Monday, April 29, 2024

ඇඳුමේ ධර්මචක්‍රය ඇතැයි අත්අඩංගුවට ගත් කාන්තාවගේ පෙත්සමට දින නියම කරයි

Must read

හසලක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින්  ඊට වන්දි ලබා දෙන ලෙස ඉල්ලා මුස්ලිම් කාන්තාවක ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) තීන්දු කළේය.

තමන් නැවක සුක්කානමක රුව සහිත ගවුමක් ඇඳගෙන සිටියදී ධර්ම චක‍්‍රයක රුව සහිත ඇඳුමක් ඇඳසිටිනවා යැයි වැරදියට වටහා ගෙන මෙලෙස අත්අඩංගුවට ගත් බව පෙත්සම්කාරිය සඳහන් කර තිබේ.

ඒ අනුව මෙම පෙත්සම ලබන පෙබරවාරි 12 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

බුවනෙක අළුවිහාරේ , ප‍්‍රියන්ත ජයවර්ධන සහ මුර්දු ප‍්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.

කොළොන්ගොඩ පුදලුගස්යායා ප‍්‍රදේශයේ පදිංචි අබ්දුල් රහීම් මසහීනා නැමැත්තිය ගොනු කළ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන්වශයෙන් නීතිපතිවරයා , හසලක පොලිස් ස්ථානාධිපති චන්දන නිශාන්ත  සහ පොලිස්පතිවරයා නම් කරනු ලැබ ඇත.

ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන්විණි.

‘‘පෙත්සම්කරු එක් දරු මවකි. කලක් සෞදි අරාබියේ ගෘහසේවයේ නියුතුව පසුව වෘත්තීය වශයෙන් ඇඳුම් මසන්නියක වශයෙන් කටයුතු කරන්නීය. පසුගිය මැයි 17 වැනි දින පෙරවරු 10.30ට පමණ පොලිස් නිලධාරීහු පිරිසක් ජීප් රථයකින් පෙත්සම්කාරියගේ නිවසට පැමිණියහ. එහි සිටි එක් පොලිස් නිලධාරියෙකු ධර්ම චක‍්‍රයක රුව සහිත මැක්සි ගවුමක් ඇඳ මහමඟ ගමන් කිරීම පිළිබඳ ඇගෙන විමසා සිටියේය.

එම ගවුම තමන්ට ලැබුනේ තමා ගෘහසේවිකාවක වශයෙන් සේවය කළ රටේ ස්වාමිදුව ගෙන් බව පෙත්සම්කාරිය සැලකර සිටියාය. එම ස්ථානයේ සිටි හසලක පොලිස් ස්ථානාධිපති ඇයව අත්අඩංගුවට ගැනීමට නියෝග කළේය.

ඉන්පසුව ඇයව පොලිස් ස්ථානයට රැගෙන ගියේය. ඉන් අනතුරුව ඇය දණ්ඩ නීති සංග‍්‍රහයේ 291 බී වගන්තිය යටතේ මහියංගනය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ජුනි 03 වැනිදා තෙක් බදුල්ල බන්ධනාගාරයේ රිමාන්ඞ් බාරයට පත් කළාය.පසුව ජුනි 03 වැනිදා අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හරිනු ලැබීය.

පෙත්සම්කාරිය ඇඳ සිටි මැක්සි ගවුමේ සඳහන් වන්නේ ධර්ම චක‍්‍රයක රුව නොව නැව් සුක්කානමක රුවකි. ඒ අනුව පෙත්සම්කාරිය අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි වේ.

එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත් , තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද , ඊට වන්දි ලබා දෙන ලෙසත් , මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා දඬුවම් කරන ලෙසත් පෙත්සම්කාරිය සිය පෙත්සමින් ඉල්ලා සිටින්නීය.

පෙත්සම්කාර කාන්තාව වෙනුවෙන් නීතීඥ හරිනි ජයවර්ධන , නීතීඥ පුලස්ති හේවාමාන්න සහ ජනාධිපති නීතීඥ ජේ.සී වැලිඅමුණ මහතා පෙනී සිටියහ.

 

(lankadeepa.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article