Sunday, May 19, 2024

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිපයට එක්වීමට ඒකාබද්ධයෙන් කොන්දේසි 7ක්.

Must read

Jo

එළැඹෙන පළාත් පාලන ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව තරග කිරීමට නම් එජාපය සමග හවුල් ආණ්ඩුවෙන් ඉවත්වීම ඇතුළු කරුණු 7ක් ඉටු කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය දැනුම් දෙයි.
ඒකාබද්ධ විපක්ෂයේ සහාය ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යොමු කළ ලිපියට පිළිතුරු දෙමින් එහි මන්ත්‍රීවරුන් 42ක් අද(2) නිදහස් පක්ෂ මහ ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 42ක් එම ලිපියට අත්සන් තබා ඇත.
එහිදී ඔවුන්ගේ ඉල්ලීම් හතක් යොමු කර ඇති අතර ඒවා මෙසේය.
1. එක්සත් ජාතික පක්ෂය සමග කරන හවුල් ආණ්ඩුවෙන් ශ්‍රීලනිපය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්විය යුතුය.
2. දැනට කිසිදු පාලනයකින් තොරව දිගින් දිගටම ඉහළ යන ජීවන වියදම පහත හෙළීමට පියවර ගත යුතුය.
3. ජාතික සම්පත් අන්සතු කිරීමේ නැතිනම් විදේශීයකරණය කිරීමේ ක්‍රියාවලියෙන් ශ්‍රීලනිප මන්ත්‍රීවරු ඉවත්වී එයට එරෙහි විය යුතුය.
4. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාරධර්මවලට අනුකූලව අති පූජනීය සංඝරත්නයේ මතයට ගරු කළ යුතුය.
5. රට ෆෙඩරල් කරණයට හා අවසානයේ දී බෙදී වෙන්වීමකට වුවද තුඩු දිය හැකි ආකාරයට රාජ්‍යයක් ව්‍යුහගත වෙනස් කරන ව්‍යවස්ථාව සම්පාදන ක්‍රියාවලියෙන් ශ්‍රීලනිපය වහාම ඉවත් විය යුතුය.
6. දැනට ඉදිරිපත්වී ඇති සාක්කි මත බැඳුම්කර මගඩිය තුළින් මහ බැංකුව කොල්ල කෑ අයට එරෙහිව තරාතිරම නොබලා දැඩි නීතිමය ක්‍රියාමාර්ග වහාම ආරම්භ කළ යුතුය.
7. නීතියේ ආධිපත්‍ය යළි තහවුරු කර දිනපතාම පාහේ අද පුදුම ලෙස ශක්තිමත්ව සිටින පාතාල කල්ලි අතින් සිදුවන මනුෂ්‍ය ඝාතන රැල්ල නැවැත්වීමට වහාම පියවර ගත යුතුය.
මන්ත්‍රීවරුන් කිහිප දෙනකු විදේශ ගතව සිටින බැවින් ඔවුන් මෙම ලිපියට අත්සන් කර නැති නමුත් ලිපියේ අන්තර්ගතයට  ඔවුන්ගේ සම්පූර්ණ එකඟතාවය ඇති බවත් එම ලිපියේ සඳහන් වේ.

 

උපුටාගැනීම -www.lankadeepa.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article