ඉස්ලාම් ධර්මයේ, ප්රාරම්භකයා සහ අවසන් ධර්මදූතයා ලෙස සැලකෙන ගෞරවනීය මහම්මද් නබිනායකතුමන්ගේ ජන්ම දිනය සමරන 42 වන මිලාද් උන් නබි මහෝත්සවය ඊයේ දින (26/08/2026) සවස මීගමුව, පෙරියමුල්ල, අල් හිලාල් විද්‍යාල පරිශ්‍රයේදී මහත් හරසරින් සහ අභිමානයෙන් යුතුව සමරනු ලැබීය.
සහජීවනය, සහෝදරත්වය සහ එකමුතුකම යන උදාර තේමාව පෙරදැරි කරගනිමින් මෙවර මෙම ජාතික මහෝත්සවය පවත්වනු ලැබීය.
ගම්පහ දිස්ත්‍රික්කයට වසර 28කට පසුව මෙවන් ජාතික මහෝත්සවයක් පැවැත්වීමේ අවස්ථාව හිමිවීමත්, විශේෂයෙන් පාස්කු ප්‍රහාරයෙන් පසුව ප්‍රදේශයේ සාමය, සහජීවනය සහ සංහිඳියාව තහවුරු කිරීමේ අරමුණින් මීගමුව පුරවරය මේ සඳහා තෝරා ගැනීමත් මෙවර උත්සවයේ කැපී පෙනෙන විශේෂත්වය විය.
ගරු ජනාධිපති අනුර කුමර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අති උත්කර්ෂවත් ජාතික මහෝත්සවය සඳහා සියලු ආගම් නියෝජනය කරමින් ගරු ස්වාමීන් වහන්සේලා සහ ගරු පූජකතුමන්ලා පරිසක්ද සහභාගී වූහ. එලෙසම බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆ්ෆර්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්රිෂාන්තා අබේසිංහ, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, නියෝජ්‍ය කතානායක වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලී, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න , බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසූෆ් සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරුන් ද ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද විශේෂ ආරාධිතයන් ලෙස මෙම මහෝත්සවයට සහභාගී වූහ.
මිලාද් උන් නබී උත්සවය ජාතික මහෝත්සවයක් ලෙස පැවැත්වීමේ සංකල්පය දශක 04කට පමණ පෙර, එනම් වසර 42කට පමණ පෙර එක්සත් ජාතික පක්ෂයේ ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේදී ආරම්භ විය. ගම්පහ දිස්ත්‍රික්කයේ අවසන් වරට ජාතික මට්ටමෙන් රාජ්‍ය අනුග්‍රහය සහිතව මිලාද් උන් නබී මහෝත්සවයක් පැවැත්වුණේ 1998 වසරේ මල්වාන ප්‍රදේශයේදීය.
ඒ අනුව මීගමුවේ පැවත්වෙන මෙම 42 වැනි මිලාද් උන් ජාතික මහෝත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නව මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කල අතර, තැපැල්පති ( පෝස්ට් මාස්ටර් ජෙනරාල් ) ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා විසින් එය ජනාධිපතිතුමන් වෙත පිළිගන්වන ලදී.
ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථානවල සහ අරාබි භාෂා පාසල්වල වසර 25කට වැඩි කාලයක් සේවය කළ 20 දෙනෙකුගෙන් සමන්විත ගෞරවනීය මවුලවිතුමන්ලා, උස්තාද්වරුන් සහ මුඅද්දීන්වරුන් පිරිසකට ඔවුන් සිදු කළ ආගමික හා සමාජීය සේවය අගය කරමින් ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් උපහාර පුද කිරීම ද මෙහිදී සිදුවිය. එමෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම්වරුන්ගේ පුරාණ ඉතිහාසය, සම්ප්‍රදායන්, සංස්කෘතික කටයුතු මෙන්ම එම ජනතාවගේ සමාජීය ජීවන තත්ත්වයන් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් විශේෂ ග්රන්ථයක් සහ මෙම ජාතික මහෝත්සවය වෙනුවෙන් මුද්‍රණය කරන ලද සමරු සඟරා කලාපයක් එළිදැක්වීම ද සිදුවිය. එම ග්‍රන්ථයේ සහ සමරු සඟරා කලාපයේ මුල් පිටපත් ජනාධිපතිවරයාට පිළිගැන්වීම ද විශේෂ අවස්ථාවක් විය.
තවද, ගම්පහ දිස්ත්‍රික්කයේ රජයේ පාසල් සහ රජයට අනුයුක්ත පාසල් මෙන්ම අරාබි භාෂා පාසල්වල ඉගෙනුම ලබන දරුවන් අතර නබි නායක තුමන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් පවත්වන ලද තරගවලින් ජයගත් සිසු දරු දැරියන්ට සමරු තිළිණ ප්රදානය කිරීම ද ජනාධිපතිතුමන්ගේ සහ අනෙකුත් ආරාධිත මැති ඇමතිවරුන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.
42 වැනි මිලාද් උන් නබී ජාතික මහෝත්සවය පුරාවට ගරු නබිනායක තුමන්ගේ කරුණාව, දයාව වැනි යහගුණ වෙනුවෙන් ගයන ප්රශස්ති ගී (කසිදා, මව්ලුද්) නිර්මාණ සහ පද්‍ය නිර්මාණ කිහිපයක්ම දරු දැරියන් විසින් ඉදිරිපත් කරන ලදී. මීගමුව පුරවරයේ ප්‍රකට මුස්ලිම් පාසල් වන අල් හිලාල් සහ අල් ෆලාල් විද්‍යාලවල දැරියන් පිරිසක් විසින් මෙම ජාතික මහෝත්සවය ආරම්භයේදීම මෙරට ජාතික ගීය සිංහල භාෂාවෙන්, ඉතා ලයාන්විතව ගායනා කිරීම කාගේත් පැසසුමට ලක් වූ සුවිශේෂී අවස්ථාවක් විය.
ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන ලේකම් ලලින්ද්‍ර ගමගේ, මීගමුව නගරාධිපති චාමර ප්‍රනාන්දු, නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් ෆසීර්, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි යන මහත්ම මහත්මීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් මෙන්ම, ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු විශාල ජනකායක් මෙම ජාතික මහෝත්සවයට සහභාගී වූහ.
සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු
ඡායාරූප .-.
ජනාධිපති මාධ්‍ය අංශය




















