නව වසරේ ජනවාරි මස එක් දිනෙක ජනාධිපතිතුමා යාපනයට පැමිණීමට නියමිතව තිබුණා. ඒ වෙනුවෙන් ලක ලෑස්ති වීම සති ගණනාවක් තිස්සේ තිබුණත් අදාල දිනයේ උදේ යාපනයේ පත්තර බලන විටයි දැනගන්නට ලැබුණේ හදිසියේම එම සංචාරය අවලංගු කර ඇති බව. ආරක්ෂාව තර කිරීම කියන හේතු පාඨය සමඟ පාර දෙපස හමුදාව රැඳවීම කියන කාරණය විතරයි මෙවර ජනාධිපති සංචාරය වෙනුවෙන් මෙයට පෙර ජනාධිපතිවරුන්ගේ යාපනය සංචාර වෙනුවෙන් කෙරෙන කටයුතුවලින් අඩුවකට තිබුණේ. අනිත් හැම දෙයක්ම ඉස්සර වගේම තමයි. පෝස්ටර් සහ විශාල ප්‍රචාරක පුවරු ආදිය සුපුරුදු ලෙසින්ම දක්නට ලැබුණා. ඒ අතින් නම් යහපාලන ආණ්ඩුවේ පුරාජේරුව සහ එයට පෙර පැවැති මහින්ද චින්තනය අතර බෙදුම් රේඛාව බොඳ වී යමින් පවතිනවා.
කෙසේ වුණත් ජනාධිපතිතුමාගේ යාපනය සංචාරය යාපනය ජනතාව තුළින් ප්‍රකට කළේ නාවත් හොඳයි වැනි ආකල්පයක් යැයි කිව හැකියි. එයට හේතුව ඉතාමත් ශීඝ්‍රයෙන් දෙමළ ජනතාව තුළ යහපාලන ආණ්ඩුව කෙරෙහි වන විශ්වාසය බිඳ වැටෙමින් පැවතීමයි. ඇත්තෙන්ම එම විශ්වාසය යහපාලන ආණ්ඩුව කෙරෙහි වන අධි තක්සේරුව මත පදනම් වූවක්. එහෙම නැතුව දේශපාලනික ඇගයීමක් තක්සේරු කිරීමක් පදනම් කර ගෙන ඇති කරගත් දෙයක් නොවෙයි. එය දකුණේ අභිලාෂයන්ට වඩා වෙනස් වන්නේ ඇත්තෙන්ම උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අභිලාෂය දීර්ඝ කාලීන යුද්ධයකින් සහ එයට පසුව පශ්චාත් යුදමය කාලය තුළ දැඩි ලෙසින් දැඩි මර්දනකාරී පාලනයකට පසුව වීමයි. ඒ නිසා පැතුම් අහස උසට තිබුණත් යථාර්ථය තුළ එම පැතුම් කොයි තරම් දුරකට ප්‍රායෝගික ද යන්න ගැන සිතන්නට පැකිලීමක් දක්නට ලැබෙනවා.
අවුරුදු තුනක් පිරෙද්දී එම පැතුම් ඉටුවීමට ඇති හැකියාව පිළිබඳව දැනට පවතින්නේ දැඩි අවිශ්වාසයක්. දිනෙන් දින පවතින්නේ එම අවිශ්වාසය වැඩි කරවන තත්ත්වයක්. මෑතකදී ඇති වූ එවැනි සිද්ධීන් අතර ප්‍රධාන වන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් මහතාගේ ඝාතනය පිළිබඳ නඩු තීන්දුව. සම්පූර්ණයෙන්ම සිංහල අයගෙන් සමන්විත ජූරි සභාවක් විසින් ඝාතන සැකකරුවන් නිදොස් කිරීම පිළිබඳව දෙමළ සමාජය සිතන්නේ දෙමළ අයට නීතියෙන් පිහිටක් ලැබීමට ඇති ඉඩකඩ පිළිබඳ විශ්වාසය බිඳ වැටීමයි. ඒක ඇත්තෙන්ම නීතිය පිළිබඳ විශ්වාසය බිඳ වැටීමකට වඩා යහපාලන ආණ්ඩුව පිළිබඳ විශ්වාසය බිඳ වැටීමයි. දකුණෙහි මේ අයුරින් යහපාලන ආණ්ඩුවෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳ අපේක්ෂා භංගත්වය මෛත්‍රී වෙනුවට මහින්ද වැනි තට්ටු මාරුවක් කරා යොමු වීමට ඉඩකඩ පවතින නමුත් දෙමළ සමාජයට අනුව එය අර්ථ නිරූපණය වන්නේ සිංහල ආණ්ඩු පිළිබඳ විශ්වාසය තැබීම මෝඩකමක් යන මතය තහවුරු කිරීම දෙසටයි.
ඇත්තෙන්ම මෙම තත්ත්වය වඩාත් දරුණු ලෙසින් බලපෑම් කරන්නේ දෙමළ ජාතික සංධානයෙහි දේශපාලනය කෙරෙහියි. එහි නායක ආර්. සම්බන්ධන් මහතා විපක්ෂ නායක වුවත් දෙමළ සමාජය තුළ ආණ්ඩුව ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින අතර එය දෘඪතර දෙමළ ජාතිවාදී දේශපාලනය විසින් දැඩි ලෙසින් විවේචනයට ලක් කෙරෙන අතර දැනට සිදු වෙමින් පවතින මෙම ක්‍රියාකාරකම් දෙමළ ජාතික සංධානයට කට උත්තර නැති තත්ත්වයක් ඇති කරමින් තිබෙයි.
මෙයට පෙර උතුරු නැගෙනහිර දෙමළ ප්‍රජාව තුළ බහුළව පැවතියේ ආණ්ඩු විරෝධයයි. එය ආණ්ඩුව එහෙමයි යන්න දැනගෙන සිටි තත්ත්වයක් තුළ ඇති වූවක්ි. ඇත්තෙන්ම මෙයට පෙර පැවැති ආණ්ඩු කෙරෙහි දෙමළ ජනතාව අතරෙහි විශ්වාසයක් පැවැතියේ නැති. නමුත් මෙම ආණ්ඩුව තමන් විසින් පත් කරගත් ආණ්ඩුවක් යන හැඟීම වඩාත් නිවැරදිව කියන්නේ නම් තම ඡන්ද හේතුවෙන් ජයග්‍රහණය කළ ආණ්ඩුවක්ය යන අදහසින් තම අභිලාෂයන් ඉටු කරනු ඇතැයි යන විශ්වාසය ප්‍රමුඛ කර ගත්තකි. ඒ අනුව සතුරෙකුගේ එදිරිවාදිකම්වලට වඩා වැඩි බලපෑමක් ඇති කිරීමට මිතුරෙකුගේ විශ්වාස ද්‍රෝහීත්වය හේතු වෙයි. එහෙයින් මෙය බලගතු හිත් බිඳීම. එහි ප්‍රතිඵල කුමක් විය හැකි ද?
යහපාලන ආණ්ඩුව අපේක්ෂා බිඳ දමා ඇත්තේ උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ පමණක් ද යන ප්‍රශ්නය කෙනෙකුට පහසුවෙන්ම නැඟිය හැකියි. නැත. දකුණටත් එය එලෙසින්ම අදාළයිය. නමුත් දකුණට ඒ වෙනුවෙන් “විකල්ප” ඇත. එම විකල්ප අතරින් බහුතරය අවස්ථාවාදී බල ලෝභී රංචු ගැසීම් බව ඇත්ත. නමුත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට එවැනි විකල්ප පවා නැහැ. දෙමළ ජාතික සංධානය යනු ප්‍රාන්තීය දේශපාලන පක්ෂයක් මිස ජාතික තලයෙහි ක්‍රියාත්මක දේශපාලන පක්ෂයක් නොවන හෙයින් එයට ජාතික දේශපාලන අභිලාෂයන් නියෝජනය කිරීමට හැකියාවක් නැහැ.
එහෙයින් යහපාලනයෙහි පැතුම් බිඳී යමින් පවතින අතර වැකුම් (vacuum) හෙවත් හිඩැස් වැඩිවෙමින් ඇත. එම හිඩැස් අතරින් සංහිඳියාව මතු වීම අපේක්ෂා කළ නොහැකියි ය.
යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් විසින් 2017 ජනවාරි/පෙබරවාරි සමබිම පුවත් පත වෙත රචිත ලිපියකින් උපුටා ගන්නා ලදි
www.samabima.com