Saturday, May 18, 2024

ජවිපෙන් අද ප්‍රධාන නගර 04කදී විරෝධතා

Must read

Jana-Balaya-2018.11.08-

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කුමන්ත්‍රණකාරී ලෙස මහින්ද රාජපක්ෂ මහතාව අගමැති ධුරයට පත් කරමින් ගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට එරෙහිව ප්‍රගතිශීලි බලවේග සමග එක්ව සටන් ක්‍රියාමාර්ග ගැනීමේ පියවරක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ අද  (09) “කුමන්ත්‍රණ පරදවන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජන බලය” යන තේමාව යටතේ ප්‍රධාන නගර හතරකදී උද්ඝෝෂණ විරෝධතා පෙළපාලි සහ සම්මන්ත්‍රණ පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කරයි.

ඒ අනුව මාතර, රත්නපුර, මහනුවර සහ අනුරාධපුර යන නගරවලදී අදාළ විරෝධතා ක්‍රියාමාර්ග ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවද විජිත හේරත් මහතා පැවසීය.

ජවිපෙ නායක අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර නගරයේදීත්, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර නගරයේදීත්, ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර නගරයේදීත් දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදීත් අද පස්වරු 03.00ට මෙම විරෝධතා පෙළපාලි සහ සම්මන්ත්‍රණ පැවැත්වීමට නියමිතය.

මේ මොහොතේ රට තුළ සිදුවෙමින් පවතින ව්‍යවස්ථා විරෝධීවත්, සදාචාර විරෝධීවත් සිදු කළ දේශපාලන කුමන්ත්‍රණයට එරෙහිව පාර්ලිමේන්තුව තුළත්, පාර්ලිමේන්තුවෙන් පිටතත් අරගල කරන අතර අදාළ එම දේශපාලන කුමන්ත්‍රණය පැරදවීමට ජනතා බලය ගොඩනගන ක්‍රියාමාර්ග රැසක්ද පක්ෂය සැලසුම් කර තිබෙන බවද විජිත හේරත් මහතා පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article