Thursday, August 27, 2026

නිල මැසි බිත්තර සහිත දිවා ආහාර සැපයූ කටානේ, කේට්රින් ආයතනයකට රු. 45,000 ක දඩයක්. .

Must read

මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය විසින් පසුගිය 20 වෙනි දින (2026.08.20) දින, නිල මැස්සන්ගේ බිත්තර සහිතව දිවා ආහාර සැපයීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ආහාර නිෂ්පාදන ආයතනයකට රුපියල් 45,000ක දඩයක් නියම කලාය. මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය සිදු කලේ කටාන, කඳවල, තිඹිරිගස්කටුව ප්‍රදේශයේ පිහිටි “සුරංග කේට්රින්” නමැති ආහාර නිෂ්පාදන ආයතනය පවත්වාගෙන යන කාන්තාවකටය.

වාර්තා වන පරිදි, මෙම කේට්රින් ආයතනය පෞද්ගලික ආයතන, ව්‍යාපාරික ස්ථාන සහ කර්මාන්ත ශාලා ඇතුළු ප්‍රමුඛ පෙළේ ආයතන රැසකට ආහාර සපයනු ලබයි. දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපයට අයත් එක්තරා පෞද්ගලික ආයතනයකට ද මෙම කේට්රින් ආයතනය මගින් සපයා ඇති දිවා ආහාර පාර්සල්වල අඩංගු බත් සහ ව්‍යාංජන වල නිල මැස්සන්ගේ බිත්තර ඇති බවට පැමිණිලි ලැබී තිබුණි.

ඒ අනුව, දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලැබුණු පැමිණිල්ලකට අනුව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන දිසානායක, සෙනවිරත්න, වර්ණකුලසූරිය සහ බුලූගහමුල යන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරි මහත්වරුන් විසින් අදාළ කේට්රින් ආයතනයේ ආහාර පිළිබඳව පරීක්ෂණ පවත්වා ඇත. එහිදී ලබාගත් ආහාර සාම්පල රස පරීක්ෂක වෙත යොමු කිරීමෙන් පසු නිකුත් වූ වාර්තාවල සඳහන් වූයේ එම දිවා ආහාර පාර්සල් වලට සපයා තිබූ බත්වල සහ ව්‍යංජන වල නිල මැස්සන්ගේ බිත්තර තිබූ බවට තහවුරු වී ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර නිෂ්පාදනය, බෙදාහැරීම සහ විකිණීම යන චෝදනා යටතේ අධිකරණයට මෙම නඩුව ඉදිරිපත් කර තිබිණි. එහිදී මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් මෙම කේට්රින් ආයතනයේ හිමිකාරියට රුපියල් 45000 ක දඩයක් ගෙවන ලෙසට නියෝග කර එම සිදුවීම සම්බන්ධයෙන් එකී කේට්රින් ආයතනයේ හිමිකාරිය වන එම කාන්තාවට තදින් අවවාද කර ඇති බවද වාර්තා වේ.

එලෙසම මෙම සිදුවීම හරහා කේට්රින් ආයතන වැනි ආහාර නිෂ්පාදන ආයතනවල පිළියෙල කරමින් අලෙවි කරන ආහාරවල ප්‍රමිතිය, පිරිසිදු බව සහ සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව, මෙම සිදුවීමත් සමග නැවත වරක් සමාජය තුළ මතු වෙමින් පවතී.

වාර්තා කලේ –
රේමන් අපෝන්සු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article