Monday, April 29, 2024

අසල්වැසි ඉන්දියාව අත පොවන ලාංකීය ජනාධිපතිවරණයේ අවිනිශ්චිතය -(කුසල් පෙරේරා)

Must read

  • facebook sharing button
    sharethis sharing button
මේ නව වසරේත් මාසයකුත් සතියකට වඩා ගෙවී ගොස් ඇත.නිදහස් දින උත්සව අවසන් කෙරුණු විට ප්‍රවෘත්තිය වූයේ ජ.වි.පෙ සහ ජා.ජ.බ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ ජා.ජ.බයේ තවත් දෙදෙනකු ඉන්දීය විදේශ ඇමති ආචාර්ය ජායිශන්කර්ගේ ආරාධනාවක් අනුව නව දිල්ලි ගිය බැව්ය.

 


මෙය ඉන්දීය ආණ්ඩුව විසින් ජවිපෙට කෙරුණු පළමු ආරාධනාව නොවේ. පළමු ආරාධනාව කෙරුණේ 2002 අගෝස්තුවේදීය. ඒ අගෝස්තු 15 දිනට යෙදෙන ඉන්දීය නිදහස් දින සැමරුම සඳහා ඉන්දීය ආණ්ඩුව වෙනුවෙන් කොළඹ මහ කොමසාරිස් විසින් කොළඹ “ඉන්ඩියා හවුස්” හි පැවැත්වුනු උත්සවය සඳහා ජ.වි.පෙට කෙරුණු ඇරයුමය.

 


JVPPost 1 27292 200එයට විශේෂ හේතුවක් තිබිණ. ඉන්දියාව අගමැති වික්‍රමසිංහගේ ශ්‍රී ලංකාණ්ඩුව සහ එල්.ටී.ටී.ඊය අතර වූ සාම සාකච්ඡා වලට විරුද්ධ වූ අතර, ජ.වි.පෙ ඇතුළු සිංහල-බෞද්ධ අන්තවාදී කණ්ඩායම්ද සාම සාකච්ඡා වලට විරුද්ධ වූහ. ජ.වි.පෙට එම සැමරුමට ආරාධනා කෙරෙන්නේ එබැවින්ය. ආරාධනාව බාර ගැනීමෙන් සාම සාකච්ඡා වලට එරෙහි ඉන්දීය කොන්ත්‍රාත්තුවද ජ.වි.පෙ බාර ගත් බැව් කියවුනකි.

ඒ දසක දෙකකට ඉහතිනි. එනමුත් ජ.වි.පෙ දේශපාලනයෙහි ඓන්ද්රීය ඉන්දීය විරෝධය නොතකා අන්‍යොන්‍ය වාසි සඳහා ඕනෑම විටෙක හවුල් වන්නට දෙගොල්ලන්ම සූදානම් බැව්, මේ නව දිල්ලි ගමන පෙන්වූවකි. මෑතකදී අනුර කුමාර ඔවුන්ගේ ඉන්දීය විරෝධය පාර්ලිමේන්තුවෙහි දිග හැරියේ ශ්‍රී ලාංකීය ස්වාධීනත්වය ඉන්දීය ආයෝජකයින්ට අලෙවි කරන්නේ යැයි වික්‍රමසිංහ ආණ්ඩුවට බරපතල චෝදනාවක් නගමිනි. 

 

ඔහුගේ චෝදනාව ඔහු ආරම්භ කෙරුවේ යාපනයේ දොරෙයප්පා ක්‍රීඩාංගනය අලුත්වැඩියා කිරීම්, කන්කසන්තුරෙයි වරාය පුළුල් කිරීම, පලාලි ගුවන් තොටුපල නවීකරණය, නිලාවැලි මුහුදු තීරයේ අක්කර 04 ක් ඉන්දීය හෝටල්කරුවන්ට දීම, පුල්මුඩෙයි ඛනිජ වැලි සංස්ථාව බිර්ලා සමාගමට ලබාදීම වෘත්තීය සමිති විසින් වළකා ගැනීම සහ ඉන්දියානු ආයෝජන බල ශක්ති ක්‍ෂේත්‍රයට ප්‍රවිශ්ඨ වීම හා ඛනිජ තෙල් වෙළඳපලින් කොටසක් ඔවුන් කඩා ගැනීම ඇතුළු තවත් තොරතුරු ගණනාවක් සමගිනි.

එහෙත් මැතිවරණ බලය සඳහා ඔවුන්ගේ වත්මන් ප්‍රචාරක රැස්වීම්වල තනි සිදුවීම් ගැන කතා ඔවුන් අතහැර ඇත. ඔවුන් දැන් උත්සාහ කරනුයේ සජිත්ගේ ස.ජ.බ පසුකර යෑමට මැද මාවතේ ව්‍යාපාරික හිතවාදී අලුත් මුහුණතක් හදා ගැනීමටය. ඒ වෙනුවෙන් ඔවුහු දූෂණ විරෝධී ප්‍රකාශනයක් සහිත නාගරික මධ්‍යම පංතික පෙනුමක් ආරරෝපණය කර ගැනීමේ විශාල අභ්‍යාසයක නියැලෙන්නාහ. එය ඔවුන්ගේ පාරම්පරික ගැමි දුප්පත් පහළ සමාජ පදනම හෙමින් ඉවත්වීමට හේතුවන්නකි. ඔවුන්ට ලැබෙන්නාවූ ප්‍රචාරක වාසිය ඇත්තේ ශ්‍රී ලංකාවේ සමාජ මත හැඩ කිරීම හැමවිටම මාධ්‍ය විසින් නාගරික මැදපංතික කතා වලට බාර කිරීමෙහිය.

 

PEVI 01 20240130 E

සමාජ මත විමසීමේ කොළඹ කේන්ද්‍රීය ආයතනද මෙම ප්‍රචාරකවාදී ප්‍රවණතාව සමග ජ.වි.පෙට වැඩි බරක් තබති. මැතිවරණ දේශපාලනයට කිසිදු සම්බන්ධයක් නොමැති “සෞඛ්‍ය ප්‍රතිපත්ති සඳහාවන ආයතනය” (IHP) ඔවුන්ගේ මැතිවරණ මත විමසුමක් ලෙස “2023 දෙසැම්බරය වන විට ශ්‍රී ලාංකීය වැඩිහිටියන් අතර ඡන්දයදීමේ අපේක්ෂා” යැයි වාර්තාවක් මේ අතර ප්‍රසිද්ධ කර ඇත. ඔවුන්ගේ විධික්‍රමය, යොදාගත් නියැදි හා ඒවායේ සංයුතිය ගැන කිසිදු පැහැදිලි කිරීමක් දකින්නට නොමැත. එහෙත් ඔවුන්ගේ ජනමත විමසුමට අනුව සියයට 39 ක් ඡන්දය දෙන්නේ ජ.වි.පෙට ය. සියයට 27 ක් ස.ජ.බට ය. ඉතිරිය සියයට 10 ක් හා ඊට අඩුවෙන් අනෙක් සියල්ලන්ට බෙදාදී ඇත. 

ihp r

 

සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධ පර්යේෂණ කිරීමේ කලාපීය අත්දැකීම් ඇති ආයතනයක් ලෙස හඳුන්වා ගනු ලබන IHP ආයතනයට මෙවැනි දේශපාලන කාර්යකට අත ගසන්නට ඇති වුවමනාවට අමතරව, ඒ සඳහා ඔවුන් සතු නිපුණත්වය ඇත්තටම ප්‍රශ්නකාරීය. ඔවුන්ගේ විශේෂඥතාවයන් හා ආයතනයේ වගකීම් අනුව, ජාතික සෞඛ්‍ය සේවාවේ ගැටළු හා ඖෂධ මිලට ගැනීමේ දියුණු ගුණාත්මක හා ආරක්ෂා සහිත පිලිවෙත් ගැන අධ්‍යනය කිරීම වඩා යෝග්‍ය වූවත් ඔවුන් අත ගසා ඇත්තේ ඔවුන්ට කිසිදු අදාලත්වයක් නොමැති ක්‍ෂේත්‍රයකටය.

 

පුංචි ඡන්දය මාස 04කින් කල් යයි !
මැතිවරණයකදී ඡන්දයදීමේ සමාජ රටා හා සම්මතයන් අනුව ඡන්ද භාවිතය ගණන් හැදීම, වයස අවුරුදු 05 ට අඩු දරුවන්ගේ මන්ද පෝෂණය ගණන් හැදීමට වඩා බෙහෙවින් වෙනස් ය. ඡන්ද භාවිතය දිස්ත්‍රීක්කයෙන් දිස්ත්‍රීක්කයට කුලය, ජාතිය, ආගම අනුව සහ පුද්ගලවාදී නායකත්ව බලපෑම් සමග මැතිවරණ සඳහා වැය කෙරෙන මුදල් අනුවද වෙනස් වන්නේය. සමාජ මත විමසීමේදී ඡන්ද භාවිතයෙහි එවැනි සාධක ගැන කිසිවකු ගණන් බලන්නේ නැත.

එවැනි සාධක ඇතිව ගණන් බැලුවේ නම්, 2020 මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රීක්කයෙන් සියයට 01.2 ක් ඡන්ද ලබා ගත් ජ.වි.පෙ මෙදා කොපමණ ලබා ගන්නේදැයි කිව යුතුය. ස.ජ.බ 2020 නුවරඑළියෙන් ලබා ගත් සියයට 31.2 මෙදා ජ.වි.පෙට ලබා ගත හැකිවේද? අලුත් නාගරික ව්‍යාපාරික පෙනුමක් ඇතිව ජ.වි.පෙට මෙදා මොණරාගල දිස්ත්‍රීක්කයෙන් ගියවර ලබා ගත් සියයට 04.1 ට වඩා කොපමණ ලබා ගත හැකිවේදැයි කියන්නටද හැකි විය යුතුය. කුරුණෑගල දිස්ත්‍රීක්කයෙන් ඔවුන් ලබා ගත් සියයට 03.7 ක ප්‍රතිශතය, ගියවර පොහොට්ටුව ලබා ගෙන තිබූ සියයට 67 දක්වා මෙදා වැඩිවේදැයි කිව හැකි ද?

 

2020 මහ මැතිවරණය: ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක

මෙවර ද සමස්ථ ඡන්දදායකයින්ගෙන් සියයට 80 ක් පමණ ඡන්දය භාවිත කළහොත් දකුණේ සිංහල සමාජයේ පැලපදියම්ව ඉන්නා ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් ජයග්‍රහණය සඳහා යාපනය, වන්නිය සහ මඩකළපුව හැර බහුතර සහ සැළකිය යුතු සිංහල ප්‍රජාවක් ඉන්නා දිස්ත්‍රීක්ක 19 න් ඡන්ද මිලියන 06.6 ක් ලබා ගත යුතු ය. දැන් ඉන්දියන් රුපියල් කෝටියක් වටිනා ප්‍රශ්නය වන්නේ, වසර 04 ට පෙර ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 04 ක් ලබා ගත් අනුර කුමාරට මෙදා ලක්ෂ 66 ක් ලබා ගත හැක්කේ කෙසේද යන්නය. පෙනුමෙන් පමණක් නොව දේශපාලනයෙන්ද ඉතා වේගයෙන් සම්ප්‍රදායික දේශපාලනයකට මාරු වන ඔහුව තෝරා ගැනීමට තරම් දැන් වෙනසක් විශේෂයක් ඉතිරිව නැත. 

එහෙත් ඔවුන් ඉන්දියාවට ගිය විගස ඉදිරි ජනාධිපතිවරණයේදී අනුර කුමාර සියයට 50 ක් ඡන්ද ලබා ගන්නා බව කිසිදු විමසීමකින් තොරව IHP ආයතනයේ ඉලක්කම් උපුටා දක්වමින් ඉන්දීය වියෝන් රූපවාහිනි නාලිකාව ජ.වි.පෙ හඳුන්වා දුන්නේ කිසි දවසක ජ.වි.පෙවත් නොදැන සිටි “ශ්‍රී ලංකාවේ මාක්ස්-ලෙනින්වාදී පක්ෂය” යැයි කියා ය. මෝඩිවාදී නාලිකාවක් ලෙස ප්‍රසිද්ධ වියෝන් නාලිකාවේ එදින ප්‍රවෘත්තියෙන් උත්සාහ කෙරුණේ මන්ත්‍රීවරුන් 225 ක පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 03 කු ඉන්නා ජ.වි.පෙ ගෙන්වා ගැනීම සාධාරණය කිරීම වෙනුවෙන්ය. යෝධ සමාජ-ආර්ථික අර්බුදයක ඉන්නා ලාංකීය සමාජය අලුත් වෙනසක් සඳහා හැඩ ගැසෙන්නේ යැයිද අනුර කුමාරට සියයට 50 ක ඡන්දයක් ලැබෙන්නේ එනිසා යැයිද කීමෙනි. 1987 දී ඔවුන් දැඩි ඉන්දීය විරෝධී දේශපාලනයක් සමාජගත කළ බැව්ද සඳහන් කෙරුණේ ඔවුන් හා සංවාදයක් තිබිය යුත්තේ එනිසාවෙන් යැයි කීමටය.

 

වතුකරයේ අවුරුදු 200 සැමරුමට මෝදි !
මෙතුවක් කල් ලාංකීය දේශපාලනයේ ඉන්දීය විරෝධය ගැන කිසිදු තැකීමක් නව දිල්ලියට නොතිබුණි. ජයවර්ධන පාලනය අස්ථාවර කිරීමට යැයි 1980 දසකය ආරම්භයේදී අගමැතිනි ඉන්දිරා ගාන්ධී ලාංකීය දෙමළ තරුණ කණ්ඩායම් සඳහා අවි පුහුණුව සහ මුදල් ආධාර ලබා දුන්නේ ලංකාවේ ඉන්දියන් විරෝධයක් ගැන මොනම තැකීමක්වත් නැතිවය. මෝඩි ආණ්ඩුවට ලාංකීය දේශපාලනයේ ඉන්දියානු විරෝධය නිෂ්ක්‍රිය කිරීමේ හදිසි අවශ්‍යතාව තේරුම් ගැනීම එනිසා වැදගත් ය.

ගාන්ධි මැතිනියගේ යුගය අවසන් වනවිටත් ඉන්දියාවට දකුණු ආසියානු කලාපයේ ආධිපත්‍ය රඳවා ගත හැකි සාධක දෙකක් වින. පළමුවැන්න ඒ වනවිට චීනය යෝධ ආර්ථික මකරෙකු ලෙස වැඩී නොතිබීමය. එනිසා දකුණු ආසියාවේ ඉන්දීය ආධිපත්‍යයට චීනය ගැටළුවක් නොවුනි. දෙවැන්න, දකුණු ආසියාව කලාපීය වශයෙන් ගොනුව තිබූ “සාක් සංවිධානය” කලමනාකරණය කිරීමේ බලය තිබූයේ ඉන්දියාවට ය.

 

ඉන්දු - චීන බල අරගලයට මැදි වූ ලංකාවේ අනාගතය ? - (වීඩියෝ)

 

නව සහශ්‍රයෙහි ඒ සියල්ල සීග්‍රයෙන් වෙනස් විය. චීනය බලසම්පන්න ආර්ථික රාජ්‍යයක් බවට පත්වීමත් සමග දකුණු ආසියාවෙහි ඉන්දියානු අධිකාරී බලය අභියෝග කරමින් අරාබි මුහුදේ සිට බෙංගාල බොක්කද සමග ඉන්දියානු සාගරයේ මුහුදු ගමන් මාර්ගවල ඔවුන් වැදගත් ප්‍රවාහනකරුවෙකු විය. චීන නැඹුරුවක් තිබූ පකිස්තාන දේශපාලනය හා ගනුදෙනු කළ නොහැකි වූ නව දිල්ලියට උතුරෙහි නේපාලයද අවනත නොවන තත්ත්වයට පත්වන විට, ඉන්දියානු සාගරයේ මාලදිවයින හා ශ්‍රී ලංකාව ස්ථානීය වශයෙන් අතිශය වැදගත් විය. 

ඉතා වේගයෙන් වර්ධනය වූ චීනයේ යෝධ කර්මාන්ත සඳහාත් ඒ හා සමානවම විශාල වූ ඔවුන්ගේ නාගරික ජීවන පැවැත්ම සඳහාත් චීනයට විශාල ඉන්ධන තොග අවශ්‍ය විය. චීනයේ ඉන්ධන අවශ්‍යතාවයෙන් සියයට 60 ක් පමණ ප්‍රවාහනය කෙරුණේ මුහුදු ගමන් මාර්ග ඔස්සේය. මේ වනවිට “දිනපතා විශාල ඉන්ධන නෞකා 60 ක් පමණ පර්සියානු සමුද්‍රවංකයේ සිට ඉන්දියානු සාගරය ඔස්සේ චීන වරායන් වෙත ගමන් කරයි” (MarineLink – 2023 දෙසැම්බර 13). ඒ මුහුදු ප්‍රවාහන වෙනුවෙන් චීනය පකිස්තානයේ ග්වාදාර් වරායත් හම්බන්තොට වරාය සහ කොළඹ වරයාට යාබදව තැනූ කොළඹ වරාය පුරවරයත් ඩොලර බිලියන 80 ක් වැයකර 2025 දී සම්පූර්ණ කිරීමට නියමිත මලයාසියාවේ මලක්කාහි හුආංජිං වරයාත් සිය අධිකාරියට ගෙන ඇත.

 

චීන හිතවාදී මුයිසු මාලදිවයින් ජනපති ධුරයට

චීන හිතවාදී මුයිසු මාලදිවයින් ජනපති ධුරයට පත්විය

 

පර්සියානු සමුද්‍රවංකයේ සිට අරාබි මුහුද හා ඉන්දියානු සාගරය ඔස්සේ මාලදිවයින් වලට උතුරෙන් සහ ශ්‍රී ලංකාවට දකුණින් මලක්කා සමූද්රසන්ධිය ඔස්සේ නැගෙනහිර චීන වරායවල් දක්වා වන මුහුදු ගමන් මාර්ග දැන් චීන බලපෑම් ආසන්නයේ තිබෙන්නකි. පසුගිය වසරේ සැප්තැම්බර ජනාධිපතිවරණයෙන් මාලදිවයිනෙහි ස්ථාපිත වූයේ චීන ලැදි පාලනයකි. විපක්ෂ අපේක්ෂක මොහොමඩ් මුයිසූගේ මැතිවරණ තේමාව වූයේ කිසිදු විදෙස් රටකට නතු නොවුනු මාලදිවයින් ස්වෛරීත්වයත් තහවුරු කිරීමය. එහි අන්තර්ගතය “පළමුව ඉන්දියාව” යැයි පිළිගෙන තිබූ මාලදිවයින් දේශපාලනය අතහැරීම විය.

 

muisu 5
ජනාධිපති ලෙස දිවුරුම් දුන් පසු මුයිසූ චීනය සමග වහා සමීප සම්බන්ධකම් හදා ගත් අතර ඒ හා වහාම ඔහු මාලදිවයිනේ නතරකර සිටි ඉන්දීය හමුදා ඉවත්කර ගන්නට යැයි නව දිල්ලියෙන් ඉල්ලුවේය. ඒ අනුව බහුතරය මාර්තු මාසයේ සහ ඉතිරිය මැයි 10 දාට කලින් මාලදිවයිනෙන් ඉවත් කර ගැනීමට මෝඩි ආණ්ඩුව එකඟ විය.

මුයිසුගේ ඒ ඉන්දියන් විරෝධය මට්ටු කිරීමට ඉන්දියාව මාලදිවයින් සංචාරය මුළුමනින් වර්ජනය කරන බැව් ප්‍රකාශ කළේය. 2023 වසරේ මාලදිවයින් සංචාරක ව්‍යාපාරයේ ඉන්දියාව පළමු ස්ථානයේ සිටි නමුත් ඉන්දියානු වර්ජනය සමග 2024 ජනවාරියේ ඉන්දියාව පස්වන ස්ථානයට පහත වැටින. එවගේම 2023 දී ඉන්දියාව සමග වූ ද්විපාර්ශවීය වෙළඳාමෙහි වටිනාකම ඩොලර බිලියන 501 ක් විය. එවැනි සංඛ්‍යා සමග වියොන් නාලිකාවේ “වාන්ටේජ්” වැඩසටහනෙහි පල්කි ශර්මා කියූවේ ඉන්දියාව නොමැතිව මුයිසූගේ මාලදිවයිනට පැවතිය නොහැකි බවය. එහෙත් ජනාධිපති මුයිසූ මාලදිවයින් සංචාරක ව්‍යාපාරය චීනය සමග වර්ධනය කිරීමට සූදානම් වන්නේය. විදේශ වෙළඳාමත් එවැනිම හැරවුමක් පෙන්වන්නේය. ඉන්දියානු තර්ජන හමුවේ ජනාධිපති මුයිසූගේ පිළිතුර වූයේ රාජ්‍යයක් කුඩා වීම ලොක්කන්ගේ බලහත්කාරයට සුදුසුකමක් නොවන බවය.

 

www.theleader.lk/images/2023/akd_240206.jpg

ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකාවත් මාලදිවයින ගිය ගමන් ඇරඹුවහොත් ඉන්දියානු සාගරයේ මුහුදු ගමන් පූර්ණ ලෙස චීන අධීක්ෂණයට හසුවනු ඇත. එහි දේශපාලන අර්ථය වන්නේ නව දිල්ලියට ඉන්දියානු සාගරයේ බලය අහිමි වීමය. එය වළකා ගැනීමට මාලදිවයින සමගවූ ගැටුමෙන් ඉන්දියාව පසුබා ඇතැයි පැහැදිලි වන්නේ මෝඩි ආණ්ඩුව ජ.වි.පෙ සමග සෘජු කතා බහකට පැමිණීමෙනි. ඔවුන් අතර වූ සාකච්ඡා සංවාද කිසිවක ශ්‍රී ලංකාවේ උතුරු-නැගෙනහිර පශ්චාත් යුධ තත්ත්වයත් 13 වන ව්‍යවස්ථා සංශෝධනයත් බලය බෙදීමත් සඳහන් කිරීමට හෝ ඉන්දියානු පාර්ශව ඉදිරිපත් නොවීම, ජ.වි.පෙ සමග ඉන්දියානු විරෝධය කෙළවරක් කර ගැනීමට ඔවුන්ට තිබූ අවශ්‍යතාවය පෙන්වන්නකි. දෙපාර්ශවයේම ප්‍රකාශ අනුව සියලු සාකච්ඡා ආර්ථිකය, ජාතික සංවර්ධනය, ජාතික හා කලාපීය භූ-දේශපාලනය වැනි මාතෘකා වලට සීමාවී තිබිණ. 

නව දිල්ලි ගමන අවසානයේ අනුර කුමාර සහ පිරිස ලංකාවට සැපත් වූ පසු මේ වසරේ තව මාස හත අටකින් පැමිණිය හැකි ජනාධිපතිවරණයේ වර්ණ භේද, අවුලකින් තොරව හඳුනාගත හැකිවනු ඇත. සිංහල දකුණේ ප්‍රධාන තරගකරුවන් එකම හැඩ රුව ඇත්තන් වන්නේය. කිසිවකු මෙවර ජයවර්ධනගේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නට කතා කරන්නේ නැත. කිසිවකු ජා.මූ.අරමුදල සමග ඇති ගිවිසුම අහෝසි කරන්නට කතා කරන්නේද නැත. තැනින් තැන කතා කෙරෙන්නේ එය සංශෝධනය කිරීමට සාකච්ඡා කරන බව ය. උතුරු-නැගෙනහිර ගැන කතාවක්ද කොතැනකවත් නැත.

 

රනිල් නැත්නම් අනුර අනිත් ඔක්කොම සෙවල

 

2002 සිට වසර 12 ක මෝඩිගේ ගුජරාතයේ ආර්ථික වර්ධනය සොයා බලන්නට ගිය පසු, මහ ඇමති මෝඩිගේ අනුග්‍රහය ඇතිව දියත් කෙරුණු යෝධ මුස්ලිම් ජන සංහාරයක්ද ඇතිව අඩානි වැනි සිල්ලර ජාවාරම්කාරයින් මහා යෝධ ජාවාරම්කාරයින් කළ ගුජරාතය ගැන ජ.වි.පෙ තරුණ ආර්ථික විද්‍යා විශේෂඥයින් පුරසාරම් දොඩන විට, ජ.වි.පෙ දූෂණ විරෝධය අනෙක් අයගේ දූෂණ විරෝධයම වන්නේය. එනිසා රනිල් සහ පොහොට්ටුවත් පොහොට්ටුවෙන් ඉවත් වුනු ඇතැම් දූෂිතයින් හවුල්වන සජිත්ගේ ස.ජ.බත් ඉන්දියානු ඇල්මක් ලබන්නාවූ අනුර සහ ඔහුගේ මාලිමාවත් මැතිවරණය සඳහාවන එකම ජාතියේ ලිප්ගල් තුනක් වනු ඇත. 

ඊළඟ ජනාධිපති කවුරුන් වූවත් අනතුරුව පැවැත්වෙන මැතිවරණයෙන් පත්වන පාර්ලිමේන්තුව කිසිවකුට තනි බලයක් නැති පාර්ලිමේන්තුවක් වනු ඇත. මේ වසර ඒ අනුව අලුත් අවිනිශ්තයක් ගෙනෙන වසරක් වනු ඇත.

රට බංකොලොත් කළාට නඩු දැමිය යුත්තේ පාර්ලිමේන්තුවේ 225 ටයි -(කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2024 පෙබරවාරි 09

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article