Sunday, May 19, 2024

යහපාලන සහ යම පාලනය අතර වෙනස මංගල මාතරදි කියයි !

Must read

මංගල1

බැඳුම්කර කොමිසම ඉදිරියේ නීතිපතිවරයා විසින් අගමැතිවරයා ප්‍රශ්න කිරීමට ලක් කිරීම යහපාලනයේ සහ යම පාලනයේ වෙනස ජනතාවට තේරුම් ගැනීමට මහගු අවස්ථාවක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. පැවැති පාලනය යටතේ නීතිපතිරුවන්ට අත් වූ ඉරණම කුමක් දැයි මෙරට ජනතාවට මනා වැටහීමක් ඇතැයි හෙතෙම පෙන්වා දෙයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ “හැට දෙලක්ෂය සීරුවෙන්” මැයෙන් අද (24) මාතර බෝධීන් වහන්සේ අභියස පැවැති මහා සත්‍යග්‍රහයට එක්වෙමිනි.

වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.

‘පසුගිය සඳුදා මේ රටේ යහපාලනයේ සුවිශේෂී දවසක්. මේ රටේ අගමැතිවරයා තමන්ගෙ කැමැත්තෙන් ගිහින් බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දුන්නා. රටේ නීතිපතිවරයා ඔහුගෙන් ප්‍රශ්න කළා. මේ තමයි යහපාලන සහ පෙර පැවැති යම පාලනය අතර වෙනස.

එදා හිටපු නීතිපති මොහාන් පීරිස් මහතා මැද මුලන වලව්වෙ වලං හෝදන තැන දාල තිබුණ. මැද මුලන වේටර් කමට අරගෙන තිබුණෙ ඔහුව. ඒ වගේ ම අපට මතකයි තමන්ට අවශ්‍ය පරිදි තීන්දු ලබා දෙන්න අකමැති වුණ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට කරපු දේ. මහ රෑ පාර්ලිමේන්තුව හොර උසාවියක් බවට පත් කරල ඇයව ගෙදර යැවුවා. මෙන්න වෙනස. දැන් ජනතාවට වැටහෙමින් තියෙනවා නීතියට ඉහළන් කවුරුත් නැති බව.

නමුත් හැම දෙනාට ම සැකයක් එනවා මේ තරං හොඳට ක්‍රියාත්මක වෙන නීතිය තාමත් රාජපක්ෂවරුන්ගේ වැරැදිවල ක්‍රියාත්මක නොවෙන්නෙ ඇයි කියල.
බැඳුම්කර කොමිසමේ මේ උනන්දුව වගේ එකක් රාජපක්ෂවරුන්ගේ දූෂණ ගැන නැත්තේ ඇයි කියල මටත් හිතෙනවා. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව පැත්තෙන් ඔවුන්ට ගැටලු තියෙනවා සමහර දේවල් ක්‍රියාත්මක කරන්න. සමහර පරීක්ෂණවලට විස්තර හොයන්න රටවල් 10කට 12කට යන්න වෙන අවස්ථා තියෙනවා. ලිබියාවේ ගඩාෆි මිය ගිහින් වසර කිහිපයක් ගත වුණත් තාමන් ඔහුගේ දූෂණවලින් හොයාගෙන තියෙන්නෙ 4%ක් 5%ක් පමණයි. මේ වගේ දේවල්වලට යම් කාලයක් ගත වෙනවා.

පසුගිය අපි දැක්ක බැඳුම්කර සිද්ධියට අදාළ දුරකතන ඇමැතුම් ගැන වාර්තාවක් ගැන කතා කරනවා. මේ විදියට තාජුදින් මරපු වෙලාවෙ ශිරන්ති රාජපක්ෂට ආපු ඇමැතුම් ආව ද කියලත් දැන ගන්න තිබුණ නං හැම දෙනාට ම ඒක දැන ගන්න තිබුණ.‘

මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, නව සම සමාජ පක්ෂ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයහු, සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු විශාල පිරිසක් සහභාගී වී සිටිහය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article