Monday, April 29, 2024

මරණ දඬුවම ගැන එක්සත් රාජධානියෙන් අනතුරු ඇඟවීමක්

Must read

මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් ත්‍රස්තවාදය මර්දනය කිරීම ඇතුළු නීතියේ බලාත්මක කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම දුෂ්කර වනු ඇතැයි ද ප්‍රතිපත්ති සහ ආරක්ෂාව ඇතුළු ඒ හා සම්බන්ධ අනෙකුත් ක්ෂේත්‍රවලට ලබා දී ඇති තාක්ෂණික සහාය සම්බන්ධයෙන් නැවත වරක් විමසා බැලීමට සිදුවනු ඇතැයි ද එක්සත් රාජධානියේ විදේශ කටයුතු කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවත් එලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නවත්වමින් ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් මුළුල්ලේ පවත්වාගෙන පැමිණි තහනම අවසන් වන බව ද එක්සත් රාජධානියේ විදේශ කටයුතු කාර්යාලය වෙනුවෙන් එහි ප්‍රකාශක නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.

එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.

“මරණ දඬුවම ක්‍රියාත්මක නොකරමින් දීර්ඝ කාලයක් මුළුල්ලේ පවත්වාගෙන පැමිණි ක්‍රමවේදය නවත්වමින් ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අපි දැඩි සැලකිල්ලකින් පසුවෙමු. ප්‍රතිපත්තියක් ලෙස ඕනෑම අවස්ථාවක් යටතේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එක්සත් රාජධානිය විරුද්ධය.

ශ්‍රී ලංකාව මීට මාස හයකට පෙර එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියේදී මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමේ ගෝලීය ක්‍රමවේදය අනුගමනය කරමින් ඊට පක්ෂය ඡන්දය ප්‍රකාශ කළේය. එම ප්‍රතිපත්තිය වෙනස් කරමින් ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාව රටක් ලෙසත් සංචාරක නවාතැනක් ලෙසත් එමෙන්ම ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ලෙස ඉදිරියට එමින් දිනාගෙන තිබෙන ජාත්‍යන්තර කීර්තිනාමයට හානි කරන්නකි. ඒ අනුව මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් එක්සත් රාජධානියට ප්‍රතිත්‍රස්ත, ආරක්ෂාව සහ අනෙකුත් අංශවලදී ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට දුෂ්කර කරනු ඇත. එමෙන්ම ආරක්ෂාව සහ අනෙකුත් අංශවලට ලබාදී තිබෙන තාක්ෂණික සහාය සම්බන්ධයෙන් නැවත විමසා බැලීමට සිදුව තිබේ.

මේ නිසා මේ සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා රජයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවෙමු. එමෙන්ම මරණ දඬුවම ක්‍රියාත්මක නොකරමින් ශ්‍රී ලංකාව මෙතෙක් පවත්වාගෙන පැමිණි ක්‍රමවේදය ඉදිරියටත් පවත්වාගෙන යන්නැයි ද අපි ඉල්ලා සිටිමු”.

(lankadepa.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article