Thursday, May 16, 2024

එන්න එකට හුස්ම ගන්න.. අපි මිය යමින් සිටින්නෙමු

Must read

 Jaffna_Tour-2016_3

අපි මේ මුහුණ දෙන තත්ත්වය දකුණේ සිංහල සමාජයට කියන්න. අපිට අවශ්‍ය නිදහස, අපේ දේවල් ටික අපිට කරගන්න ඉඩ දෙන්න.’’ මේ ඉල්ලීම මා වෙත කළේ යාපනයේ උදයන් පුවත්පතේ කර්තෘ ප්‍රේම්ය

ඒ දෙදහස් දාහතර වසරේ ඔක්තෝබර් මාසයේ දී ය. යාපනයේ උදයන් කාර්යාලයේ දී අප අතර වූ සාකච්ඡාව අවසන දී මා කිව්වේ ආයේ එන්නේ උඹලගේ නිදහසත් අරගෙන බවය.ප්‍රේම්ගේ ඉල්ලීම මම එවකට සේවය කළ වෙබ් අඩවියක ලියා තැබුවෙමි. නිදහස පිළිබඳ ප්‍රශ්නයට උත්තරය උතුරේ දෙමළ පමණක් නොව දකුණේ සියලූ ජනයාට ද අවශ්‍යව තිබුණු බව දෙදහස් පහළොවේ ජනවාරි 08 වන දින නිශ්චිත විය. එහෙත් ඒ නිදහස ප්‍රයෝගික යථාර්ථයක් වීම තවදුරටත් ප්‍රමාදව තිබිණි. බාධාකාරී තත්ත්ව රැසකට මුහුණ පා තිබිණි. මේ අතර තැබූ පියවර යළි ආපස්සට ඇදීමට ගන්නා උත්සාහ පරාජය කිරීමට නම් වෙන් වෙන්ව කළ සටන එක්ව කළ යුතු බවට උතුරේත් දකුණේත් මාධ්‍ය සගයෝ කිහිප දෙනකු අතර වූ සාකච්ඡාවක් ආරම්භ වී තිබිණි. ‘එන්න එකට හුස්ම ගන්න’ තල්පතයි පන්හිඳයි එකට යා කරන චාරිකාව. එහි එක් උත්සාහයකි.ඕනෑම ජයග්‍රහණයක් කරා යෑමේ දී ඒ අවහිර කිරීමට තරම් පිරිස් තමන්ගේ පිලෙහිම සිටීම අහම්බයක් නොවෙතත් මේ සංහිඳියාව පෙරටු කර ගත් කාරණයේ දී ඉතා නිර්ලජ්ජිත හා පිළිකුල්සහගත ලෙස එයට හරස් වූවන් අතර ඉදිරියෙන්ම මාධ්‍යවේදීන් පිරිසක් දකින්නට ලැබීමේ අපුලත් සමඟ මේ සටහන ලිවීමට සිදුව ඇත.මෙම වැඩසටහන ඇතැමුන්ට අනුව වත්මන් ආණ්ඩුවේ මාධ්‍ය සංදර්ශනයකි, ඇමැතිගේ ගොන් පාර්ට් එකකි, මුදල් නැති භංගස්ථාන කරපු නාස්තිකාර වැඩකි, හොර මාධ්‍යවේදීන්ගේ වැඩකි. මාධ්‍ය දෙව්දත්තරලාගේ වැඩකි. උතුරේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න විසඳන්න කලින් මෙහෙ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න විසඳිය යුතුය. යාපන ගමන ගෙවල් මෝටර් සයිකල් දීල උතුරේ මාධ්‍යවේදී රවටා ගැනීමේ මෙහෙයුමකි. මෙසේ කියන මාධ්‍ය සංවිධාන නියෝජිතයෝ ද දකුණේ සිටියෝය. සියල්ලට කලින් තමන්ගේ වැටුප් ප්‍රශ්නය විසඳිය යුතු බව කියන රැඩිකල් තරුණ මාධ්‍යවේදීහු ද මේ අතර සිටියහ.

එහෙත් අප දන්නේ උතුරේ දෙමළ මාධ්‍යවේදීන්ගේ අවශ්‍යතාව, ඉල්ලීම, වුවමනාව වෙනුවෙන් මේ චාරිකාව සංවිධානය වූ බවය. යම් කාලයක් උතුරේ මාධ්‍යවේදීන් සමඟ වූ සාකච්ඡා සම්බන්ධයෙන් තිබූ අවබෝධය අනුව මේ චාරිකාව සංවිධානය වීමත් එය මේ ආකාරයෙන් සංවිධානය වීම ගැනත් කිසිදු කුකුසක් අපට ඇත්තේ නැත.

මේ ගැටලූ ජනමාධ්‍ය ඇමැතිවරයාගේ කාර්යාල කාමරයට පැමිණ විසඳා ගැනීමට හැකියාවක් නොතිබුණේදැයි කිසිවකුට ප්‍රශ්න කළ හැකිය. එහෙත් එවැනි අවස්ථා ගණනාවක් මේ මෑත ඉතිහාසයේ අත්විඳ ඇත. එමෙන්ම ඊට විශාල අභියෝග ගණනාවක් ද විය. එය තවදුරටත් කාමරයක් තුළ කරන සාකච්ඡාවකින් ඔබ්බට ගෙනයා යුතු විය. රාජපක්ෂ පාලන සමයේ දී මේ මාධ්‍යවේදීන්ට කොළඹට පැමිණීමේ අවසරය හෝ තිබුණේ නැත. වරක් අතරමඟ දී ගංජා තිබුණාය කියමින් අත්අඩංගුවට ගැනීමට ඒ ආණ්ඩුවේ පොලීසිය කටයුතු කළේය. දෙමළ මාධ්‍යවේදීන් වෙනුවෙන් පැවැත්වුණු වැඩමුළු සංවිධානය කිරීමට සිදු වූයේ රහසිගත ස්ථානවලය. වර්තමාන ආණ්ඩු සමයේ දී එම තත්ත්වයන් පහව යනු ඇති බව අපේක්ෂා කළත් තවමත් දෙමළ මාධ්‍යවේදීන් ත්‍රස්තයන් සේ සලකා කටයුතු කිරීම ආරක්ෂක අංශ වෙතින් සිදුව වෙමින් පවතී. ඔවුන් සමඟ ගනුදෙනු පවත්වන දකුණේ මාධ්‍යවේදියා ද ඒ ගොඩට නම් කෙරුණු අවස්ථා තිබිණි. අනෙක් කරුණ තවමත් උතුරේ මාධ්‍යවේදීන්ට ශ්‍රි ලංකා රජය කෙරෙහි පැහැදීමක්, විශ්වාසයක් ඇති කර ගැනීමේ අවස්ථාව විවර කර දීමට ආණ්ඩුවට හැකිව නොතිබිණි. මේ අනවබෝධ සැක සංකා අවිශ්වාස දරා ගැනීමේ වැඩි වගකීම තිබෙන්නේ ආණ්ඩුවටය. ඒ සඳහා මුල් පියවර තැබිය යුතුව තිබුණේ ආණ්ඩුවය. ආණ්ඩුව ඒ වෙනුවෙන් පොලඹවා ගැනීමට සංහිඳියාව, මාධ්‍ය නිදහස ඇතුළුව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් හා මාධ්‍ය සංවිධාන මූලික විය යුතුව තිබිණි. නමුත් ඒ සඳහා මාධ්‍ය නිවේදන හෝ කොළඹ කොටුවේ උද්ඝෝෂණ, සැමරුම් කිරීමෙන් ඇති ඵලක් වූයේ නැත. ඊට ප්‍රයෝගික විසඳුම් අවශ්‍ය ය. දැනෙන බල කිරීම් අවශ්‍ය ය.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණුණේ මොන පොරොන්දු දී වූවත් එම පොරොන්දු ඉටුකර ගැනීමට සමාජයේ බලපෑම් ඉදිරිපත් නොවේ නම් දේශපාලකයන්ට ඒ වුවමනාව ඇත්තේ නැත. කවර ගැටලූවක දී වුවත් ඒ සාමාන්‍ය ක්‍රමය ය. උතුරේ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් වන ප්‍රශ්නය ද ලිහාගත යුතුව තිබුණේ එම බලපෑම අනුවය. ආණ්ඩුවකට බලපෑම් කිරීම් හැකියාව උතුරේ වැසියන්ට නැති බව අප දන්නා සත්‍යයකි. එසේ නම් ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ අයිතිය වෙනුවෙන් එය කළ යුතුව තිබුණේ දකුණේ සමාජය විසිනි. ‘එන්න එකට හුස්ම ගන්න’ යනු එම බලපෑමේ ප්‍රතිඵලයකි.

උතුරේ ජනමාධ්‍යවේදීන්ගේ ගැටලූව ගැන ආණ්ඩුව සමඟ ප්‍රශ්නය බේරා ගැනීමට වඩා ප්‍රයෝගික උපාය උපක්‍රම තෝරා ගැනීම විය යුතුය. වර්තමාන ආණ්ඩුව බිහිකර ගැනීමේ අරමුණ වූයේ ද මේ ජාතීන් පිළිබඳ වන ගැටලූව අවසන් කර සංහිඳියාව ඇති කර ගැනීම පදනම් කොටගෙනය. ඒ ආණ්ඩුව බිහි කිරීමට වෙහෙස වූවන් විසින් ආණ්ඩුව ඒ දෙසට යාමට අවශ්‍ය තල්ලූව නොයොදන්නේ නම් බලාපොරොත්තු වූ සංහිඳියාව ඇති විය නොහැකිය.

මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මුල් වූයේ, ඒ සංවිධානය කිරීමට කවරකු මැදිහත් වූවත් එය ජාතික අවශ්‍යතාවක් බවට විවාදයක් නැත. ඒ අනුව මාධ්‍ය සංවිධාන රැසකගේ එකමුතුවක් සහිත මාධ්‍ය නිදහස සදහා වු ක්‍රියාකාරී කමිටුව මෙහි මූලිකත්වය ගෙන තිබිණි. විශේෂයෙන්ම මීට වයඹ මාධ්‍ය සංවිධානය වැඩි උනන්දුවක් වෙහෙසක් ගෙන තිබූ බව ද දැනගන්නට ලැබිණි. මෙම මාධ්‍ය සංවිධානවල මූලික වුවමනාව වූයේ උතුරේ මාධ්‍ය සගයන්ගේ ගැටලූවලට ආණ්ඩුව ලවා නිශ්චිත නිශ්චිත පිළිතුරු සොයා දීම ය. අනෙක් කරුණ උතුරේ හා දකුණේ මාධ්‍යවේදීන් අතර අන්‍යෝන්‍ය අවබෝධය, සහෝදරත්වය හා සම්බන්ධතා ගොඩනගා ගැනීමය. උතුර වෙනම රාජ්‍යයක් ලෙස සලකා කටයුතු කිරීම වෙනුවට ඒ තමන්ගේම රටේ කොටසක් බව දකුණේ මාධ්‍යවේදීන්ටත් දකුණ තමන්ව යටපත් කරගෙන සිටින බවට උතුරේ සමාජය තුළ වන අනවබෝධය දුරලීමත්ය.

නමුත් මෙම චාරිකාවේ දී අත්‍යවශ්‍ය අරමුණුවලින් බැහැරව බොහෝ දේ සිදුව තිබිණි. මූලිකව ‘එන්න එකට හුස්ම ගන්න’ යන්නෙහි අරුත බොහෝ දෙනකු තේරුම් ගෙන තිබුණේ නැත. අඩුම තරමින් එකට හුස්ම ගන්න යන අකුරු පෙළ චිත්‍රයට නගා තිබූ නිර්මාණ ශීලී භාවය ගැන හෝ දන්නවාදැයි නොදනිමු. සිංහල භාෂාවේ අක්ෂරවලින් හා දෙමළ භාෂාවේ අක්ෂරවලින් එම වැකිය ලිවීමේ දී යොදා ගන්නා අක්ෂර එකිනෙක මත තැබීමෙන් ඒ නිර්මාණය කර තිබිණි. එය දෙමළ භාෂාව පමණක් දන්නා අයට ද ‘එන්න එකට හුස්ම ගන්න’ යැයි කියවීමේ හැකියාවක් ඒ තුළ තිබිණි. මෙම නිර්මාණය සිදු කළේ සාලිය ලියනාරච්චි නම් ප්‍රවීණ පරිගණක චිත්‍ර ශිල්පියා ය. ඝාතනයට හා අතුරුදන් කිරීමට ලක් වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් යාපනයේ පිහිටවූ ස්මාරකය ද ඔහුගේ නිර්මාණයක් බව ඔහුට ගෞරව පිණිස ලියා තැබිය යුතුය. ඒ කෙසේ වූවත් මේ අක්ෂරවල ඇති සහෝදරාත්මක සැබැඳියාව හෝ පැහැදිලි කර ගැනීමට තරම්වත් මේ සංචාරයට එක් වූ නිලධාරීන් හෝ මාධ්‍යවේදීන් කියා ගත් බහුතරයකට හැකියාවක් නොවූ බව කැට ඇතිව කිව හැකිය.

මෙම වැඩසටහනේ මූලික කටයුතු මාධ්‍ය දහස සදහා වු ක්‍රියාකාරී කමිටුව වෙතින් සිදු කෙරුණ ද වැඩසටහන සංවිධානය කිරීම බාර ගෙන තිබුණේ ජනමාධ්‍ය අමාත්‍යාංශය, හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවය. ජනමාධ්‍ය ඇමැතිවරයාට හෝ නියෝජ්‍ය ඇමැතිවරයාට මෙහි ඇති දේශපාලන වැදගත්කම ගැන පුළුල් අවබෝධයක් තිබුණාට සැක නැත. එහෙත් අමාත්‍යාංශයේ හෝ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙය ඇමැතිවරයා විසින් සිදු කරනු ලබන සංචාරයක් පමණක් විය. එමෙන්ම දින දෙක තුනක යාපන සංචාරයක් යනු තමන්ට ලැබෙන තවත් විනෝද චාරිකාවක් බව හැරෙන්නට මේ නිලධාරීන්ට වෙන වගක් වූයේ නැත. මුළු සංචාරය පුරා ඇති වූ අවුල්සහගත භාවය සඳහා හේතු වූයේ මෙයයි. සංචාරය සඳහා විධිමත්ව සහභාගී විය හැකි පිරිස 130ක් නොඉක්මවන බව සංවිධායකයන් පැවසූව ද අවසානයේ එම පිරිස ඊට බොහෝ සෙයින් වැඩි විය. ඒ, විනෝද චාරිකාව වෙනුවෙන් එක් කර ගත් අඹු දරුවෝ, ඥාති මිත්‍රාදීන් සහ ඇමැතිවරයාට මුහුණ පෙන්වා ලකුණු දමාගැනීමට පැමිණි තක්කඩි නිලධාරීන් නිසාය.

මේ වන විටත් මාධ්‍ය කිහිපයක් මඟින් අවලාද නැගෙන දුම්රිය ගමනේ දී ඇති වූ ගැටලූවලට මූලිකව වගකිව යුත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවය. එහෙත් ඒ කරුණ මේ මාධ්‍ය විසින් සිතා මතාම සඟවා තිබිණි. යාල්දේවී දුම්රියෙහි මැදිරි 2ක් මේ සංචාරය වෙනුවෙන් මුදල් ගෙවා වෙන් කර ගැනීමෙන් පසුව නිතිපතා එම දුම්රියෙන් ගමන් ගන්නා මගීන් හට අපහසුතාවක් ඇති නොවීම සඳහා අමතර මැදිරි දෙකක් වෙන් කිරීම සාමාන්‍ය පිළිවෙත වුවත් එදින එය සිදු කෙරුණේ නැත. එමෙන්ම අනුරාධපුරයේ එම දිනවල පැවැති විශේෂ ආගමික වැඩසටහනක් නිසා වැඩි මගීන් පිරිසක් අපේක්ෂා කිරීම තේරුම් ගැනීමට අමුතු බුද්ධියක් අවශ්‍ය නැත. එහෙත් දුම්රිය දෙපාර්තමේන්තුව ඒ නොතකා හැර තිබිණි. ඒ අනුව තමන්ට ‘ශෝක් එකේ යන්න පුළුවන්කමක් තිබුණු කෝච්චියේ ඇමැතිවරයා පෙට්ටි දෙකක් වෙන් කරගැනීම අසාධාරණ.’ ව මගීන්ගෙන් නැගුණ චෝදනාව වැරදි නොවේ. එහෙත් එම තත්ත්වයට විසඳුම් දීමට සිදු වූයේ මාධ්‍යවේදීන්ටය. ඇමැතිවරයා ද මගීන්ට ආසනය දී හිටගෙන යෑමට යෝජනා කළත් මේ වැඩසටහන ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් කියන ඇතැම් පිරිසකට අතපය දිග හැරගෙන සැප පහසුවට යාම හැර වෙන යෝජනා අදාළ නොවීය. ලක්බිම පුවත්පතේ නිමල්සිරි එදිරිසිංහ නමැති මාධ්‍යවේදියා තමන්ට වාඩි වී යෑමට ඉඩ නැතැයි කියමින් දුම්රියෙන් බැස ගියේය. එහෙත් ඒ වන තෙක්ම ඔහු සිටියේ වාඩි වීය. ඔහු පැමිණ සිටියේම වැඩසටහන අවුල් කිරීම වෙනුවෙනි. මන්ද, වව්නියාවේ දී ද මෙම චාරිකාවට එරෙහිව විරෝධතාවක් සූදානම් කර ඇති බව ඔහු දැන සිටි බව පසුව දැන ගන්නට ලැබිණි. ඒ අතරම එක්සත් ජාතික පක්ෂයේම මාධ්‍ය සංවිධානයක ප්‍රධානියා යැයි කියන ලංකාදීප පුවත්පතේ සුජිත් මංගල සිල්වා ද බැස ගියේය. සුජිත් මංගලගේ ගැටලූව වූයේ පහසුකම්වලට වඩා, ඔහු මාධ්‍ය ලෝකයේ ලොකු පොරක් ලෙස නොසලකා අන් අය කටයුතු කිරීමය. ලක්බිම පුවත්පතෙත් ලංකාදීප පුවත්පතෙත් මෙම වැඩසටහන විවේචනයට ලක් කරමින් ලිපි පළවන්නේ ඒ අනුවය. එමෙන්ම වෙබ් අඩවි කිහිපයකත් මේ ගමනේ අරමුණු ද තුට්ටු දෙකට දමා මඩ ගැසීමේ අරමුණෙන් පුවත් පළ වන්නේය. ලංකාදීප අන්තර්ජාල පුවත්පතට අනුව ඇමැතිවරයා යාපනයේ යන්නේ හොර මාධ්‍ය නඩයක් සමඟය. මෙහි කතුවරයා ඩබ්ලිව්.ජී. ගුණරත්න ය. මොහු ජාතිවාදියකු පමණක් නොව ජඩයෙක් බව ඔහුගේ ලංකාදීප වෙබ් අඩවියට පිවිසීමෙන් තහවුරු කරගත හැකිය. ජාතිවාදය කරපින්නා ගත් මාධ්‍යවේදීන් හෝ මාධ්‍ය සංවිධාන වෙතින් මෙය බලාපොරොත්තු විය හැකි දෙයකි. එමෙන්ම මාධ්‍ය සංවිධාන තුළ තම ආධිපත්‍යය තහවුරු කර ගැනීමට නොහැකි වීමේ වේදනාවය. මෙයාකාර අභූත හේතූන් මත සත්‍ය සිදුවීම යටපත් කර විකෘති පුවත් පළ වීම සිදු වේය.

මාධ්‍යවේදියා යනු කවුද ඔහුගේ කාර්යභාරය කුමක්ද යන්න ගැන නොදන්න මුග්ධයන් මේ ක්ෂේත්‍රයට පිවිස මාධ්‍යවේදියා යන වෘත්තීය ගෞරවය ද කෙලසමින් කටයුතු කළ ආකාරය මේ චාරිකාවේ දී වඩාත් හොඳින් ඉස්මතුව තිබිණි. තවත් මාධ්‍යවේදීන් විශාල පිරිසක් ඉදිරියේ සිදු වූ දේ විකෘති කරමින් පුවත් පළ කිරීමට තරම් නිර්ලජ්ජිත, පිරිහුණු මාධ්‍යවේදීන් මේ ක්ෂේත්‍රය අරක් ගෙන තිබෙන බව පාඨකයන්ගේ දැන ගැනීම පිණිස කිව යුතුය.

දුම්රිය ගමන තුළ දී තමන්ට බඩ කට පිරෙන්නට කෑම බීම නොලැබීම මත උරණ වූ මාධ්‍යවේදීන් යැයි කියන කණ්ඩායමක් ද සිටියහ.

චාරිකාව ආවරණය කිරීම සඳහා පැමිණි එක් අයකුගේ බරපතළම ගැටලූව වූයේ අළුවා කෑල්ලක් නොලැබීමේ ප්‍රශ්නයය. ඒ දිවයින පුවත්පතේ මාධ්‍යවේදියකු කියන ප්‍රිදර්ශන ලියනගේය. යාපනය සංචාරය සඳහා සහභාගී වූ සියලූම දෙනා වෙනුවෙන් උදෑසන ආහාර ලබා දීමට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සමත් වී තිබිණි. නමුත් ඊට අමතරව ඇමැතිවරයාට හෝ බර ආහාර වේලක් ලැබුණේ නැත. අළුවා කෑල්ලෙ ප්‍රශ්නය ආවේ සංචාරයට සහභාගී වූ මාධ්‍ය සංවිධානයක පිරිස විසින් එම කණ්ඩායමට හා අමතරව බෙදාදීම සඳහා සකසාගෙන ආ අළුවා කැබලි ටික සියලූ දෙනාට ප්‍රමාණවත් නොවීමෙනි. අපේ මිත්‍රයාට අළුව කෑල්ලක් යහමින් කෑමට වාසනාව තිබුණේ නැත. එහි ප්‍රතිඵලය වූයේ ඔහුගේ නමින් දිවයින පුවත්පතේ අසත්‍ය තොරතුරු සහිත පුවත් පළ වීමය. දුම්රියේ ගිය මාධ්‍යවේදීන්ට කුඩම්මාගේ සැලකිලි, නාගදීපයේ බුදු පිළිමයක් ඉදිකිරීමට දිස්ත්‍රික් ලේකම්වරයා විරුද්ධ වෙයි යනුවෙන් පළ වන්නේ ඒ අනුවය. එම පුවත්පතම නියෝජනය කරමින් චාරිකාවට එක්ව සිටි අනෙක් මාධ්‍යවේදීන් ද ඔහුගේ මේ මජර කටයුත්තට එරෙහිව කතා කරනු දුටුවෙමි.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්නට ගිය පලාලි හමුදා කඳවුරු රැස්වීමේ දී ප්‍රියදර්ශන ලියනගේගේ ප්‍රශ්නය වූයේ හමුදා කඳවුරු ඉවත් කරන්නේද හමුදාව අඩු කරන්නේද යන්න ගැනය. රට වෙනුවෙන් නිල ප්‍රකාශයක් කරන ලෙස යාපනය ආඥාපතිට බල කළේය. යාපනය ආඥාපතිගෙන් ඔහුට කන පැළෙන පිළිතුරක් ලැබිණි. හමුදාව යුදමය අවශ්‍යතා මත අල්ලා ගත් ඉඩම් විශාල ප්‍රමාණයක් යළි පැවරූ බවත් ඉතුරු හරියත් පවරන බවත් අඥාපතිවරයා පැවසීය. එපමණක් නොව තව අවුරුදු සියයකටවත් මේ රටේ යුද්ධයක් ඇති වීමේ සියලූ ඉඩ කඩ අහුරන බවත් පැවසීය. එය කරන්නේ සංහිඳියාවෙන් බව ද ඔහු වෙතින් අවධාරණය කෙරිණි. සිංහල ජාතිවාදය විකුණාගෙන කන ප්‍රියදර්ශන ලියනගේ වැන්නවුන්ට අළුව කෑල්ල නොලැබීම නිසා ජාතිවාදය වපුරා රටක් විනාශ කිරීම පවා ඉතා සුළු දෙයක් බව මේ චාරිකාවෙන් පසක් වූ සත්‍යයකි.

කෙසේ වෙතත් දුම්රිය අනවශ්‍ය ලෙස ප්‍රමාද වීම නිසා යාපනයට ළඟා වූයේ සවස පහ පසු වී ය. මෙම ප්‍රමාදයට හේතුව ඇමැතිවරයා ව අතරමඟ දුම්රිය ස්ථානයන් හී පිළිගැනීමේ උත්සව සංවිධානය කර තිබීම නිසා යැයි එල්ල වන චෝදනාවේ සත්‍යයක් නැත. මේ විනාඩි තුනේ පිළිගැනීම් උත්සව වෙනුවෙන් අමතර කාලයක් ගත්තා නම් එය ද විනාඩි දෙක තුනක් පමණි. එහෙත් දුම්රිය  මගෙහි අලූත්වැඩියා සහ පොල්ගහවෙල දුම්රිය මධ්‍යස්ථානයේ දී මගීන්ගෙන් එල්ල වූ ප්‍රශ්නය නිසා අමතර ප්‍රමාදයට දැඩිව බලපෑ කරුණකි. මේ නිසා සවස 5 පසු වී යාපනයට පැමිණි ඇමැතිවරු ඇතුළු පිරිසට දිවා ආහාරය ගැනීමට සිදු වූයේ සවස 6ට පමණය. එහි කිසිදු අඩුපාඩුවක් නොවන්නටත් යාපනයේ සාම්ප්‍රදායික ආහාර සහිත ආහාර වේලක් ලබා දීමට යාපනයේ එජාප මන්ත්‍රිනී විජයකලා මහේශ්වරන් මහත්මිය කටයුතු කළාය.

එතැන් පටන් තිබුණේ ඉතා කාර්යබහුලකාල සටහනක් අනුව කටයුතු කිරීමටය. මෙම වැඩසටහන සැකසීමේ දී පැය භාගයකවත් විවේකයක් නොමැතිව සකසා තිබීමේ දුර්වලතාව නිසා අපේක්ෂා කළ වැඩ කටයුතු නිසියාකාරව සිදු කෙරුණේ නැත. ඇතැම් කටයුතු අත්හැර දැමීමට සිදු විය. තවත් විටෙක නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම හෝ තක්කඩිකම නිසා අවුල්සහගත තත්ත්ව ඇති විය. මේ ඇතැම් නිලධාරීන් රැසක් පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේ දී ඊට රෙදි නැතිව බැල මෙහෙවරකම් කළ වහල් මානසිකත්වයක් සහිත මුග්ධයන් වීම මත ආවේ කුමකටද යන්න හෝ නොදැන සිටියේ ය. එදින රාත්‍රි ආහාරය ඉස්තරම් ආකාරයට ලබා දීමට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු කළත් එය ඒ ආකාරයෙන්ම භුක්ති විඳීමේ වැඩි අවස්ථාව ලැබුණේ මෙම සංචාරය විනෝද චාරිකාවක් කර ගත් කණ්ඩායමට හා ඔවුන්ගේ අනුග‍්‍රහයෙන් මෙයට කඩා පාත් වූවන්ටය. මුලින් කීවාක් මෙන් මේ ගමනෙහි අරමුණ කුමක් වුවත් ඔවුන්ට වැදගත් වූයේ විනෝද චාරිකාවක ‘ආතල්’ එක ගැනීමය.

මෙම අවස්ථාව සූදානම් කර තිබුණේ උතුරේ මාධ්‍යවේදීන් හා දකුණේ මාධ්‍යවේදීන් අතර කතා බහක්, දැන හඳුනා ගැනීමක්, තොරතුරු බෙදා හදා ගැනීමක් වෙනුවෙන් වූ සුහද හමුවක් ලෙස වූවත් ඒ වෙනුවෙන් ගිය දකුණේ මාධ්‍යවේදීන්ට උතුරේ මාධ්‍යවේදීන් හා තමන්ගේ දුරකථන අංකයවත් බෙදා හදා ගැනීමේ අවස්ථාව හිමි වූයේ නැත. මෙම සංචාරයේ වඩා වැදගත් විය යුතුව තිබූ මේ අවස්ථාව අහිමි කිරීම ගැන මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරී කමිටුව ඇතුළුව ජනමාධ්‍ය අමාත්‍යාංශය හා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වගකිව යුතුය.

පසුදින පාන්දර නාගදීපයෙන් පටන් ගෙන කෝවිල්, පල්ලි හරහා රාත්‍රිය දක්වාම එක පිම්මේ දුවන්නට සිදුව තිබිණි. ගමනේ අරමුණුවලට මේ ගමන් අදාළ නොවූවත් ඇමැතිවරයාගේ සතුට වෙනුවෙන් මේ සංවිධානය වන්නට ඇත. එහෙත් පසුව යාපනයේ උදයන්, වාලපුරි, තිනක්කුරල් පුවත්පත් කාර්යාලවලට හා ඩෑන් ටීවී ආයතනවලට ඇමැතිවරු හා අමාත්‍යාංශ නිලධාරීන් යෑම තුළ ඔවුන් මුහුණ දෙමින් සිටින ප්‍රශ්න ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ හැකියාව එම මාධ්‍ය ප්‍රධානීන්ට ලැබිණි. රජය විසින් ඔවුන්ව නොසලකා හැර තිබීම ඔවුන්ගේ කටයුතු වෙනුවෙන් සිදු කර තිබෙන බාධා කිරීම් ආදිය ඇමැතිවරයාටම දැන ගැනීමට හැකි විය. ඇතැම් ගැටලූවලට එම මොහොතෙම විසඳුම් ලබා දීමට ද හැකි විය. පසුව පලාලි ආරක්ෂක මූලස්ථානයේ දී උතුරේ මාධ්‍ය සංගම් ප්‍රධානීන් හා ආරක්ෂක අංශ ප්‍රධානීන් අතර ඉතා සාධනීය සාකච්ඡාවකට මඟ පෑදිණි. දකුණේ මාධ්‍ය නියෝජිතයන්ගේ ඉල්ලීම මත මාස තුනකට වරක් උතුරේ මාධ්‍ය සංගම් හා පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට ද එකඟතාවක් ඇති වූ අතර උතුරේ මාධ්‍යවේදීන්ගේ ඉල්ලීම පරිදි ආරක්ෂක අංශ හා ගනුදෙනු කිරීමට දෙමළ භාෂාව කතා කළ හැකි නිලධාරියකු පත් කිරීමට ද ආරක්ෂක අංශ එකඟ විය. එමෙන්ම මාධ්‍යවේදීන් වෙත ආරක්ෂක අංශ වෙතින් තවමත් එල්ල වෙමින් තිබෙන පීඩාකාරී සිදුවීම් වැළැක්වීමට පියවර ගන්නා බවට ආරක්ෂක ප්‍රධානීන් එකඟ විය. මේ තත්ත්වය දැනටමත් වළක්වා ඇතිමුත් තවමත් ඇතැම් නිලධාරීන් වෙතින් එවැනි සිදුවීම් වී ඇති බව ද ඔවුන් පිළිගත්තේය. මෙය සම්පූර්ණ වශයෙන් වැළැක්වීමටත් මාධ්‍යවේදීන්ගේ නිදහස තහවුරු කිරීමටත් ආරක්ෂා ප්‍රධානීන් එකඟ වූ අතර යුද්ධය නිසා ඇති වී ඇති ඇතැම් තත්ත්වයන් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තවත් යම් කාලයක් ගතවනු ඇති බවත් එතෙක් එම ගැටලූ සුහදව විසඳා ගැනීමට හැකි බවට, බලාපොරොත්තු පළ කරන ලදී.

උතුරේ මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතා, ඇමැති ගයන්ත කරුණාතිලක මහතා හා රජයේ නිලධාරීන් හා දකුණේ මාධ්‍යවේදීන් සමඟ කතා බහ කිරීමට පමණක් නොව යාපනය නගර මධ්‍යයේ පිහිටු වන ලද මාධ්‍යවේදී ස්මාරකය විවෘත කිරීම සඳහා ඇමැති ගයන්ත කරුණාතිලක සමඟ එකඟ වීම ආණ්ඩුව ලත් ජයග්‍රහණයකි. මහ ඇමැතිවරයා දකුණේ මැති ඇමැතිවරුන් සමඟ කටයුතු කිරීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් සිටි තත්ත්වයක් තුළ මේ අවස්ථාවට සම්බන්ධ වීම ඉතා වැදගත් මොහොතකි. පසුගිය කාලයේ උතුරේ මාධ්‍යවේදීන් 44 දෙනකු ඝාතනයට ලක්ව තිබීම සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් නොපැවැත්වීම ගැන චෝදනාව මහ ඇමැතිවරයා විසින් ඉදිරිපත් කෙරිණි.

එමෙන්ම එදින සවස පැවැති මාධ්‍යවේදීන්ට යතුරුපැදි ලබා දීමට අදාළ ලියකියවිලි ප්‍රදානය කිරීම හා ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් කිහිප දෙනකුගේ පවුල්වල සාමාජිකයන්ට ජීවනාධාර පිරිනැමීමේ අවස්ථාවට තමිල් අරුසිකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා හා එම පක්ෂයේ පළාත් සභා මන්ත්‍රි එම්.කේ.සිවාජිලිංගම් මහතා ද එම වේදිකාවට ගොඩවීම හා මූල්‍ය ආධාරයක් ලබා දීමට ඔහු කටයුතු කිරීම සුවිශේෂී සිදුවීමකි. සිවාජිලිංගම් මහතාව දකුණේ හැඳින්වූයේ දෙමළ අන්තවාදියකු සහ බෙදුම්වාදියකු ලෙසය. එල්ටීටීඊ නායකයාගේ සමීප ඥාතීත්වයත් ඒ මතවාදය වෙනුවෙන් තවදුරටත් පෙනී සිටීමත් නිරන්තරයෙන් ආණ්ඩුවට එරෙහිව පෙනී සිටීමත් සිවාජිලිංගම් දකුණේ, ආණ්ඩුවේ ඇමැතිවරයකු සමඟ එක වේදිකාවකට ගොඩ වීම උතුරු – දකුණු සංහිඳියාව වෙනුවෙන් වූ විශ්වාසය උතුරෙන් පළ වූ බවට වූ සලකුණක් ලෙස සැලකිය හැකිය. කිලිනොච්චියේ දී යාපනයේ දී එම මාධ්‍යවේදීන්ගෙන් ලැබුණු ඉහළ ප්‍රතිචාරය මෙම සංචාරය ඔවුන්ට කෙතරම් වැදගත් වූයේද යන්න ගැන කියන්නට ප්‍රමාණවත්ය.
කෙසේ නමුත් මෙම චාරිකාවෙත් ලත් අත්දැකීම ඇමැතිවරයා හෝ ආණ්ඩුව නිවැරැදිව තේරුම් ගන්නෙ නම් උතුර පිළිබඳ ඇති ගැටලූව ඉතා පහසුවෙන් විසඳා ගැනීමේ නුවණ පහළ විය යුතුය. උතුර ඉල්ලා සිටින සංහිඳියාව කුමක්ද යන්න ආණ්ඩුව තේරුම් ගත යුතුය. එය දකුණේ ජනතාවට පැහැදිලි කර දීමට ආණ්ඩුව සමත් විය යුතුය.

මෙම චාරිකාව සම්බන්ධයෙන් කිසිදු පදනමක් නොමැතිව විවේචන ගොඩනගන මාධ්‍යවේදීන් කියන පිරිසේ කුහක අදහස ද මෙහිදී තේරුම්ගත යුතුව තිබේ. පසුගිය කාලයේ මාධ්‍ය සංගම් අටවාගෙන උතුරේ ප්‍රශ්නය විකුණාගෙන කෑ ඇතැම්හූ මෙම චාරිකාව සම්බන්ධයෙන් සුබවාදී නැත. මන්ද යළි මේ සංගම්කරුවන්ට උතුරේ ප්‍රශ්නය සමඟ ඞීල්වලට යෑමේ හැකියාව මින් අහෝසි වූ බැවිනි. පුවත්පත්වලත් සමාජ ජාලාවලත් දෝරෙ ගලන්නේ මේ කුහකත්වය හා ද්වේශයයි. තමන්ගේ නමින් මේ චාරිකාව සංවිධානය නොවීමේ ඉරිසියාව පැහැදිලිව පසුගිය දින කිහිපයේ දී සමාජ ජාලාවල පළ වූ අදහස්වලින් පෙන්නුම් කර තිබේ. මෙම චාරිකාව සම්බන්ධයෙන් එළිපිට විරෝධය දැක්වූ වන්නි මාධ්‍ය සංගමයේ විරෝධයට හේතුව අනෙකක් නොව තමන්ගේ බඩ ගෝස්තරයට පහර වැදීමක් සිදු වේය යි බිය ය. තමන් දුෂ්කර සේවයේ යෙදෙන්නෙ යැයි කියමින් පුවත් වාර්තාකරණයෙන් අධික මුදල් ඉපැයීම මෙම පිරිස සිදු කරමින් සිටියේ ඒකාධිකාරයක් රඳවා ගනිමිනි. උතුර දකුණ සම්බන්ධ වීම තමන්ගේ ඒකාධිකාරයට වදින පහරක් වීම මේ විරෝධයට නිශ්චිතම හේතුව විය. වව්නියාවේ දී දෙමළ මාධ්‍යවේදීන්ට, ඇමැතිවරයාව පිළිගැනීමට සහභාගී වීම මේ වන්නි සිංහල මාධ්‍යවේදීන් විසින් වළක්වා තිබිණි.

තමන්ගේ සාක්කුවට වැටෙන රුපියල හෝ ඩොලරය ගැන වද වෙන දකුණේ මාධ්‍යවේදීන් කියා ගන්නා තක්කඩියන්ට මේ ගත් පියවර මාරාන්තික වී තිබේ. වෛරය ද ද්වේෂය ද කුහකකම ද ඉරිසියාව ද දෝරේ ගලා යන්නේ එබැවිනි. මනුස්සකමවත් ආරක්ෂාකර ගැනීමට නොහැකි තරමට මොවුන් පිරිහෙමින් තිබේ. එන්න එකට හුස්ම ගන්නැයි කීවාට අපේ දකුණේ මාධ්‍ය සමාජය මිය යමින් සිටී. උතුරට හුස්මක් දෙන්න තරම් ශක්තිමත් නැත. උතුර මේ බව දන්නවා නම්… ?

– සුභාෂ් ජයවර්ධන
ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

Jaffna Tour 2016 1Jaffna Tour 2016 2Jaffna Tour 2016 4Jaffna Tour 2016 5Jaffna Tour 2016 6Jaffna Tour 2016 7Jaffna Tour 2016 8Jaffna Tour 2016 9Jaffna Tour 2016 10Jaffna Tour 2016 11Jaffna Tour 2016 12Jaffna Tour 2016 13Jaffna Tour 2016 14Jaffna Tour 2016 15Jaffna Tour 2016 16Jaffna Tour 2016 17Jaffna Tour 2016 18Jaffna Tour 2016 19

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article