Thursday, May 2, 2024

ආණ්ඩුවට ජිනීවා හිදී කට උත්තර නැතිවීම ……?

Must read

කාන්තාවන්ට එරෙහිව සිදුකරනු ලබන වධ හිංසා සහ ලිංගික අපරාධ ඇතුළු අඩන්තේට්ටම් වලක්වා ලීම සඳහා පියවර ගෙන ඇතිදැයි ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සෑහීමකට පත් විය හැකි පිළිතුරක් නොදුන් බවට එක්සත් ජාතීන්ගේ මුල් පෙලේ විශේෂඥ කමිටුවක් නොසතුට පළ කර ඇති බව ගගන වෙබ් අඩවිය වාර්ථා කර සිටි.

ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ කමිටුවක ප්‍රශ්න කිරීම් හමුවේ තුන් මාසයක කාලයක් තුලදී මෙලෙස අපහසුතාවයට පත් වූයේ දෙවැනි වතාවට බව තවදුරටත් එහි සදහන්ය.
මේ පිළිබදව දිර්ඝ විස්තරයක් ඉදිරිපත් කරමින් කියා සිටින්නේ …..

කාන්තාවන්ට එරෙහි වෙනස්කම් දුරුකිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ  කමිටුව (CEDAW) හමුවේ කරුණු දැක්වීමට කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රානි සේනාරත්න ගේ ප්‍රධානත්වයෙන් ජිනීවා නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා නියෝජිත පිරිස විසින් කාන්තා සුබසිද්ධිය සඳහා ආණ්ඩුවේ අනාගත සැලසුම් ඉදිරිපත් කරනු වෙනුවට දැනට ගෙන තිබෙන නිශ්චිත පියවර ගෙනහැර දක්වන ලෙස කිහිප වර ඉල්ලා සිටියත් ලැබුනු පිළිතුරු වලින් කමිටුව සෑහීමකට පත් වූ බවක් පෙනෙන්නට නොතිබුනි.

“දීර්ඝ සහ අපේක්ෂා සහගත නීති ලැයිස්තුවක්,” ගෙනහැර දක්වනු වෙනුවට නිශ්චිත ප්‍රතිපල ලබා ගත හැකි කාල රාමුවක් ඉදිරිපත් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින ලදී.

පසුගිය නොවැම්බරයේ ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් වධ හිංසාවලට එරෙහි එක්සත් ජාතීන් ගේ කමිටුව (UNCAT) හමුවට ගිය අවස්ථාවේ ඔත්තු සේවා ප්‍රධානී සිසිර මෙන්ඩිස් ගෙන් විමසන ලද ප්‍රශ්න වලටද පිළිතුරු නොලැබීමෙන් ආණ්ඩුව අපහසුතාවට පත් විය.

හමුදාවට එරෙහි චෝදනා

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් උතුරු නැගෙනහිර කාන්තාවන්ට එරෙහිව සිදුකරනු ලබන ලිංගික අපරාධ සම්බන්ධ චෝදනාවලට ආණ්ඩුවේ නියෝජිතයන් පිළිතුරු දුන්නේ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලට දැඩි උපදෙස් දී තිබෙන බව පවසමිනි.

එසේ තිබියදීත් දිගටම ලිංගික අඩන්තේට්ටම් සිදුවන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් සංවිධාන විසින් හෙළි කොට ඇති තොරතුරු ආශ්‍රිතව CEDAW කමිටුව විසින් විමසන ලද්දේ අපරාධ කරුවන් කී දෙනකු රැකියාවෙන් නෙරපා හැර නීතිමය පියවර ගෙන ඇතිද යන්නයි.

ඒ සම්බන්ධයෙන් පිළිතුරු දීමට ආණ්ඩුවේ දූත මණ්ඩලය අසමත් වූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු මානව හිමිකම් සංවිධාන දිගින් දිගටම පෙන්වා දී ඇති කරුණක් වන්නේ සාපරාධකාරී හමුදා සහ පොලිස් නිලධාරීන් දඬුවම් නොලබා යාමේ ආයතනගත සංස්කෘතියක් රජය  විසින් පවත්වාගෙන යනු ලබන බවය.

රජයේ ආරක්ෂක අංශ විසින් සිදුකළ බවට චෝදනා කෙරෙන අපරාධ සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීමට ඉදිරිපත්වන සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය යොදා ඇති සැලසුම්ද ගැටළු සහගත බව CEDAW කමිටුවේ අදහස විය.

වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව විසින් පිහිටුවා ඇති අධිකාරියට පත් කර තිබෙන සභාපතිවරයා ඇතුළු නිළධාරීන් තිදෙනකුගේ විශ්වසනීයත්වය පිළිබඳව මානව හිමිකම් සංවිධාන විසින් මතු කර තිබූ ප්‍රශ්න ද එහිදී ඉදිරිපත් කරන ලදී.

“කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ සම්බන්ධයෙන් කිසිදු සාධනීය පියවරක් ගෙන නැති බව අපේ වැටහීමයි,” යනුවෙන් CEDAW කමිටු සාමාජිකාවක් ශ්‍රී ලංකා නියෝජිත මණ්ඩලයට කියා සිටියාය.

නව ව්‍යවස්ථාව සම්මත කරගැනීමෙන් අනතුරුව කාන්තාවන්ට එරෙහි වෙනස්කම් වලක්වා ලිය හැකි විධිවිධාන ඊට ඇතුලත් වනු ඇති බව ශ්‍රී ලංකා රජය දැක්වූ පැහැදිලි කිරීමක් විය.

සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය විසින් දෙන ලද යුද අපරාධ විභාග කිරීමට විදේශීය විනිසුරුවරුන් දායක කර ගැනීම ඇතුළු නිර්දේශ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ බලධාරීන් විසින් ශ්‍රී ලංකාවේදී ප්‍රතික්ෂේප කර තිබුනත් ජිනීවා නුවර ගොස් සිටි නියෝජිත පිරිස CEDAW කමිටුවට කියා සිටියේ එම යෝජනා ක්‍රියාත්මක වූ කල ගැටළු ගණනාවකට විසඳුම් ලැබෙනු ඇති බවයි.

කේපාපුලවු සටන ජිනීවා හිදී

උතුරු නැගෙනහිර හමුදාකරණයෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් කිහිපවර ප්‍රශ්න කළ කමිටුව විසින් 23 දිනක් තිස්සේ විසඳුමක් නොමැතිව ඇදී යන කේපාපුලවූ ඉඩම් උද්ඝෝෂණය සම්බන්ධයෙන්ද ආණ්ඩුවෙන් විමසන ලදී.

ඉඩම් මුදා හැරීම ආණ්ඩුව විසින් කරගෙන යන බව කී ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා සංඛ්‍යාලේඛන දක්වමින් කියා සිටියේ අක්කර 77,000 කට අධික ඉඩම් ප්‍රමාණයක් මේ වනවිටත් මුදා හැර ඇති බවයි.

කිලිනොච්චි, මුලතිව්, වවුනියා, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක වලින් තවත් අක්කර 2570ක් මුදා හැරීමට සැලසුම් කරගෙන සිටින බවද නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ වැඩිදුරටත් කියා සිටියේය.

රජයේ ආරක්ෂක සේනා විසින් ගොවිපල ඇතුළු ව්‍යාපාර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මතු කරන ලද ප්‍රශ්නයකට ආණ්ඩුවේ පිළිතුර වූයේ කාන්තාවන්ට ඉඩ ප්‍රස්තා ලබා දීම සඳහා හමුදාව ඒවායින් ඉවත් වෙමින් සිටින බවය.

කෙසේ වෙතත් තමන්ගේ ප්‍රශ්න වලට නිසි පිළිතුරු ලැබුනේ නැති බවයි කමිටු සභාපතිනිය දවසක සැසියක් හමාරයේ කියා සිටියේ.

“අපේ අඩුපාඩු ඇති බව පිලිගන්නවා. ඒත් අපි නිවැරදි මාර්ගයේ ගමන් කරමින් සිටිනවා,” යි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී චන්ද්‍රානි සේනාරත්න කමිටුව හමුවේ ප්‍රකාශ කළාය.

පිළිතුරු නොලැබුනු ප්‍රශ්න සඳහා ලිඛිත උත්තර බැඳීමට CEDAW කමිටුව විසින් ශ්‍රී ලංකාවේ රජයට පැය 48 ක කාලයක් දෙන ලදී.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාව සම්බන්ධ නිරීක්ෂණ සහ නිර්දේශ අඩංගු වාර්තාව මාර්තු  මුල් සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

www.gagana.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article