Wednesday, May 15, 2024

මහින්දට නැවතත් ජනාධිපතිවරණයකට එන්න බැහැ – විජේදාස රාජපක්ෂ

Must read

*අතීතයේ දෙවරක් මහජන ඡන්දයෙන් ජනපති වූ අයකුට අනාගත අපේක්ෂකකම බෑ
*ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළත් ඉල්ලීමඉවත දැමෙනවා
*අපේක්ෂක ලෙස ඉදිරිපත් වී ලබා‍දෙන දිවුරුම් පෙත්සම ව්‍යාජ එකක් වී වසර තුනක හිර දඬුවමකට යටත් වෙනවා

අපේ ර‍ෙට් මුඛ්‍ය නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා ජනාධිපති මැතිවරණ පනතට අනුව දෙවතාවක් මහජන ඡන්දයෙන් විධායක ජනාධිපති ධුරයට තේරීපත්වූ මහින්ද රාජපක්ෂ මහතාට තෙවැනි වතාවටත් ජනාධිපති මැතිවරණයකට ඉදිරිපත්වීමට කිසිඳු හැකියාවක් නැතැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අවධාරණය කෙළේය.

දෙවතාවක් මහජන ඡන්දයෙන් විධායක ජනාධිපති ධුරයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතාට නැවැත වතාවක් ජනාධිපති මැතිවරණයකට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් විය හැකි යැයි රටේ ඇතැමෙකු මතයක් විමසන්නට සූදානම් බවත්, එම මතයට කිසිඳු නීතිමය ඉඩක් හිමි නොවන බවත් පැහැදිලි කරමින් විජයදාස රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

කොළඹ, නුගේගොඩ නාවල පාරේ විජයබා මාවත පිහිටි අමාත්‍යවරයාගේ නිවසේ ඊයේ (19) සවස පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් රටේ ව්‍යවස්ථාවට කරනු ලැබූ සංශෝධනයට අනුව 20 වැනි ව්‍යවස්ථාවේ 01 වැනි අනු ව්‍යවස්ථාව මඟින් මේ රටේ දෙවතාවක් ජනාධිපති වූ අයකුට නැවතත් ජනාධිපති ධුර අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට කිසිඳු හැකියාවක් නැතැයිද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

මෙය අනාගතයට බලපාන නීතියක් ලෙස සමහර තර්ක ඉදිරිපත් කරනවා. එය නිවැරදියි. එය බලපාන්නේ අනාගතයට තමයි. අනාගතයේදී ජනාධිපති මැතිවරණයේ අපේක්ෂකයා වන තැනැත්තා අතීතයේ එම තනතුර දෙවතාවක් දරා තිබෙනවා නම් ඒ නීතිය ක්‍රියාත්මක යැයි ද රාජපක්ෂ මහතා අවධාරණය කෙළේය.

ඒ නිසා බොහෝම පැහැදිලියි, අතීතයේ දෙවතාවක් මෙම ධුරය දරා ඇත්නම් අනාගතයේදී ඒ පුද්ගලයාට අපේක්ෂකයෙකු වීමට නොහැකි බව යැයි ද ඇමැතිවරයා කීය.

මේ සම්බන්ධයෙන් සමහර අය ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ඉදිරිපත් වී සිටිනවා. නමුත් මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමැසීමට හැකි එකම බලධාරියා ජනාධිපතිවරයා පමණයි. අන් අය මේ ගැන විමසීමක් කළත් ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කරන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය එම ඉල්ලීම් ‍ඉවත දමනවා.

රටේ පවතින ජනාධිපති මැතිවරණ පනතේ 14 වැනි වගන්තිය අනුව යම් අපේක්ෂකයෙකු නාමයෝජනා භාරදීමේදී ඔහුට හෝ ඇයට විරුද්ධව විරෝධතා එල්ල කිරීමේ හැකියාව තිබෙනවා. අපේක්ෂකයෙකු විදිහට ඉදිරිපත් කරන තැනැත්තා තමන් අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත්වීම සඳහා නොසුදුසුකමකට පත් නොවුණු බවට අවසානයේ දිවුරුමකින් අස්සන් කරනවා. යම් අපේක්ෂකයෙකු තමන් නුසුදුසු බව දැන දැනත් තුන්වැනි වතාවටත්, අපේක්ෂකත්වය ඉදිරිපත් කළොත් දිවුරුමක් දෙන්න ඕනෑ. ඒ දෙන දිවුරුම බොරුවක්. ව්‍යාජ එකක්. මේවාගේ ව්‍යාජ දිවුරුමක් දුන්නොත් දණ්ඩ නීති සංග්‍රහයේ 190 වගන්තිය යටතේ වසර තුනක හිරගතවීමකට යටත් වෙනවා යැයි ද ඇමැතිවරයා පැහැදිලි කෙළේය.

නමුත් දෙවතාවක් ජනාධිපති ධුරය දැරුවෙකුට අගමැති ධුරයට පත්විය හැකි දැයි මාධ්‍යවේදියකු නැගූ පැනයකට පළිතුරු දුන් අගමැතිවරයා ඒ සඳහා නොහැකියාවක් නොමැති බව කීය.

උපුටාගැනීම – http://www.dinamina.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article