Friday, May 17, 2024

අපි ඩීල් දාන්න ලැස්ති නෑ. මනෝ ගනේෂන් | VIDEO

Must read

“අපි ඩීල් දාන්න ලැස්ති නෑ” මනෝ ගනේෂන් | VIDEO

පවතින ජාතික සමගි රජය වෙනස් කිරීම සඳහා කිසිදු ගනුදෙනුවකට ඇතුල් වීමට තමන් ඇතුළු එක්සත් ජාතික පෙරමුණ සැදුම්ලත් කිසිදු පක්ෂයක් සූදානම් නැති බවට සහතික වන අමාත්‍ය මනෝ ගනේෂන් පළාත් පාලන මැතිවරණයෙන් පසු උදාවී ඇති අස්ථාවර භාවය පිළිබඳව ලැජ්ජාවට පත්ව සිටී.

තම පක්ෂයේ හය දෙනකුද ඇතුළුව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සහ අහිල ඉලංගෙයි මක්කල් කොන්ග්‍රසයේ  මන්ත්‍රීවරුන් 18 දෙනකුගේ සහාය පවතින රජයට සහතික වී තිබෙන බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට කියා සිටියේ සති අන්තයේ මෝදර පවත්වන ලද මුරිසි දිවයිනේ හිටපු තානාපති ටී ඊස්වරන් ගුණ සමරුවක ආරාධිත දේශනයෙන් අනතුරුවය.

“අපි ඩීල් දාන්න ලැස්ති නෑ,” යි මනෝ ගනේෂන් කියා සිටියේ එක්සත් ජාතික පෙරමුණේ ඇතැම් මැති ඇමැතිවරුන් ආණ්ඩුව හැර යාමට සැරසෙන බවට පලවන වාර්තා පිළිබඳව මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේය.

“ලැජ්ජයි, කණගාටුයි, කේන්තියි”

වර්තමාන දේශපාලන අර්බුදය පිළිබඳව “ලැජ්ජයි, කණගාටුයි, කේන්තියි,” යනුවෙන් කියා සිටි අමාත්‍යවරයා පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුවේ පක්ෂ ලද පරාජය  ජාතික මැතිවරණ ප්‍රතිපලයක් ලෙස දැක්වීමට ගන්නා උත්සාහය හැඳින්වූයේ “විකෘති කිරීමක්” ලෙසය.

එසේනම්, මැතිවරණ කිහිපයක් වෙනුවට එක ඡන්දයක් පමණක් පැවැත්වීම ප්‍රමාණවත් බව අමාත්‍යවරයාගේ අදහස විය.

“එක මැතිවරණයක් පවත්වලා ඒ මැතිවරණයෙන් කවුරු හරි ජයගත්තොත් එයාට ජනාධිපති ධුරය දෙන්න පුළුවන්, අගමැති කමත් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඇමැති ධුර දෙන්න පුළුවන්, නගර සභාවේ සභාපතිකමයි, මහනගර සභාවේ මේයර් කමත් දෙන්න පුළුවන්. එහෙම දෙන්න බෑනේ.”

ආණ්ඩුවේත්, එජාපය තුලත්  ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව කියා සිටි අමාත්‍ය  මනෝ ගනේෂන්, එසේ වෙතත්,  එක්සත් ජාතික පක්ෂයේ නායකයා කවුදැයි තීරණය කිරීම තමන්ගේ වගකීමක් නොවන බව අවධාරණය කළේය.

යහපාලනය යනු පුද්ගලයකු මත රඳා නොපවතින “සංකල්පයක් හා  සිද්ධාන්තයක්” ලෙස හඳුන්වා දුන් ඔහු එම ආණ්ඩුව දිගටම පවත්වාගෙන යාමේ හැකියාව පිළිබඳව විශ්වාසය පල කළේය.
www.radiogagana.com

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article