Saturday, May 18, 2024

සැණකෙළියක් වූ ජනබලය

Must read

*ඒකාබද්ධ විපක්ෂය ‘ජනබලය කොළඹට’ යනුවෙන් හඳුන්වමින් ඊයේ (5දා) පැවැත්වූ විරෝධතාව ඔවුන් සිතූ පැතූ තරම් සාර්ථක නොවුවද කැඳවා ගත් පි‍රිස් හරහා ආණ්ඩු පිහිටුවන්නට ගන්නා සැලැසුම් හරහා සිදු කළේ පාසල්වලට යන සිසුන්ව, එදිනෙදා තම දිවි පැවැත්ම සඳහා වෙහෙසෙන මහජනතාව අපහසුතාවට පත් කිරීමයි.

නළා හඬ, කෑකෝ ගැසීම් සමඟ ඒකාබද්ධයේ විරෝධතාව කොළඹ කොටුවට ළඟාවූයේ සැණකෙළියක් ස්වරූපයෙන් මිස ප්‍රධාන දේශපාලන ඇමතුම් හරහා සිය පණිවිඩය බෙදා හැරීම අමතක කරමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඔසවන්නට සවස 4 වනවිට ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පිරිස් ලේක්හවුස් වටරවුමට එක්රැස් විය. කොටුව දුම්රිය ස්ථානයේ සිට පැමිණි පිරිසට එක්වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ සිය ආරක්ෂකයන් සමඟ වටරවුම අසළට ළඟාවූහ.

ඊයේ (5දා) සවස්වනතුරුම විරෝධතාකරුවන් සිය අවසන් ස්ථානය ප්‍රකාශ නොකරමින් සිටියද ඔවුන්ගේ වෑයම නියම නායකත්වයක් නොමැතිව අසාර්ථක වීමෙන් රැස්වූවන්ටද ඉබාගාතේ යන්නට සිදුවිය.

සැණකෙළි ස්වරූපයෙන් උද්දාමව සිටි පිරිස් අන්නාසි කැබලි කමින්, අයිස්ක්‍රීම් තොලගාමින් පපර වාද්‍ය භාණ්ඩවල සංගීතයට මහා මාර්ග පුරා නටමින් ප්‍රදර්ශනය කළේ ආණ්ඩු විරෝධි පෙළපාලියක් නොව පාසල් ක්‍රිකට් මහා තරග සැණකෙළි ස්වරූපයයි.

පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ මහතා රාත්‍රී 7 වනවිට පවසා ඇත්තේ විරෝධතාකරුවන් මෙහි එළිවනතුරු රැඳී සිටිනවාද නැතහොත් විසිරයනවාද කියා ඔවුන් විසින්ම තීරණය කළ යුතු බවයි. මුලින් පවසා තිබී ඇත්තේ නායකයන් දස දෙනෙකු තමන්ගේ විරෝධතාවට රජයෙන් නිසි ප්‍රතිචාර දක්වන තෙක් බ්‍රහස්පතින්දා වනතුරු රැඳී සිටින බවයි.

මොවුන්ගේ මේ විරෝධතාවට ඉඩ ලබාදෙමින් පාසල් කල් වේලා ඇතිව අවසන් කෙ‍රිනි. කොළඹ රජයේ මෙන්ම පෞද්ගලික ආයතනවල සේවක පිරිස් වෙත පස්වරු තුන වනවිට සේවයෙන් බැහැරව යාමට පහසුකම් සපයා දුන්හ. එදිනෙදා වේල පිරිමසා ගන්නට වෙළෙඳාමේ යෙදුන සිල්ලර වෙළෙඳුන් ඉන් ඉවත් වූහ.

කොළඹ කේන්ද්‍රීය ස්ථානයක් සිය විරෝධතාවට ඉලක්ක කර ගනිමින් කෑමෙන්, බීමෙන් සප්පායම්ව නටමින් ගයමින් පපර වාද්‍ය භාණ්ඩ වයමින් මාවතේ නිදාගනිමින් කළ ක්‍රියාවල අවසන් ප්‍රතිඵලය වූයේ වාහන තදබදයෙන් මගීන්ගේ ගමන් පහසුව අඩාල කිරීමය. හැකි ඉක්මනින් නිවෙස් බලා යන්නට සූදානම් වූ පිරිස මගතොටේ අතරමං වූහ. බොහෝ පිරිස් සිය දූ දරුවන් පාසල් වෙත එවීමෙන් වැළකුණහ. එදිනෙදා සාමාන්‍ය අවශ්‍යතාවන් සඳහා කොළඹට පැමිණෙන පිරිස් සිය අවශ්‍යතාවය කල් දැමූහ.

නාමල් රාජපක්ෂ මහතාට අවශ්‍යව තිබුණේ රජයට නොව සිය බාප්පාට තම බලය පෙන්වීම බව ශ්‍රි.ල.නී.ප මන්ත්‍රීවරයකු පවසා සිටියේ ඊයේ රාත්‍රියේ මේ විරෝධතාව අසාර්ථකව අවසන් වීමෙන් අනතුරුවය. ගෝඨාභය රාජපක්ෂ මේ විරෝධතාවට එක්වුවද ඔහුගේ ජනාධිපති අපේක්ෂකත්වයට සහාය දක්වන්නන්ගේ අදහස වූයේ ඔහු විසින් මේ සැලැස්ම ක්‍රියාත්මක කළා නම් මීට වඩා ශක්තිමත් වන බවයි.

ඒකාබද්ධයේ මේ විරෝධතාව නිසා කොළඹ ආර්ථිකයට කිසියම් බලපෑමක් සිදුවිය. ව්‍යාපාරික කේන්ද්‍රස්ථානය මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වාණිජ නගරය වූ පිටකොටුවේ කඩසාප්පු ව්‍යාපාරික ස්ථානවල දොරවල් වේලාසනින්ම වැසීගියේය. කොළඹ ප්‍රධානම ව්‍යාපාර කේන්ද්‍රය ලෝක වෙළෙඳපොළ සේවක පිරිස් සිය සේවාවන් වරුවකින් නිම කළහ.

එහෙත් අයිස්ක්‍රීම්, කඩල, අන්නාසි, වතුර බෝතල් වෙළෙන්දනගේ නම් අතමිට සරු විය. ඔවුන්ටත් ඊයේ රජ මඟුල් විය.

අධිකරණ ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය පවසා සිටියේ රට ණය බරට ඇද දැමූ රාජපක්ෂවරුන් විපක්ෂයේ සිට පවා සිදු කරන්නේ ආර්ථිකයට විනාශයක්ම බවයි. “කොළඹ නගරයේ නිෂ්පාදන ඒකාබද්ධයේ රංගන නිසා නැවතුණි. කළබල වෙතැයි සිතූ මාපියන් තම දූ දරුවන්ගේ පාසල් ගමන නවතා දැමුවා” යැයි ඇමැතිනිය පවසා සිටියාය. මේ තත්ත්වයේ බියජනකකම තවත් වැඩි කරන්නේ නිවාසවල රැඳුන දූ දරුවන් රාත්‍රියේ රූපවාහිනී විකාශ මඟින් ඔවුන්ගේ නෙත ගැටෙන ලේක්හවුස් වටරවුමේ රැඳී සිටිමින් බීමතින් කලහ කරමින් තැන තැන නිදාගනිමින් සිටින පිරිස් දකිනවිට බව ඇය අවධාරණය කළාය.

අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසුවේ ඒකාබද්ධය අපේක්ෂා කළේ 2001 එක්සත් ජාතික පක්ෂයේ ජන බල මෙහෙයුම වගේ සිය මෙහෙයුම සිදුවේය යන්නයි. ඔවුනට අවශ්‍ය වූයේ පොලිසිය මඟින් වෙඩි තබ්බවන්නට, කඳුළුගෑස් ගස්සවන්නට විරෝධතාකරුවන් ලවා පාරවල් යුද පිටි කරන්නටයි. ඔවුන්ට ඕනෑ වූයේ ආණ්ඩුව ඒ දෙසට මෙහෙයවන්නටයි. එහෙත් අද තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රජයක්. ආණ්ඩුව අද එය ඔප්පු කළා. විරෝධතාකරුවෝ ආවා. ආපසු ගියා. හෙට සාමාන්‍ය ජීවිත පැවැත්ම අරඹනවා යැයි ඇමැතිවරයා පැවසීය.

ර‍ජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුව අමතමින් නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවසුවේ ‘නාමල් කුමාරයාගේ පළමුවැනි සංග්‍රාමයම අතිශයෙන්ම අසාර්ථක වුණා” යනුවෙනි. නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවේ පොදුජන පෙරමුණු නායකයන් ටාජ් හෝටලයේ කාමර අංක 757 සමඟ තරු පහේ හෝටල්වල කාමර වෙන්කර ගෙන සිය අනුගාමිකයන්ට පාරවල් ගානේ නිදාගන්නට සලස්වා ඇති බවයි.

නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා මේ සාකච්ඡාවට එක් වෙමින් කියා සිටියේ බීමතින් හුස්ම ගැනීමේ අපහසුතාවට පත්වූ 81ක් 1990 ගිලන් රථ සේවාවෙන්ම රෝහල් වෙත ගෙනයාමට සිදු වූ බවයි.

යන එන මං නැති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තැන් තැන්වල රැඳී සිටි විරෝධතාකරුවන් ස්වල්ප දෙනෙකු අමතනු දක්නට ලැබිණි. ඔහුටද එහි දේශපාලන වේදිකාවක් නොවීය. හිටපු ජනපති හෝ හිටපු ආරක්ෂක ලේකම්වරයා හෝ උද්ඝෝෂණය මෙහෙයවූ නාමල් රාජපක්ෂගෙන් හෝ සිය අනුගාමිකයන් වෙත කිසිම දේශපාලන හෝ ආමන්ත්‍රණ නොවීය.

දහස් ගණනින් පොලිස් නිලධාරීන් සීරුවෙන් සිටියද විරෝධතා ස්ථානවල ඔවුන් දක්නට නොලැබුණ අතර රාත්‍රී 8 වන විට විරෝධතාව සාමකාමීව අවසන් වූයේ විරෝධතාකරුවන්ට ඔවුන් සිතුවාටත් වඩා කලින් සිය බස් රථ වෙත ගමන් කිරීමෙනි.

 

 

උපුටාගැනීම – http://www.dinamina.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article