හලාවත – මුන්නේෂ්වරම දේවාල සංකීර්ණයේ වාර්ෂික නිකිණි මංගල්‍ය සදහා පැමිනෙන තමන්ට කිසිදු ආකාරයක සනීපාරක්ෂක පහසුකම් නොලැබෙන බව බැතිමතුන් සහ ව්‍යාපාරිකයින් සදහන් කරති.
ක්‍රිස්තු පූර්ව 1000 සිය වසයේදී හලාවත – මුන්නේෂ්වරම ඊශ්වර දේවාලය ඉදිකරන්නට ඇති බවට විශ්වාසයක් පවතී.දකුණු ඉන්දියාණු කලාපයේ ශිව දෙවියන් වෙනුවෙන් ඉදි කර ඇති “දේවාල පහ” අතරට මුන්නේෂ්වරම ඊශ්වර දේවාලයද අයත් බව කියති.පෞරාණික වටිනාකමක් ඇති මෙම දේවාලය 1753 වසරේදී මහනුවර රාජධාණිය කර ගෙන සිටි කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් වැඩිදියුණු කර ඇති බවද ඉතිහාසයේ සදහන් වේ.
මේ අතර,1988 ජූනි මස 17 වැනිදා මුන්නේෂ්වරම පූජනීය භූමියක් බවට ප්‍රකාශයට පත් කර ඇත.ඒ එවකට හිටපු අගමැති දිවංගත ආර්.ප්‍රේමදාස මහතා විසිනි.ඒ පිළිබදව වන සටහනක් සහිත සමරු ඵලයක්ද දේවාල භූමිය තුළ තවමත් දක්නට ඇත.
මුන්නේෂ්වරම ඊශ්වර දේවාලය අවට පසු කළෙක තවත් දේවාල රැසක් ඉදිවී ඇත.කාලි දේවාලය,අයියනායක දේවාලය, ඇතුළු දේවාල සංකීර්ණයක් ඊට අයත් වේ.මෑත කාලයේදීද මෙම ප්‍රදේශය තුළ තවත් දේවාල කීපයක්ම අළුතින් ඉදිකර ඇති බවක් දක්නට ඇත.
අගෝස්තු මස සැප්තැම්බර් මාස වලදී ඊශ්වර දේවාලයේ වාර්ෂික නිකිණි මංගල උත්සවය පැවැත්වේ.කප සිටුවීමෙන් ආරම්භ වන නිකිණි උත්සවය සති 04 ක කාලයක් ගෙවා දැමීමෙන් අනතුරුව පැවැත්වෙන භෛහිරව පූජාවෙන් අවසන් වේ.එම කාලය තුළ ගිනි පෑගීම,රඹ විදීම,රථය ඇදීම සහ දිය කැපීමද සිදු කරති.
ඊශ්වර දේවාලයේ නිකිණි මංගල්‍යයට සමගාමීව සෙසු පරිවාර දේවාල වලද මංගල්‍ය පැවැත්වීම සාමාන්‍ය සිරිත වේ.මන්ද මෙම කාලයේදී අති විශාල පිරිසක් මුන්නේෂ්වරම දේවාලය වන්දනා මාන කිරීමට පැමිනෙන බැවිනි.ඒ අතරට හින්දු භක්තිකයින් නොවන අන්‍යාගමිකයින් මෙන්ම විදේශිකයින්ද අයත් වීම විශේෂත්වයකි.
මංගල්‍ය සමයේ පමණක් නොව සති අන්තයේ මෙන්ම නිවාඩු දිනවලදීද මුන්නේෂ්වරම දේවාල වන්දනා මාන කිරීමට විශාල බැතිමතුන් පිරිසක් පැමිනෙති.එය සාමාන්‍ය සිදුවීමකි.
මුන්නේෂ්වරම දේවාලය අවට ස්ථීර ව්‍යාපාරික ස්ථාන කීපයක් ඇත.පූජා භාණ්ඩ මෙන්ම සිල්ලර භාණ්ඩ අලවි කිරීම එම ව්‍යාපාරික ස්ථාන වලින් සිදු කරති.නමුත් නිකිණි මංගල්‍ය සමයට මුන්නේෂ්වරම අවට තාවකාලික ව්‍යාපාරික ස්ථාන රැසක් ස්ථාපනය වන්නේය.ඒ දේවාල වලට පැමිනෙන බැතිමතුන්ට අවශ්‍ය දෑ සම්පාදනය කරන්නටය.
මෙම දේවාල සදහා පැමිනෙන බැතිමතුන් සහ අවට ඇති ව්‍යාපාරික ස්ථාන වල සේවය කරන සියළුම දෙනා මුහුණ දෙන ප්‍රධානතම ගැටළුවක් වී ඇත්තේ ක්‍රමවත් සනීපාරක්ෂක පද්ධතියක් නොතිබීමය.
“අපි වෙළදාම් කරන්නේ බිම ඒවායේ හිමිිකරුවන්ගෙන් බදු අරගෙන. සාමාන්‍යයෙන් සති දෙකකට වැඩි කාලයක් අපි මුන්නේෂ්වරම දේවාලයේ මංගල්‍ය කාලයට ඇවිත් වෙළදාම් කරනවා.ප්‍රාදේශීය සභාවෙන් ඇවිත් ව්‍යාපාරික බදු අය කරගෙන යනවා.නමුත් අපිට නාන්න,වැසිකිළි යන්න තැනක් නෑ.එයාලගෙන් අහපුවහම කියන්නේ ඒ පහසුකම් දේවාලයෙන් ඉල්ලා ගන්න කියලා”. තාවකාලික ව්‍යාපාරිකයෙකු කියා සිටියේය.
“මේ දේවාලයට අපේ රටේ අය මෙන්ම විදේශීය ජාතිකයොත් එනවා.දවසක් පිට රටකින් ආපු සුදු නෝනා කෙනෙකුට වැසිකිළි යන්න අවශ්‍යතාවයක් ඇති වෙලා විශාල ගැටළුවක් වුණා.මොකද එහෙම තැනක් මේ අවට කොතැනකවත් නෑ.” මුන්නේෂ්වරම දේවාලයේ ස්ථීර වෙළද ව්‍යාපාරිකයෙකු කියා සිටියේය.
“මුන්නේෂ්වරම පූජා භූමිය තුළ නවීන පහසුකම් සහිත වැසිකිළි සහ නාන කාමර පද්ධතියක් හදන්න අපි සුදානම්.ඒ සදහා අවශ්‍ය මුදල් රජයෙන් ලැබිලා තියනවා.නමුත් ඉදිකිරීම් සදහා ඉඩමක් තමයි නැත්තේ.අපි දේවාල කමිටුවෙන් අවස්ථා කීපයකදීම ඉල්ලීම් කලා අපිට ඉඩමක් දෙන්න කියලා.නමුත් කිසිදු ආකාරයක ප්‍රතිචාරයක් නෑ.ඒ නිසා තමයි මේ ගැටළුව ඇති වෙලා තියෙන්නේ. දේවාලය ආසන්නයෙන් ඉඩමක් දෙනවා නම් සනීපාරක්ෂක සංකීර්ණයක් හදන්න අපි සුදානම්”.මේ සම්බන්ධයෙන් හලාවත ප්‍රාදේශීය සභාවෙන් විමසූ විට එහි නිලධාරියෙකු කියා සිටියේය.
“දේවාලය අවට පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථාන වලින් අපිට කිසිම ආදායමක් ලැබෙන්නේ නෑ.අනික අපි ව්‍යාපාරික ස්ථාන පවත්වා ගෙන යන්න කියලා කිසිම කෙනෙකුට එන්න කියන්නෙත් නෑ.ආගමික ස්ථානයකට වන්දනා මාන කටයුතු සදහා පැමිනෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ සහ පළාත් පාලන ආයතන වල වැඩක්.ඒ වැඩේ අපිට කරන්න හැකියාවක් නෑ.දේවාලයට අයිති ඉඩම් සනීපාරක්ෂක සංකීර්ණයක් සදහා දෙන්න හැකියාවකුත් නෑ.මේ අවට තියන පුද්ගලික ඉඩමක් මිලදී ගෙන හෝ පවරාගෙන අවශ්‍ය නම් රජයට පුළුවන් සනීපාරක්ෂක සංකීර්ණයක් හදන්න. ඒකට අපේ කිසිදු විරෝධයක් නෑ.අනික මුන්නේෂ්වරමේ තියෙන්නේ ඊශ්වර දේවාලය පමණක් නෙමෙයි.ඔය එන බැතිමතුන් සියළුම දෙනා එන්නේ මේ දේවාලයට පමණක් නෙමෙයි.ඒ නිසා මුන්නේෂ්වරමට එන සියළුම බැතිමතුන්ගේ බර අපිට ගන්න බෑ”. මේ පිළිබදව විමසූ විට මුන්නේෂ්වරම ඊශ්වර දේවාල කමිටුවේ සාමාජිකයෙකු කියා සිටියේය.
කව්රු කව්රුත් බෝලය අතින් අතට පාස් කරමින් සිටින්නේ ඒ ආකාරයට.ඒ නිසාම සිදු විය යුතු අත්‍යාවශයම දේ සිදු වන්නේ නැත.කාලයක් තිස්සේ පවතින මේ අවනඩුව මුන්නේෂ්වරමට අධිපති ශිව දෙවියන් හෝ මැදිහත්ව විසදන්නේ නම් එය යහපත් ක්‍රියාවක්ම වන්නේය.
ජුඩ් සමන්ත

