Sunday, May 19, 2024

ජනාධිපතිගේ මැයි දින තහංචිය කඩමින් ජාත්‍යන්තර කම්කරු දිනයට පෙලගැසේ

Must read

ජගත් සම්මතයෙන් දින නියම කොට ඇති ජාත්‍යන්තර කම්කරු දිනයට ශ්‍රී ලංකාවේ බෞද්ධ මහනායකත්වයේ ඉල්ලීම පරිදි තහංචියක් පැනවීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය නොතකා සැලසුම් කොට ඇති පරිදි නියමිත දවසේම මයි දිනය සැමරීමට වැඩකරන ජනතාවගේ හා වාමාංශිකයන්ගේ සංවිධාන කටයුතු කරමින් සිටී.

මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් සතියක් බෞද්ධාගමික කටයුතු සඳහා වෙන් කරන නිසා මැයි දිනය පැවැත්වීම සඳහා අප්‍රේල් 7 වැනිදා යොදාගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉල්ලා තිබේ. මෙය ත්‍රෛනිකායික මහා සංඝයාගේ අවශ්‍යතාව පරිදි සිදුකරන ලද්දක් බව ජනාධිපති වරයා විසින් දැනුම් දී තිබුනි.

ඊට විරෝධය පල කරන වෘත්තීය සමිති හා වාමාංශික පක්ෂ ප්‍රකාශ කොට සිටින්නේ කම්කරුවන්ගේ අයිතියක් වන මැයි දින සමරුව ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි වෙනස් කිරීමට තමන් සුදානම් නැති බවයි.

චිරාගත සම්ප්‍රදාය

ජනාධිපතිවරයාගේ නියමය කම්කරුවන්ගේ දීර්ඝ කාලීන සම්ප්‍රදායක් සම්බන්ධයෙන් කරන අයථා මැදිහත්වීමක් බව අවධාරණය කරන ලංකා ගුරු සංගමය එය වැලක්වීමට පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා තිබේ.

තමන් ඇතුළු සංවිධාන ගණනාවක්ම ආණ්ඩුවේ තහංචිය බිඳ දමා මැයි දින සැමරීමට පියවර ගන්නා බව සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් විසින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයට යැවීම සඳහා කොළඹ එජා කාර්යාලයට භාරදුන් ලිපියේ සඳහන් වේ.

වෙසක් පොහොය දිනය යෙදෙන්නේ අප්‍රේල් 29 වැනිදාට බව පෙන්වා දෙමින් ලංකා ගුරු සංගමය පවසා ඇත්තේ එයින් දෙදිනකින් එළඹෙන මැයි දිනයේ සමරු පැවැත්වීමෙන් බෞද්ධයන්ට කිසිදු බාධාවක් නොවන බවයි.

මීට අමතරව ශ්‍රී ලංකාවේ බහුතර සංවිධිත ශ්‍රම බලකාය වන දෙමළ හින්දු වතු කම්කරුවන් කෙරේ සිංහල බෞද්ධ සම්ප්‍රදාය මගින් ඇතිකරන බලපෑම ඉතා අල්ප බවද පෙන්වා දෙන ලිපිය අවධාරණය කරන්නේ රජය සම්ප්‍රදායික නොවන වෙසක් සතියක් ප්‍රකාශයට පත් කිරීම මගින් කම්කරුවන්ගේ සංවිධානය වීමේ හා රැස්වීමේ අයිතියට පහර ගැසීමට අර අඳින බවයි.

එමනිසා, “මහජන සාමය ඇති කිරීමේ” නාමයෙන් සාමකාමී කම්කරු පෙළපාලි කඩාකප්පල් කිරීමට රජය පියවර ගැනීමේ අවදානම ගැනද අනතුරු අඟවන ලංකා ගුරු සංගමය කම්කරු අයිතීන් සුරැකීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානය සමග ගිවිස සිටින ශ්‍රී ලංකා රජයේ මැයි දින තහංචිය ඉවත් කිරීමට මැදිහත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටී.

බුදුන්ට කළ අපහාසයක්

ජනාධිපතිවරයාගේ මැයි දින තහංචිය බුදුන්ගේ උපන් දිනය වෙනුවෙන් ඉවත් කිරීමට කරන යෝජනාව උන්වහන්සේට කරන අපහාසයක් ලෙස නව සමසමාජ පක්ෂය විසින් හඳුන්වා දී තිබේ.

ජනාධිපතිවරයාට ලිපියක් ලියන නසසප ප්‍රධාන ලේකම්වරයා පවසන්නේ මහතෙරුන්ගේ ඉල්ලීම ඉදිරිපත් වී ඇත්තේ පෙළපාලියෙන් ගොස් ධර්මය දේශනා කිරීමේ බුදුන් වහන්සේගේ සම්ප්‍රදාය පිළිබඳ  අනවබෝධයෙන් බවයි.

“නූතන බටහිර ලෝකයට ලැබුණ මැයි දිනය තුළින් මේ සම්ප‍‍්‍රදාය යලි කියවීමක් සිදු වනවා මිස අපට අලුත් දෙයක් නොවෙයි. අපගේ මැයි පෙලපාලි ජාතිවාදයට, අගතියට, සූරාකෑමට විරුද්ධව ගෙනයන දහම් හඬක් මිස අන් දෙයක් නොවේ,” නසසප ප්‍රධාන ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසයි.

ආණ්ඩුවේ තහංචිය බිඳ පෙළපාලි යන ජනතාවට බාධා කිරීම සඳහා රාජ්‍ය බලය යෙදවීමෙන් ඇතිවිය හැකි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් නසසප නායකයා සිය ලිපියෙන් අනතුරු ඇඟවීමක්ද කර තිබේ.

“මැයි දිනයේ පෙළපාලි නැවත්වීමට, පෙර රජයන් ක‍‍්‍රියා කළ සැම විටකම අප එය නොතකා පෙළපාලි ගිය බවත් විශාල ගැටුම් ඇති වූ බවත් මතක් කිරීමට කැමැත්තෙමු. අන්තිම වතාවේ දී අපට පහර දුන් හා බාධා කළ රජය ජනතාවගේ ප‍‍්‍රකාශ කිරීමේ අයිතිය අනුව වරද කරුවා වූ බවත්, ඒ පිළිබදව වන්දි ගෙවූ බවත් ඒ පිළිබද අදාල නඩු තීන්දු නඩු වාර්තා පොතේ ඇතුලත් වී ඇති බවත් මකත් කරමු.”

එමනිසා, මහා තෙරුන්වහන්සේලාගේ මේ වැරදි වැටහීම ඉවත් කිරීමට මැදිහත් වන ලෙසටත්, නීතියෙන් නිර්ධනයන් ලැබූ අයිතිය රැක දෙන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

බෞද්ධයන්ට බාධාවක් නෑ

කම්කරුවන්ගේ අයිතියක් වන මැයි දින නිවාඩුව නියමිත දිනට ලබා නොදී අවලංගු කිරීම සම්බන්ධයෙන් බලවත් විරෝධය පලකරන ලංකා බැංකු සේවක සංගමය සැලසුම් කර ඇති පරිද්දෙන් පක්ෂ දේශපාලනයෙන් තොර වෘත්තීය සමිති ගණනාවක ඒකාබද්ධ රැළියක් මැයි පළමුවැනිදා පවත්වන බව දැනුම් දී සිටී.

“වෙසක් පොහෝ දින බෞද්ධයන්ගේ උතුම් දිනයක් ලෙස අපි සියල්ලෝම අවිවාදිතව පිළිගන්නෙමු. ඒ හේතුකොටගෙන දින දෙකකට පසුව පැවැත්වෙන ජාත්‍යන්තර කම්කරු දින සැමරුම කල් දැමීමට ආණ්ඩුව කටයුතු කිරීම කිසිසේත් පිළිගත නොහැකි කරුණක් වන්නේ කම්කරු දින සැමරුම් සියල්ල දිවා කාලයේදී පැවැත්වෙන නිසාත්, එම සැමරුම් කිසිදු අයුරින් ආගමික සැමරුම් සඳහා බාධාවක් හෝ කිනම් ආකාරයක අපහාසයක් හෝ නොවන නිසාත්ය,” යනුවෙන් සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ජනාධිපතිවරයා සිය මැයි දින තහංචිය ප්‍රකාශයට පත් කළේ ශ‍්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අභිනව සභාපති ධූරයෙන් පිදුම් ලද ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ චූලගණ්ඨි පාර්ශ්වයේ මහානායක ශාස්ත‍්‍රපති ගන්තුනේ අස්සජි ස්වාමින් වහන්සේ වෙත අක්ත පත‍්‍ර පිළිගැන්වීමේ උත්සවයේදීය.

www.radiogagana.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article