ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මාර්ග ආරක්ෂණ සැලැස්ම යටතේ පොදු ප්‍රවාහන සේවා රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කරන අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවන්ගේ තවත් අදියරක් ඊයේ (2026.09.01) පෙරවරුවේ පිළියන්දල ප්‍රධාන බස්නැවතුම මධ්‍යයේදී සිදු කෙරිණි.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ජංගම පරීක්ෂණාගාර බස් රථය තුළ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා එම ආයතනයේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය කේ.කේ. ජෝසෆ් මහත්මිය ප්රමුඛ විශේෂ වෛද්‍ය කණ්ඩායමක් සහභාගී විය.
බස්රථ රියදුරන්, කොන්දොස්තරවරුන් සහ ත්‍රීරෝද රථ රියදුරන් ඇතුළුව පුද්ගලයින් 252 දෙනෙක් මෙසේ පරික්ෂාවට ලක්කර තිබුණි.
අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වූ පුද්ගලයින් 07 දෙනෙක් මෙම පරික්ෂණ වලදි හඳුනා ගන්නට හැකිව තිබේ.
ප්‍රවාහන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය එක්ව මෙය සංවිධානය කර ඇත.
රිය අනතුරු අවම කිරීම සහ මාර්ග විනය නංවාලීම අරමුණු කරගත් මෙම දීපව්‍යාප්ත වැඩසටහන මඟින් මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර විනයගරුක රියදුරු පිරිසක් බිහි කිරීම අපේක්ෂා කෙරේ. පරීක්ෂණවලදී මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට හඳුනාගන්නා රියදුරන්ට ආයතනික නීති මෙන්ම රටේ පොදු නීතිය යටතේ ද උපරිම දඬුවම් ලබා දීමට නියමිතය.

