Tuesday, May 21, 2024

ජෝ, (ජෝ සෙනවිරත්න) නම් ඒ සොඳුරු මිනිසා දැන් අප අතර නැත.

Must read

 

 

ජෝ සෙනවිරත්න. ඔහුට අපි හැමෝම කිව්වේ ජෝ කියලා.

ඔහු අද උදෑසන සිය අවසන් හුස්ම පොද වාතලයට මුසු කළා.

ජෝ සමඟ දශක ගණනාවක් සමාජ දේශපාලන කටයුතුවල යෙදීමට අවස්ථාව ලැබීම මා ලද වාසනාවක්.

ජෝ සමඟ කතා කර ඔහුගේ අත්දැකීම් ලියන්නට  ඊයේ පෙරේදාත් අපි කිහිප දෙනෙක් කතා කර ගෙනයි සිටියේ. නුමත් මැතිවරණ උණුසුස නිසා ඒ කාරිය දිනෙන් දින පමා වුණා. ඔහු මේ තරම් ඉක්මණින් අප හැර යනු ඇතැයි අප නිකමටවත් සිතුවේ නැහැ.

 ජෝ වමේ ව්‍යාපාරයෙන් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු ලෙස පටන් ගෙන ජනවාර්ගික ප්‍රශ්ණයට විසඳුමක් සෙවීම මූලික කර ගත් දේශපාලනයක කාලයක් යෙදී සිටියා. යුක්තිය පුවත්පත ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවයේ (මර්ජ්) ප්‍රකාශණයක් ලෙස පටන් ගත්තේ ජෝ. ඒ මුල් සාකච්චජාවෙදි ජෝ ලියූ සටහන මගේ ලිපි ගොනු අස්සේ කාලයක් තිබුණා. සමහර විට තාමත් අැති.

යුක්තිය පුවත් මාසික පුවත්පතේ මුල්ම කර්තෘ ජෝ. මර්ජ් සංවිධානයේ ජාතික සංවිධායක ලෙස ජෝ රටපුරා යමින් මහ ජනයා සමඟ සම්බන්ධකම් ගොඩ නැගුවා. ඒ 1980 ගණන් මැද භාගයේ. යුද විරෝධය ඔහුගේ දේශපාලනයේ මූලික සළකුණක්. ඒ වගේම ලිවීමත් ජෝගේ නිසඟ ළකුණක්. ඔහු යුක්තිය පුවත් පතටත් ලිව්වා.

ඉන්පස්සේ ඔහු පත්මනාභා සහෝදරයාගේ නායකත්වයෙන් තිබූ ඊළාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණ සමඟ ළග ඇසුරක් ගොඩ නඟා ගත්තා. ඒ අනුව උතුරෙහි පමණක් නොව දකුණෙහිද අායුධ සන්නද්ධ අරගලයක් මගින් සමාජවාදී ලංකාවක් පිහිටුවීමේ අරමුණින් විප්ලවකාරී සංවිධානයක් ගොඩ නැගීමට හවුල් වුණා. දයාන් ජයතිලක, රාම් මාණික්කලිංගම් වැනි අයත් එක්ක.

ඔවුන්ගේ සංවිධානයට විරුද්ධව ආණ්ඩුව දරුණු මර්දනයක් දියක් කළා. හුඟ දෙනෙක් අත් අඩංඟුවට පත් වුණා. ජෝ ඉන්දියවට පැනල ගියා. නමුත් ව්‍යාපාරය ගොඩ නැගීමේ අදහසින් රහසේම ලංකාවට ඇවිත් වැඩ කරන අවස්ථාවේ රහස් පොලීසිය ඔහු අල්ල ගත්තා.

1988 ඉන්දු ලංකා ගිවිසුමෙන් පස්සේ පිහිටවපු උතුරු නැගෙනහිර පළාත් සභාවේ සිංහල ඇමැතිවරයා වුණේ  ජෝ.  පළාත් සභාව විසුරුවා හරින තෙක්ම ජෝ එම ඇමැතිකම දැරුවා.

ඉන්පස්සේ ඔහු නැවත දකුණේ සමාජ ව්‍යාපාරවට එක් වී ජනවාර්ගික සාමය වෙනුවෙන් දිගටම කටයුතු කළා.

පසුකාලයක ජෝ  රට හමුවට ආවේ ඕසෝ පරිවර්ථකයා විදිහට.  ඔහු එක්තරා විදිහකට ඕසෝ අනුගාමිකයෙක් බවටත් පත්වුණා. ඔහු විසින් සිංහල පාඨකයාට ඕසෝ දැක්ම හදුන්වා දුන්නේ එමගින් නිවහල් සහ සංසුන් පුරවැසියකු බිහිකිරීමේ අපේක්ෂාවෙන්.

ජෝ හෘදයංගම මිනිසෙක්. හැම විටම සිනහව ඔහුගේ දෙතොළඟ රැදී තිබුණා. ඔහුට තරහ ගිය දවසක් මට නම් මතක නැහැ.

ජෝ සහ එවැනි පිරිස් සමඟ කතා කර ක්‍රියාකාරීන්ගේ කෝණයෙන් ඉතිහාසය ලියන්න අපට අදහසක් තිබුණා. නිල ඉතිහාසය වගේ නොවෙයි මෙවැනි මිනිසුන්ගේ ජීවන අත්දැකීම සජීවී විකල්ප ඉතිහාසයක්  බවට පත් වෙනවා.

මේ අපේ පරම්පරාවේ හිටපු යෝධ මිනිස්සුන්ගෙන් අයෙක්. එවැනි අය දැන් සමුගන්නා කාලය ඇවිත්. ඔවුන් සමඟ විකල්ප ඉතිහාසයත් වැලලී යනවා. ඇත්ත විකල්ප ජනමාධ්‍යක් තිබුණා නම් ජෝ වගේ මිනිසුන්ගේ අත්දැකීම් ජනගත කරගන්න තිබුණා. අඩු ගණනනේ අපට සාරගර්භ විකල්ප සඟරාවක්වත් නැති එක කොයිතරම් ඛේදයක්ද? සමහර විට ජෝ පවා එහෙම හිත හිතා ඉන්න ඇති.

ජෝ ඔබට ජය. සුවෙන් නිදන්න.

– සුනන්ද දේශප්‍රිය

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article