Saturday, May 18, 2024

ශ්‍රී ලංකාව කෙරෙහි විදේශ ආයෝජක විශ්වාසය තහවුරු වී ඇතැයි මහ බැංකුව අවධාරණය කරයි.

Must read

ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම අගයකින් යුතු වූ ඇමෙරිකානු ඩොලර් කෝටි 2500 (බිලියන 2.5) ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව සාර්ථකව සිදුකිරීම ඇතුළු යහපත් ආර්ථික ප්‍රතිඵල පහක් සිදුවීම මඟින් ශ්‍රී ලංක ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය හා ඉදිරි ගමන පිළිබඳ විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසය නැවත වතාවක් තහවුරු වී ඇතැයි මහ බැංකුව අවධාරණය කරති.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මෑතකදී ඉදිරිපත් කළ ඩොලර් බිලියන 2.5ක බැඳුම්කර නිකුතුවට 2.6 ගුණයක අධි ඉල්ලුමක් පැවැති බවත්, ලෝකයේ විශාලතම සහ ඉහළ පිළිගැනීමකින් යුතු යෝජනා අරමුදල් ඒ සඳහා විශාල සහභාගීත්වයක් දක්වා ඇති බවත් මහ බැංකුව ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා ආර්ථිකයේ මෑතකාලීනව සිදු වූ ක්‍රියාකාරීත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමුකොට ඇති ජාත්‍යන්තර මුල්‍ය ආයතන, විදේශීය ආයෝජකයෝ තමන් තුළ ශ්‍රී ලංකාව කෙරෙහි පවතින විශ්වාසය යළි යළිත් තහවුරුකොට තිබෙන බව පැහැදිලි වන ප්‍රතිඵල රටට ලැබී ඇත.

ඒ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා මහ බැංකුව මෙසේද කියා සිටියි.

මෙවැනි වාතාවරණයක් තුළ ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳ පොළෙන් ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි පවතින සහයෝගයේ ස්වභාවය මැන බැලීම යෝග්‍ය වේ. ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳ පොළ මත පදනම් වන මිනුම් දඬු තාර්කික හා යථාර්ථවත් වන අතර මෙවැනි මිනුම් දඬු ශ්‍රී ලංකා ආර්ථිකයෙහි ක්‍රියාකාරිත්වය පිළිබඳව ස්වාධීන දර්ශක ලෙස සැලකිය හැකිය.

ශ්‍රී ලංකාව මෑතකදී අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක (ඉතිහාසයේ වැඩිම) අගයකින් යුතු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (ISB) සාර්ථකව නිකුත් කරන ලදී. එයට සියයට 2.6ක අධි දායකත්වයක් ලැබී තිබුණි. ලොව විශාලතම සහ ඉහළ පිළිගැනීමකින් යුතු යෝජනා අරමුදල් මේ සඳහා විශාල සහභාගිත්වයක් දක්වා තිබිණි.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුවෙන් පසු දළ නිල සංචිත ඓතිහාසික වශයෙන් ඉහළම මට්ටම වන ඩොලර් බිලියන 9.9 දක්වා වැඩි වී ඇත.

ඩොලර් බිලියනයක කාලීන ණයක් ලබාගැනීම සඳහා යෝජනා කැඳවීමේදී රජයට ඉතා හිතකර ප්‍රතිචාරයක් ලැබී ඇත. ඒ අනුව මෙම කාලීන ණයෙහි ප්‍රමාණය ඉහළ දමා, එමඟින් ලැබෙන අරමුදල් භාවිතා කර, වඩා අධික පිරිවැයකින් යුතු වෙනත් ණය ගෙවා දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. අමෙරිකා එක්සත් ජනපදයේ පොලී අනුපාතික ඉහළ යාමත්, ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු ප්‍රථම වරට අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය සහ ජපානය යන ප්‍රධාන ආර්ථික කලාපයන්හි එකට සිදුවන ආර්ථික වර්ධනයන් හමුවේ, නැඟී එන වෙළෙඳ පොළවලින් අරමුදල් පිටතට ගලායාම මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොළ සහ රජයේ රුපියල් සුරැකුම්පත් වෙළෙඳ පොළ වෙත ශුද්ධ වශයෙන් ගලා ඒම පැවත ඇත.

කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත ප්‍රාථමික හා ද්වීතියික වශයෙන් ආයෝජන සඳහා ඩොලර් මිලියන 9.6ක් මේ දක්වා ශුද්ධ ගලා ඒම් වශයෙන් පවතියි. 2017 වසරේදී මෙවැනි ගලාඒම් ඩොලර් මිලියන 278.5ක් විය. රජයේ රුපියල් සුරැකුම්පත් වෙළෙඳ පොළ වෙත මේ දක්වා ශුද්ධ ගලා ඒම් ඩොලර් මිලියන 6.05 කි. 2017 වසරේදී, මෙවැනි ගලා ඒම් ‍ ඩොලර් මිලියන 441 ක් විය.

2017 දී විදේශ ඍජු ආ‍යෝජන ගලා ඒම් ඉතිහාසයේ වැඩිම අගය වූ ඩොලර් බිලියන 1.9ක් විය. මීට අමතරව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමෙහි 4 වැනි සමාලෝචනය නිලධාරි මට්ටමේ එකඟතාවකට පැමිණ ඇති අතර, ස්වයංක්‍රීය ඉන්ධන මිල සූත්‍රය අනුමත කිරීම මත, 2018 ජුනි මාසයේදී එහි පස්වැනි ණය වාරිකය ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2017 ජුනි මාසයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිතාව හා ඉදිරි දැක්ම පිළිබඳව ධනාත්මක ප්‍රකාශ කිහිපයක්ම නිකුත් කර ඇත. S & P සහ Fitch යන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙකම ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම ඍණ මට්ටමක සිට ස්ථාවර මට්ටමක් දක්වා වෙනස් කර ඇත.

මේ සියල්ලෙන් දැක්වෙන්නේ විදේශ ආයෝජකයන් විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරිත්වවය සහ ඉදිරි ගමන පිළිබඳව ස්වාධීන විශ්ලේෂණයක් සිදු කර, එම ධනාත්මක හැඟීම මත ඔවුන් සතු මුදල් ශ්‍රී ලංකාවට ගලා ඒමට සලස්වා ඇති බවයි.

 

 

http://www.dinamina.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article