Tuesday, April 30, 2024

නොදන්න අයට රනිල් අභියෝගයක් තමයි !

Must read

රනිල් වික්‍රමසිංහව එළවා ගැනීම දැන් සියලු දේශපාලන පක්ෂවල අභියෝගය වී තිබේ. ලංකාවේ දේශපාලනය තුල එසේ අභියොගාත්මක වූ තවත් චරිත තිබුණේ දෙකක් පමණි ඒ ජේ ආර් ජයවර්ධන හා වේලුපිල්ලේ ප්‍රභාකරන්ය.

වැඩි මහළුකම නිසා ජේ ආර් දේශපාලනයෙන් විශ්‍රාම ගිය අතර ප්‍රභාකරන් ඉවත් කිරීම සඳහා දස දහස් ගනනක අහිංසක ජනතාවකුත් මරා දැමීමට සිදු විය. එහෙත් ජේ ආර් සහ ප්‍රභාකරන් තවමත් දේශපාලනයේ ජීව මානය. දකුණේ දේශපාලනය ජේ ආර් ගෙන් ගැලවීමට නොහැකි වී ඇති අතර උතුර තවමත් ප්‍රභාකරන්ගේ ග්‍රහණයේ තිබේ.

රනිල් වික්‍රමසිංහ අද දේශපාලනයේ කේන්ද්‍රීය සාධකය වී තිබෙන්නේ ඒ පසුබිමේය. දකුණේ දී ජේ ආර්ද උතුරේදී ප්‍රභාකරන්ද රනිල් වික්‍රමසිංහගේ දේශපාලනය හා ප්‍රතිපක්ෂව සහ සම්බන්ධය. රනිල් ජේ ආර් විරෝධියෙකි. එමෙන්ම ප්‍රභාකරන් විරෝධියෙකි..එහෙත් රනිල්ගේ දේශපාලනය මේ දෙදෙනාගේ දේශපාලනය හා සමගාමීය. ඉවසීමත් අත් නොහැර සටන් වැදීමත් පැහැදිලිව පෙන්වා තිබේ..

මොන්ගෝලියාවේ මහා වීරයා ජින්ගීස් ඛාන් අධිරාජ්‍යයාය..ඔහුගේ සටන් උපක්‍රමය වූයේ සතුරාට ඇති තරම් පහර ගැහීමට ඉඩ සැලසීමය..බලා සිටියෝ පැවැසූවෙ ඛාන් දුර්වලයෙක් බවය. පරාජිතයෙක් බවය..එහෙත් අවසානයේ සතුරා හතිවැටී ආයුධද අවසන් කර ගනීයි. ජින්ගීස් ඛාන් ප්‍රතිප්‍රහාර ඇරඹුවේ ඉන් පසුවය. රනිල්ගේ දේශපාලනය තුල පෙනෙනෙන් මේ සටන් උපක්‍රමයයි. රනිල්ව ඉවත් කිරීම පහසු නොවන්නේ මේ නිසාය. එජාප පාක්ෂිකයාට හෝ රනිල් යනු කුමක්ද යන්න නොවැටහේ. අනෙක් පස කුමනාකාරයෙන් කල්පනා කළද එජාප පාක්ෂිකයාගේ රනිල් විරෝධය මතුවන්නේ රනිල් යනු කවරෙක්ද යන්න නොදන්නා කම නිසාය.

අනෙක් වැදගත්ම දේ රනිල් සටන් කරන්නේ තනිවම වීමයි. ඔහුට මනසින් ශක්තිමත් සටන් කාමී සෙන්පතියන් නැත. එජාපය අද දුර්වල වී ඇත්නම් ඊට හේතුව එම ගැටලුවයි. රනිල් හමුවේ වන අභියෝගය එය පමණය.

රනිල් ගේ දේශපාලනය තුල කිසිදා ඔහු පිලිගත් ප්‍රතිපත්ති අත් හැරියේ නැත. මීට වසර 40 කට පෙරද ඔහු පිලිගත් ප්‍රතිපත්ති අදත් එලෙසම පවසයි. ඒ ප්‍රතිපත්තිය තුල ඉදිරිගාමී මනසකින් යුතුව ඔහු තවදුරටත් පෙනී සිටියි. ඔහුගේ නායකත්වයට අභියෝග කළ හැකි කිසිවෙක් පක්ෂය තුළ නැත. නායකත්වය ‍රැකගෙන තව දුරටත් සිටීමෙන් ඔහු ඒ බව සනාත කොට තිබේ. රනිල්ට අභියෝග කළ හැක්කේ අතපයේ හයියෙන් නොව ..ඔළුවෙනි.
www.lankadaily.com

පහත දැක්වෙන්නේ ලංකා නිවස් වෙබ් හි පළවූ ලිපියක උපුටනයකි.

රනිල් දැං කොච්චර පරණ නායකයෙක්ද ?
(මේ උදාහරණ වලින් තේරුම් ගන්න)

1. රනිල් නායකත්වයට පත් වන කාලයේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා අර්ජුණ රණතුංග විය. ඉන් පසු,
හශාන් තිලකරත්න
සනත් ජයසූරිය
මහේල ජයවර්දන
කුමර් සංගක්කාර
ඇංජලෝ මැතිවුස්
උපුල් තරංග
තිසර පෙරේරා
දිනේශ් චන්දිමාල්
වශයෙන් නායකයන් පත් විය. අසාර්ථක වන විට මාරු විය. උඩ ලැයිස්තුවේ මට අමතක වුණු නායකයන්ද සිටිය හැක. ඒ මොකා මාරු උනත් රනිල් මාරු උනේ නැත.

2. රනිල් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් වන විට එංගලන්තයේ අගමැති වරයා වූයේ
ජෝන් මේජර් ය. ඉන් පසු
ටෝනි බ්ලෙයාර්
ගෝඩන් බ්‍රවුන්
ඩේවිඩ් කැමරන්
තෙරේසා මේ යන අය පත් විය. ඒත් රනිල් වෙනස් නොවීය.

3. රනිල් යූ. එන්. පී. නායකත්වයට පත් වන විට ඇමරිකාවේ ජනාධිපති වූයේ
බිල් ක්ලින්ටන් ය. ඉන් පසු,
ජෝර්ජ් ඩබ්. බුෂ්
බැරැක් ඔබාමා
ඩොනල්ඩ් ට්‍ර්ම්ප් යන අය මාරු විය. එහෙත් රනිල්ගේ නායකත්වය නම් මාරු වූයේ නැත.

4. රනිල් යූ. එන්. පී නායකත්වයට එන විට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වරයා වූයේ,
බූත්‍රෝස් බූත්‍රෝස් ගාලි ය. ඉන් පසු,
කොෆී අනන්
බෑන් කී මූන්
අන්තෝනියෝ ගුටරේස් පත් විය. එහෙත් රනිල් මාරු වූයේ නැත.

5. රනිල් නායකත්වයට පත් වන කාලයේ අප අසල්වැසි රට, ඉන්දියානු අගමැතිවරයා වූයේ
නරසිංහ රාවෝ ය. ඉන් පසු
දේව් ගවුඩා
ඉන්ද්‍ර කුමර් ගුජ් රාල්
අතල් බිහාරි වජ්පායි
මන් මෝහන් සිං
නරේන්ද්‍ර මෝදි ආවා ගියෝය. රනිල් නොගියේය.

6. රනිල් අගමැති වන විට පාප් වහන්සේ වූයේ දෙවන ජුවාම් පාවුලු පාප් වහන්සේ ය. පාප් තනතුර එය දරන්නා මිය යන තුරුම දරයි. ජුවාම් පාප් තුමා 1978 සිට 2005 දක්වාම එය දැරුවේ ය. ඉන් පසු බෙනඩික්ට් පාප් වහන්සේ ආහ. ඉන් පසුව ෆ්‍රැන්සිස් පාප් තුමා ආහ. රනිල් නොගියහ. පාප් තුමෙකු අලුතින් පත් කරන විට කාදිනල් වරු ලෝකයේ නන් දෙසින් වතිකානුවට යති. එසේ ගොස් දින ගන්නාවක් සාකච්ඡා කොට පාප්තුමා තෝරා ගනිති. එය නැරඹීමට කිසිවෙකුටත් යා නොහැක. නව පාප් තුමා තෝරා ගන්නා තෙක් වතිකානුවට රැස් වන ජනී ජනයා බලා සිටින්නේ දින ගනනාවක් පුරාවටය. ඉන් පසු නව පාප් වහන්සේ පත් කර ගත් විට සුදු පැහැ දුමාරයක් නිකුත් කරති. එවිට ජනයා නව පාප් වරයා පත් කළ බව දැන ගනියි. රනිල් ද මෙම ක්‍රමය අනුගමනය කිරීමට සැරසෙන්නේ දැයි අපට ඇත්තේ සැකයකි.

7. රනිල් යූ. එන්. පී. නායකයා බවට පත් වන විට වැදි නායකයා තිසාහාමි ය. එයද ජීවිත කාලයටම දරන තනතුරකි. දැන් වැදි නායක තෙමේ වන්නිලැත්තන් ය.

8. රනිල් නායකත්වයට පත් වන විට මෙරට සියලු විශ්ව විද්‍යාලවල දැනට ඉගෙන ගන්නා සිසුන් කිසිවෙකුත් ඉපදිලාවත් නැත. යූ. එන්. පී. නායකයා මැරෙනතුරුම වෙනස් නොවන්නෙකු බව ඔවුන් සිතනවාට සැක නැත. මන්ද එය ඔවුන්ගේ ජීවිත කාලය තුළ කිසිදා වෙනස්ව නැති නිසා ය.

9. රනිල් පක්ෂ නායකත්වයට පත් වන විට පාකිස්තාන අගමැති බෙනාසීර් භූතෝ ය. ඉන්පසු අගමැති වරු 9 දෙනෙකු පකිස්ථානයට පත් වුවද රනිල් වෙනුවට වෙනත් අයෙකු පත් වූයේ නම් නැත.

10. රනිල් පක්ෂ නායකත්වයට පත් වන විට හොංකොං රාජ්‍ය එංගලන්තය විසින් පාලනය කළ අතර මේ වන විට එය චීනයට පවරා ඇත. එය 1997 දී පැවරූ අතර රනිල් නායකත්වයට පත් වූයේ 1994 දී ය.

11. රනිල් නායකත්වයට පත් වන විට මිනිසා විසින් මෙතෙක් බිහි කළ වටිනාම ඉදිකිරීම වන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගොඩනගා නොතිබුණි.

12. රනිල් නායකත්වයට පත් වීමෙන් පසු ලෝක සිතියමට අලුත් රටවල් 5 ක් එකතු වී ඇත.
පලාවු
නැගෙනහිර ටිමෝරය
මොන්ටිනීග්‍රෝ
කොසෝවෝ
දකුණු සුඩානය යනු ඒවා ය. එහෙත් රනිල් ගියේ නැත.

13. රනිල් පක්ෂ නායකයා වන විට චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය දිහා එක පාරක් බැලූ අයෙකු තව සිය පාරක් බැලීමට සිතෙන තරම් දැකුම්කළු ය. එහෙත් දැන් ????? ඒත් රනිල් නායකත්වයෙන් ගියේ නැත.

14. රනිල් නායකත්වයට පත් වන විට ඩිජිටල් ඇමති හරීන් ප්‍රනාන්දුට වයස අවුරුදු 16 කි. ඒ කාලයේ ඔහු සාමාන්‍ය පෙළට පාඩම් කරනවා ය. දැන් ඔහු රනිල්ගේ අගමැතිත්වය යටතේ ඇමති වරයෙකි. හරීන් ඉපදී ඇත්තේ 1978 දී ය.

15. රනිල් පක්ෂ නායකත්වයට පත් වන විට පෝලියෝ රෝගයෙන් මෙරට ජනයා පීඩා විඳි අතර, මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරටින් මුළුමනින් ම පෝලියෝ රෝගය තුරන් කර ඇති බව නිල වශයෙන් නිවේදනය කර ඇත.

මේ ලැයිස්තුව තවත් දිගට ලිවිය හැක. එහෙත් දැන් අත රිදෙනවා ය. මුළු ලොවම වෙනස් වී ඇත. අහෝ රනිල් ඔබ වෙනස් වී නැත. වෙනස් වන ලෝකයේ නොවෙනස් වන එකම දෙය වෙනස්වීම පමණක් ය යන්න මට මගේ ගුරුවරුන් උගන්වා ඇත්තේ බොරු ය. උන්ගේ කටට හෙණ ගහන්න ඕනෑය. ඒ මට බොරු කිවූ නිසාය. වෙනස්වන ලෝකයේ නොවෙනස් වන දේවල් එකක් නොව දෙකකි. එක වෙනස්වීම ය. දෙක රනිල් ය.

එතකොට රනිල් UNP නායකයා වන කාලය හා මේ කාලය දක්වා නොවෙනස් වූ එකම දෙයක් වත් නැද්ද ? මටද ඔය ප්‍රශ්නය ආවේය. මම දින සති මාස ගානක් අන්තර්ජාලය පීරා එවන් එකම එක දෙයක් සොයා ගත්තෙමු. ඒ එංගලන්ත මහ රැජින එලිසෙබෙත් ය. ඒ අතින් රනිල් මටනම් රජෙකි. එංගලන්තෙට එලිසෙබෙත් රැජිණ ඉන්නේය. අපට රනිල් රජු ඉන්නේය.

– කැලුම් ප්‍රියංකර ලියනගේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article