Thursday, May 2, 2024

ඉඩම් මුදා හැරීම ගැන ආණ්ඩුව එක්සත් ජාතීන්ට කීවේ බොරු කියලා ?

Must read

තම මුල් ගම්බිම් වල පදිංචියේ අයිතිය ඉල්ලා දෙමළ ජනතාව අරගලයක යෙදී ඉන්නා අවස්ථාවක යුද හමුදාව විසින් උතුරේ අත්පත් කරගෙන සිටින ඉඩම් ප්‍රමාණය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ අසත්‍ය ගණන් හිලව් ඉදිරිපත් කළ බවට ශ්‍රී ලංකාවේ රජය දෙමළ ජාතික සන්ධානයේ බරපතල විවේචනයට ලක් වී සිටියි.

අක්කර හැත්තෑ දහසකට ආසන්න භූමියක යුද හමුදාව වාඩිලාගෙන සිටියදී ඒ තරම් ඉඩම් ප්‍රමාණයක් මුදා හැර ඇති බවට සාවද්‍ය ප්‍රකාශයක් කරමින් රජය ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ සංවිධානය නොමග යැවීමේ උත්සාහයක යෙදුනු බවයි වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් ගගන හා කියා සිටියේ.

උතුරේ ඉඩම් අක්කර හැත්තෑහත් දහසකට වැඩි ප්‍රමාණයක් රජය විසින් මුදා හැර ඇති බව කාන්තාවන්ට එරෙහි වෙනස්කම් දුරුකිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව (CEDAW) විසින් කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන දෙමළ මන්ත්‍රීවරයාගේ දැඩි කෝපයට හේතු වී තිබුනි.

කේපාපුලවු

තම ඉඩම් ඉල්ලා කේපාපුලවු මුල් ගම්වාසීන් දිගටම අරගල කරමින් සිටි 23 වැනි දිනයේ ඒ බව සිහිපත් කරමින් CEDAW කමිටු සාමාජිකාවක් ශ්‍රී ලංකා රජයෙන් විමසා සිටියේ ඒ ඇතුළු හමුදාව අත්පත් කරගෙන සිටින භූමිය නිදහස් කිරීමේ පමාව ගැනයි.

අක්කර පනස් තුන්දහසකට අධික රජයේ ඉඩම් ප්‍රමාණයක්ද අක්කර විසිහතර දහසකට අධික පුද්ගලික ඉඩම්ද යුද හමුදාව විසින් මුදා හැර ඇති බවයි නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ කමිටුවට කියා සිටියේ.

කිලිනොච්චිය, මුලතිවු, වවුනියාව, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික් වලින් තවත් අක්කර 2500 කට මදක් වැඩි ප්‍රමාණයක් නිදහස් කිරීමට රජය සැලසුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආණ්ඩුවට ‘පටලැවිල්ලක්’

රජය CEDAW කමිටුවට ගෙනහැර දැක්වූ සංඛ්‍යාලේඛන ශිවශක්ති ආනන්දන් මන්ත්‍රීවරයා තරයේ ප්‍රතික්ෂේප කරයි.

රජයේ ආරක්ෂක සේනා විසින් උතුරේ පමණක් අක්කර හැටනමදහසකට වැඩි භූමියක වාඩි ලා ගෙන ඉන්නා බව පවසන ඔහු යුද්ධයෙන් අවුරුද අටකට ආසන්න කාලයක් ගතවීත් මුදා හැර ඇත්තේ අක්කර 2500 කට කිට්ටු ඉඩම් ප්‍රමාණයක් පමණක් බව ඔහු පවසයි.

රජයේ නියෝජිතයාට “වාඩිලාගෙන ඉන්නා සහ මුදා හරින ලද ඉඩම් ප්‍රමාණය පැටලී ඇති,” බවක් පෙනීයන බවයි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.
www.gagana.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article