රෙද්ශවාසින් පවසන අතර , ටොන් 1000කට වඩා වැලි ප්‍රවාහනය තහනම් කර ඇති මෙම ගම්වල ඇති පාරවල් විනාශ කරමින් මෙලෙස වැලි ප්‍රවාහනය කිරිම අදටත් නවත්වා නැත.
පුත්තලම සම්බන්ධීකරන කමිටුවේ සභාපති පුත්තලම් දිස්ත්‍රික් පා.මන්ත්‍රී ගයාන් ජානක ජනතාවගේ විරෝධය කළමනාකරනය කරමින් සාකච්ඡාවෙන් සාකච්ඡාවට යමින් සිටින බව පමණක් පෙනෙන්ට ඇත.
පා.මන්ත්‍රී ගයාන් ජානක 2025 වසරේ ජුනි 02 වනදා නාත්තන්ඩිය ප්‍රාෙද්ශිය සභා වාරය ආරම්භ කළ මොහොතේ කළ කතාවේදී එම ප්‍රෙද්ශයේ කසිප්පුකාරයින්ට අභියෝග කරමින් කතාවක් පවත්වන ලදී.
එයට විරෝධය පා විපක්ෂයේ මන්ත්‍රීවරුද සභා ගැබෙන් එළියට පැමිනුනි. එසේ එදා කළ කතාව කසිප්පුකාරයින්ට පමණක් නොව වැලි ඡාවාරම්කරුවන්ටද අදාළය.
මේ වනවිට පුත්තලම් දිස්ත්‍රික්කය තුළ කිසිදු බලවේගයකට මෙල්ල කරගත නොහැකි වැලි මාෆියාව කවුරුන්ද කියා මේ වනවිට ආණ්ඩු පක්ෂය නොදන්නවා විය නොහැක.
නීතියටද ,පොලීිසියටද රාජ්‍ය නිලධාරීන්ගේ ඇස් වලට වැලි ගසමින් සිටින වැලි චමින්දලා එකෙක් නොව කීපදෙනෙකු මේ ඡාවාරම පිටුපස සිටිති. මෙලෙස නීති නිරෝධි ලෙස හාරන වැලි එක්රැස් කර තිබෙන ස්ථාන වලට නීතියෙන් අවසර ගෙන නොමැත.මේවා ගැන සොයන්නට මහජන මුදල් වලින් පඩිගන්නා නිලධාරින් ගැන ද කතාකර පළක් නැත. සියල්ල වැලි මුදලාලිලාට ,වැලි කොන්ත්‍රතේකරුවන්ට යටවී ඇත.
නමුත් මේ වන විට බරපතල ලෙස පරිසර හානි සිදුකරමින් සිටින එක ස්ථානයක් නවත්වා ගැනීමට මාලිමාවේ සංවිධායකවරයාට හෝ පොලීසියට නොහැකි වී ඇත.
විවෘත කිරිම්, ගෙවල් හැදිම්,පාරවල් හැදීම්,සියලු සංදර්ශන හොඳය. නමුත් සංවර්ධනය කිරීමට රටක් ඉතිරිවිය යුතුය. සංවිධායක පා.මන්ත්‍රී ගයාන් ජානක ඇතුලු ප්‍රත්තලම් දිස්ත්‍රික් ආණ්ඩු පක්ෂ සියලුම දේශපාලකයන්ට තිබෙන අභියෝගය එයයි.
දුෂ්මන්ත පිරිස් – ආරච්චිකට්ටුව

