Thursday, May 2, 2024

දෙවෙනි ඉනිමට කූඹින්ගෙන් ප්‍රහාරයක්

Must read

ගෙදර ආලින්දයේ තියෙන රූප පෙට්ටිය හරහා දකින දහසකුත් ටෙලි නාට්‍ය වටා එකතු වන පිරිස අලුත් අත්දැකීම් විඳදරාගන්න කැමැතියි. වෙනස් ආරක ටෙලි කතාවක් දැක්කම ශීඝ්‍රයෙන් ඒ වටා එක්රොක් වීමට විතරක් ‍නෙවෙයි, ඒ ගැන කතා කිරීමටත් ප්‍රේක්ෂකයන් පෙළඹෙන්නේ ඒ හින්දා. සෙනසුරාදයි ඉරිදයි රෑ 8.00ට ස්වාධීන රූපවාහිනී නාළිකාව හරහා විකාශය වන “කූඹියෝ” ටෙලි නාට්‍යය වෙනස්ම විදියේ තේමාවක් සහිතව විකාශය වන ටෙලි නාට්‍යයක්.
මේ වෙද්දී අන්තර්ජාලයේ මුහුණු ‍පොත හරහාත් “කූඹියෝ” ගැන විශාල කතිකාවක් ගොඩනැගිලා තියෙනවා. අපි මේ සතියේ “කූඹියෝ” ගැනයි, මේ ඇති වෙලා තියෙන කතිකාව ගැනයි විමසන්න හිතාගෙන “කූඹියෝ” ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරන ලක්මාල් ධර්මරත්නට කතා කළා. ඔහු කතාව පටන් ගත්තේ මේ විදිහට කියමින්.
“කූඹියෝ” පිටපත් රචකයන් දෙදෙනෙකුගේ නිර්මාණයක් නේද?
මම ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයා. දමිත චන්ද්‍රසිරි මෙහි සංස්කාරකවරයා. පිටපත රචනා කරන්නේ අපි දෙන්නාම එකතුවෙලා. ඇතැම් රටවල රචකයන් දෙතුන් දෙනෙකු එකම කතාවේ පිටපත් රචනයට එකතු වන අවස්ථා තියෙනවා. ඒත් අපේ නාට්‍යවල වයස 18 තරුණයාගේ පෙම්වතියගේ, 75 වයසක ආච්චිගේ දෙබස් ලියන්නේ රචකයා. ගෑනු චරිතවල දෙබස්, සිතුම් පැතුම් ඒ අය මුහුණ දෙන හැටි ලියන්නේ පිරිමි පිටපත් රචකයන්. මගේ ඉදිරි නිර්මාණවලදී කාන්තා පිටපත් රචිකාවියක් එකතු කරගන්න මම හිතාගෙන ඉන්නවා.
ඔය ක්‍රමවේදයේදී රචකයන් අතර ගැටුම් ඇතිවන්නේ නැද්ද? 
දමිතුයි මමයි අතර උපරිමයෙන් ගැටුම් ඇතිවෙනවා. හැබැයි ඒ පිටපත සාර්ථක කරගන්න ඇතිවන ගැටුම්. අපි අවුරුදු 10ක විතර යාළුවෝ. ඒ හින්දා ඒ ගැටුම් පෞද්ගලිකත්වය දක්වා යන්නේ නැහැ.
“කූඹියෝ” හා “දෙවෙනි ඉනිම” පිරිස් අතර අද අමනාපයක් තියෙනවාද? 
(හිනැහී) සාරංග මෙන්ඩිස්, සමන් එදිරිමුණි සහ මම හොඳ යාළුවෝ. අපි අතර නම් කිසිම අමනාපයක් නැහැ.
ඒත් අද වෙද්දී අන්තර්ජාලයේ මුහුණ‍පොත හරහා දොගොල්ලෝ දිගට හරහට බැණ ගන්නවා. 
ඒ “කූඹියෝ” නරඹන පිරිස හා “දෙවෙනි ඉනිම” නරඹන පිරිස. හොඳ දෙයක් දැක්කම ඒ දේ ගැන අදහස් දක්වන මිණුම් දණ්ඩ කරගන්නේ ඒ වනවිට තියෙන හොඳම දේ. අද වෙද්දී “දෙවෙනි ඉනිම” ජනප්‍රියතම නාට්‍යය. කවුරු හෝ කෙනෙක් “කූඹියෝ” දෙවැනි ඉනිමට වඩා හොඳයි කියලා ජ්.ඕ. එකේ සඳහන් කරලා. ඒ කූඹියෝට කැමැති කෙනෙක්. දවෛනි ඉනිමට කැමැති කෙනත් ඊට උත්තර දීලා. ඔය විදියට ඇති වූ මතවාදය අද වෙද්දී අසභ්‍ය වචනයෙන් අදහස් හුවමාරු කරගන්න මට්ටමට දුරදිග ගිහින්.
දෙවෙනි ඉනිම “බත්” නම් කූඹියෝ “මැල්ලුම්” කියලා දවෛනි ඉනිමේ පිටපත් රචක සමන් එදිරිමුණි FB එකේ දාලා තිබුණා. ඔබත් ඊට උත්තර දීලා තිබුණා නේද? 
අපි නිර්මාණයක් කරලා ජනතාවට දුන්නම එක අයිති ජනතාවට. ඒක බලන්න, අගය කරන්න, බනින්න ජනතාවට අයිතිය තිබුණට අපිට ඒ අයිතිය නැහැ. මිනිස්සු දරන මතවලට උත්තර දෙන්න එපා කියලා මම සමන්ට කිව්වා. සමන් ඒ ප්‍රකාශය කළේ “කූඹියෝ” හෑල්ලු කරන්න නොවෙයි. ඒත් බොහෝ අය ඒක වටහා ගත්තේ ඒ විදියට. “දෙවෙනි ඉනිම” සතියේ දිනවල විකාශය වෙනවා. කූඹියෝ සති අන්තයේ විකාශය වෙනවා. අපි දෙගොල්ලොම ටෙලිනාට්‍ය දෙකම බලනවා. අපිට කාත් එක්කවත් තරගයක් නැහැ.
අද මේ විදියට කතිකා ගොඩ නැගුනට “කූඹියෝ” පෙන්නන්න නාළිකාවක් නැතුව හිටපු කාලයක් තිබුණා නේද?
“කූඹියෝ” නිර්මාණය පටන්ගත්තේ 2012 දී. ඉවර කළේ 2015 දී. කොටස් 58ක නාට්‍යයක් වුණත් නළු නිළියෝ 100ක් විතර යොදාගෙන කළ දැවැන්ත නිර්මාණයක් තමයි “කූඹියෝ” කියන්නේ. තුමිඳු, කලණ, යුරේනි, ඇන්ඩෲ පුල්‍ලේ, මොරින්, රමණි, ඩබ්.ජයසිරි, රම්‍යා වනිගසේකර, විශ්වජිත් නානායක්කාර ඇතුළු දක්ෂ ජනප්‍රිය නළු නිළියන් රැසක්ම ටෙලිනාට්‍යයේ රඟපානවා. නිෂ්පාදක අසංග දොඩංතැන්නට අවශ්‍ය වුණේ හොඳ නිර්මාණයක් කරන්නයි. ඒත් මේ ටෙලිනාට්‍ය කරලා නාළිකා ගානේ යද්දී ගොඩක් අය මේක තුට්ටු දෙකට ඉල්ලුවා. මේ නාට්‍යයේ තියෙන්නේ මිනී මරන්නෙ නැතුව මිනිස්සු පාවිච්චි කරලා තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න ගේම්කාරයකුගේ කතාවක්. හොරුන්ගේ චරිත අපේ නාළිකාවෙන් මතු කරන්නේ නැහැ කියපු
නාළිකාත් හිටියා. අන්තිමට අයි.ටී.එන්. එකට දෙවැනි වතාවටත් ඉදිරිපත් කළාමයි අපිට ඉඩ ලැබුණේ. අද මේ නාට්‍යයට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.
ආරියවංශ කුලතිලක
www.lakbima.lk
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article