Sunday, May 19, 2024

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරු දෙදෙනෙක්

Must read

(6.00PM) මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පත් කළේ තමන් විපක්ෂ නායක ධුරයෙන් ඉවත් නොකර බැවින් මේ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරුන් දෙදෙනකු සිටින බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් මහතා අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

පාර්ලිමේන්තුව අද පස්වරු 1.00ට නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. එම අවස්ථාවේ තමන්ට ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව සම්පන්දන් මහතා ඉල්ලා සිටි අතර ඒ අනුව සම්පන්දන් මහතාට එම ප්‍රකාශය කිරීමට අවස්ථාව ලැබිණි.

ආර් සම්පන්දන් මහතා ප්‍රකාශ කළේ විපක්ෂ නායක ලෙස ඊයේ නම් කළ මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ද නොවන බවයි. ඒ මහතා මෙසේ ද කීවේය.

‘‘2015 වසරේදී මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට පසු දෙවැනියට වැඩිම මන්ත්‍රීන් සංඛ්‍යාවක් සිටින පක්ෂය හැටියේ නායකයා හැටියට ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ නායකයා හැටියට මා විපක්ෂ නායක ලෙස පත් කරන බව කතානායකතුමා නිවේදනය කළා. මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පත් කරන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කළ දැනුම්දීමක් මත කතානායකතුමා ඊයේ ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ මහත්මයා විපක්ෂ නායක ලෙස පිළිගන්නා බව කිව්වා. කතානායකතුමා මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පත් කළේ මම විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරමින් සිටියදීමයි. මාව විපක්ෂ නායක කමින් ඉවත් කළේ නෑ.  ඒ අනුව මේ පාර්ලිමේන්තුවේ දැන් විපක්ෂ නායකවරුන් දෙදෙනෙක් සිටිනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා. ඒ මහතා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් මෙන්ම අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ද වෙනවා. ඒ වගේම අමාත්‍ය ධුර තුනක් දරනවා. එසේ තිබිය දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයකු විපක්ෂ නායක ලෙස පත් කර තිබෙනවා.

ඔක්තෝබර් 26 වැනි දා සිට රටේ සිදුවීම් රැසක් වුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අධිකරණය තීන්දුවක් ලබා දී තිබෙනවා.

තවම ඇමැති මණ්ඩලය පත් කරලා නෑ. ආණ්ඩුව හරියට ස්ථාපිත වෙලා නෑ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ආණ්ඩු පක්ෂයේ ඇවිත් අසුන් ගත්තා. එසේ තිබියදී තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙක් විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස නම් කරලා තිබෙන්නේ.

ඒ වගේම විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස නම් කළ  මන්ත්‍රීවරයා සැබෑ ලෙසම මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු නොවේ. ඊට ඔහු ශ්‍රීලනිපයේ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයෙක් නොවෙයි. ඒ අනුව ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි විය යුතුයි.

මේ රට අසාර්ථක රාජ්‍යයක් කරා පියමං කරනවාද කියලා ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. නොබෙදුණු, බෙදිය නොහැකි ශ්‍රී ලංකාවක් තුල අපට එකට ජීවත් වෙන්න ඕනෑ.‘‘

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් –

‘‘මම පුවත්පත් වාර්තා තුනක් සභා ගත කරනවා.  මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගන්නා අවස්ථාවේ ඡායාරූප ඒවායේ පළවී තිබෙනවා. ඔවුන් එහි සාමාජිකත්වය අරගෙත තිබෙන්නේ නොවැම්බර් 11 වැනි දා. පාර්ලිමේන්තුව ව්‍යාජ විසිරුවා හැරීමෙන් දින දෙකකට පසුවයි. ඊට පෙර පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත්තා නම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහෝසි වන බව ඔවුන් දැනගෙන හිටියා. ‘‘

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත්

‘‘ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ 99 (13) (අ) වගන්තිය අනුව මන්ත්‍රී ධුරය අහෝසිවීමට බලපාන කරුණු තුනක් සඳහන් වෙනවා. ඒ එකක් වත් වෙලා නෑ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා මහින්ද රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වූ බව දැනුම් දීලා නෑ. අනිත් කාරණය තමයි ශ්‍රීලනිප ව්‍යවස්ථාවේ කිසිම තැනක නෑ වෙනත් පක්ෂයකට ගියා කියලා සාමාජිකත්වය අහෝසි වන බව. පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන්නේ විනය කමිටුවක් පවත්වා එහි තීරණය මධ්‍යම කාරක සභාවෙන් අනුමත කළවිටයි. එහෙම දෙයක් වෙලා නෑ. කතානායකතුමා ගත් තීරණය ඉතාමත් නිවැරදියි. ‘‘

1

2

 

(උපුටාගැනීම – www.lankadeepa.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article