Thursday, May 2, 2024

ආහාර සහ කරුණාව හිමි වන තුරු ‘වීදි සුනඛයෝ’ ප්‍රචණ්ඩ නොවෙති

Must read

ඉන්දියාවේ නවදිල්ලියේ සිව් හැවිරිදි කුඩා දරුවෙක් අයාලේ යන (Stray Dog), නිවාස අහිමි සුනඛ රංචුවක් විසින් ඝාතනය කරනු ලබන වීඩියෝවක් මේ දිනවල අපේ රටේ සමාජ ජාලවල ශීඝ්‍රයෙන් පැතිරෙමින් පවතී. ඒ සමගම අයාලේ යන සුනඛ රංචු පිළිබඳ ජනතාව තුළ ඇති ආකල්පය ද වෙනස් වන්නට පටන්ගෙන තිබේ. මේ වීඩියෝව මේ තරම් වේගයෙන් ප්‍රචලිත වන්නට ඇති ආසන්නතම හේතුව වී ඇත්තේ මෑත දිනක කාන්තාවක විසින් මහ මග සිටි සුනඛ පැටවුන් දෙදෙනෙකු සිය මෝටර් රථයට යටකොට මරණයට පත්කිරීම සමග ඒ සිදුවීම පිළිබඳ සමාජය තුළ ඇති වූ කතිකාවත බව පෙනෙන්නට තිබේ. ඒ සිදුවීමෙන් පසු එකී කාන්තාව පිළිබඳ සමාජ ජාල තුළ විරෝධාත්මක අදහස් පැතිරෙන්නට වූ අතර අයාලේ යන සුනඛයන් දෙස සානුකම්පිතව බැලීමේ ප්‍රවණතාවක් මතුව ආවේය. මේ තත්ත්වයට එරෙහි මත දරන්නවුන් විසින් අයාලේ යන සුනඛයන් පිළිබඳ සමාජය තුළ ඇති මතය වෙනස් කිරීමේ අරමුණ ඇති ව මේ වීඩියෝව සමාජ ගත කරන්නට පියවර ගෙන ඇති බව පෙනෙන්නට තිබේ. මේ කණ්ඩායම්වලින් පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ වීදි සුනඛයන් මහමාර්ගවලින් ඉවත්කිරීම වඩාත් සුදුසු බවය. කෙසේ නමුත් සුනඛ රංචුවක් විසින් කුඩා දරුවකු ඝාතනය කරනු ලැබීම කිසිසේත්ම සුළුකොට සැලකිය හැකි කාරණයක් නොවේ. නමුත් මේ සිදුවීමේ සාමාන්‍යයෙන් නොපෙනන මානයක් තිබේ. මේ කතා කරන්නට උත්සාහ කරන්නේ ඒ පිළිබඳව ය.

ඉන්දියාවේ සිදුවීම දෙස අවධානය යොමු කළහොත් එහි දී දකින්නට ඇති සුනඛයන්නේ දිස්වන්නේ මිනිස් ඇසුරින් හික්මුණු ස්වභාවයකට වඩා, සිය මුතුන්මිත්තන්ගේ හැසිරීම් රටාවන් සහිත නොහික්මුණු ප්‍රචණ්ඩ ස්වභාවයකි. මොවුන් සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ ‘ප්‍රචණ්ඩ සුනඛයන්‘ (feral dogs) නමිනි. ගෘහාශ්‍රිතව වෙසෙන සුනඛයා පැවත එන්නේ අළු වෘකයාගෙන් වන අතර අදින් වසර 14,000 – 15,000 කට පමණ පෙර වෘකයන්ගෙන් කොටසක් මිනිසුන් හා මිත්‍රවන්නට පැමිණිය හ. කොටසක් වෘකයන් ලෙස වනාන්තරයේම නතර වූහ. වනාන්තරයේ නතර වූ වෘකයන් Canis lupus යන විද්‍යාත්මක නමින් හඳුන්වනු ලබන අතර මිනිස් ඇසුරට වෘකයන් ලෙස පැමිණ ශිලාචාර වී සුනඛයන් බවට පත් වූවන් Canis lupus familiaris හෝ Canis lupus domestica යන විද්‍යාත්මක නමින් හඳුන්වනු ලබයි. සුනඛයන් බවට පත් වූ වෘකයන් මිනිස් වාසයට පැමිණියේ උන්ගේම කැමැත්තෙන් වූ අතර මාංශ අනුභවයට ඔවුන්ගේ තිබූ නැඹුරුව පවා වෙනස් කරගනිමින් මිනිසුන් ගන්නා වෙනත් ආහාර රටාවන්ට ද හුරුවීම දක්නට ලැබෙන්නකි. මිනිසාගෙන් මෙන්ම සුනඛයන්ගෙන් ද ‘ඔක්සිටොසින්’ නම් හෝමෝනය ශ්‍රාවය වන අතර සමාජ බැඳීම් ශක්තිමත් කරන්නට මෙයින් ලැබෙන්නේ ඉමහත් පිටිවහලකි.

කෙසේ නමුත් මෙසේ මිනිස් ඇසුරට පැමිණි ඇතැම් සුනඛයන්ව මිනිසුන් විසින් ආකාරුණික ලෙස නෙරපා හරිනු ලබන සිදුවීම් ද ඉතිහාස පුරා දකින්නට ලැබේ. කෙසේ නමුත් මෙසේ නෙරපා හරින ලද පමණින් ඔවුන් ප්‍රචණ්ඩ සුනඛයන්ගේ (feral dog) තත්ත්වයට පත්වන්නේ නැත. කෙසේ නමුත් මෙසේ නෙරපා හරින ලද සුනඛයන්ගේ පරම්පරා දෙකකින් හෝ තුනකින් පසුව බිහිවන සුනඛයන් සාමාන්‍ය සුනඛයන් මෙන් මිනිසුන් කෙරෙහි සංවේදී බවක් පෙන්වන්නේ නැත. ඔවුන් වන සුනඛයන් (Wild Dogs) ලෙස රංචු වශයෙන් ජීවත්වන්නට පටන් ගන්නා අතර මිනිසුන් දකින විට ඔවුන් සිය වලිගය වනන්නේ ද නැත. සාමාන්‍යයෙන් මිනිස් ඇසුරේ සිටින සුනඛ රංචුවක් අසලට ගොස් ඔවුන්ට කතා කළහොත්, ඔවුහු සිය රංචුවෙන් මිදී අප කරා දිව එයි. නමුත් යට කී තත්ත්වයට පත් වූ සුනඛයන්ගෙන් මෙවැනි හැසිරීමක් බලාපාරොත්තු විය නොහැකිය. ඔවුන් වන සුනඛයන් මෙන් රංචු වශයෙන් දඩයම් කිරීමේ (Pack Hunting) හැසිරීමක් පෙන්නුම් කරයි. ඔවුන් එහි දී තමා අසල සිටින්නේ මිනිසෙක් ද සතෙක් ද යන්න පිළිබඳ නොසළකා කුඩා සතුන් දඩයම් කිරීමට පෙළඹෙයි. මිනිසුන් විසින් කාලයක් තිස්සේ නෙරපා හරින ලද නිසා ඔවුන් තුළ මිනිසුන් හැඟීමක් ඇත්තේ නැත. මෙවැනි තත්ත්වයන් මිනිසුන් විසින් නිර්මාණය කරගන්නා ලද ඒවා අතර ශ්‍රී ලංකාවේ නම් මෙතෙක් එවැනි අවාසනාවන්ත තත්ත්වයන් කිසිම අයුරකින් හෝ වාර්තා වී නැත. මිනිසා සහ සුනඛයන් අතර පවතින වෛරී ස්වභාවය තව තවත් මෝදු වුවහොත් අප රටේ ද ප්‍රචණ්ඩ සුනඛයන් ඇතිවීම සිදු නොවේ යැයි කිව නොහැකි ය.

අයාලේ යන නිවාස අහිමි සුනඛයන්ට කෑම දීම සම්බන්ධ නඩුවක් ඉන්දියාවේ බොම්බායේ මහාධිකරණයේ දී අසනු ලැබිණි. එහිදී Seawoods Estate Limited නම් නිවාස සංකීර්ණයේ කළමනාකාරීත්වය එහි පදිංචිකරුවන් කිහිප දෙනෙකුට මේ සම්බන්ධව නඩු පැවරූ අතර සුනඛයන්ට කෑම දුන් පුද්ගලයන්ට දඩයක් ද නියම කෙරිණි. ඔවුහු මේ තීරණයට එරෙහිව නඩු මගට පිවිසියහ. මේ නඩුව මෙහෙයවීමෙන් පසු බොම්බායේ මහාධිකරණය අවසන් වශයෙන් නිගමනය කළේ අයාලේ යන නිවාස අහිමි සුනඛයන්ට කෑම බීම සපයා දී ඔවුන් කෙරෙහි කරුණාව දක්වන්නේ නම්, ඔවුන් තවදුරටත් ආක්‍රමණශීලී නොවන බවය.

මේ නඩුව මෙහෙය වූ මහාධිකරණ විනිසුරු වන ගෞතම් පටෙල් මේ පිළිබඳ නිල ප්‍රකාශයක් ද ඉදිිරිපත් කළේය.

එම ප්‍රකාශය තුළ අයාලේ යන සුනඛයන්ගේ ගැටලුවට මෙන්ම ඔවුන් ප්‍රචණ්ඩ සුනඛයන් බවට පත් වීමෙන් වළක්වා ගැනීමේ විසඳුම ද දකින්නට ලැබේ.

මේ ඔහුගේ ප්‍රකාශයයි.

“කොටියකුට හෝ සුනඛයකුට හෝ ඔවුන්ගේ භෞමික සීමාවන් මොනවාදැයි කිව නොහැකි ය. ඔබ සිටින ප්‍රදේශයේ සීමාවන් ඔවුන් දන්නේ නැත. බොම්බායේ මහාධිකරණයේ අපට ද මේ ගැටලුව තිබිණි. අප ඒ ගැටලුව විසඳුවේ ඔවුන්ට කෑමට ආහාර ලබාදීමෙනි. දැන් ඔවුන් කරන්නේ පාඩුවේ නිදාගෙන සිටීම පමණි.”

මේ නඩු තීන්දුවට අනුව අයාලේ යන නිවාස අහිමි සුනඛයන්ට කෑම බීම සැපයීමට එරෙහි තීන්දුවක් නොගත් අතර සුනඛයන්ට කෑම ලබා දීම සඳහා නිශ්චිත ස්ථානයක් හඳුනාගන්නා ලෙස පමණක් නිියම කෙරණි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article