Monday, May 13, 2024

අපේ අම්මා තනි අතින් අප්පුඩි ගැහුවා

Must read

පවුලක් යනු ඒකකයකි. පවුල තුළ ස්ථානගතවීම ට හැකිවන්නේ බලයත් සමගිනි. නැතිනම් හැකියාව බලයක් වූ විටය. මාලිනී ෆොන්සේකාගේ පවුලේ සංයුතිය දෙමව්පියන් දෙනොත් සමග 13කි. දරුවන් 11කි. මේ අතරන් මාලිනී ෆොන්සේකා පවුලේ තෙවැන්නියයි. ඒ පුලේ බාලයා කෙල්ලකි. ඒ දමයන්ති ෆොන්සේකායි. දමයන්ති විවාහ ව සිටින්නේ සම්මානණීය සිනමා අධ්‍යක්‍ෂ ප‍්‍රසන්න විතානගේසමගය. දමයන්ති රංගන ශිල්පිණියක ලෙසත් වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂවරියක ලෙසත් මේ වනවිට ක්‍ෂෙත‍්‍රයේ ස්ථාවර ව සිටී. දමයන්ති නුදුරේම චිත‍්‍රපට අධක්‍්‍යෂණයටත් ප‍්‍රවිශ්ටවනු ඇත.ඇය ඇයගේම අනන්‍යතාව ගොඩ නගාගනිමින් සිටී.

“අක්කාගේ පළමු විවාහයෙන් ඇය දික්කසාද වීමෙන් කාලෙකට පස්සේ ඇය විජය සමඟ ආදර සම්බන්ධය පටන් ගන්නවා. අම්මා ඒ ගැන හුඟක් දුක් වුණා.අක්කා රංගන ශිල්පිනියක් ලෙස සාර්ථක නිසා ඇයට මුදල් තිබුණා. ඇය ගෙදරට මුදල් දුන්නා.අම්මා ඒ කිසිම දෙයක් තැකුවේ නෑ.අක්කා නිළියක්, අක්කා මුදල් දුන්නා කියන කිසිම කාරණයක් එයාට වැදගත් වුණේ නැහැ. අම්මා කෑ ගැහුවා බැන්නා. ඒ වගේම අම්මා අපි හැමෝම වෙනුවෙන් දුක් වුණු හැටිත් අපි දැක්කා”.

මාලිනී ගේ අම්මා මාලිනීගේ පේ‍්‍රම සම්බන්ධයට විරුද්ධවිය. එහෙත් මාලිනී විජය සිනමා යුගය මෙන්ම පෞද්ගලික ජීවිතය ගාලාගියේය. හැල හැප්පීම් රැුසක් මැද ගෙවී ගිය මාලිනී විජය පේ‍්‍රමය දෙදෙනාට එක වහලක් යටට යන්නට  හිමිකරදුන්නේ නැත.

අනතුරුව විජය මාලිනී යුගය නිමාවී තවත් ආදර කතා ඇතිවී නැතිවී මාලිනී ලකී ඩයස් සමග යුග දිවියට එක්විය. මාලිනී අවසානයේ ලකී ගෙන්ද වෙන්වී ස්වාධීනව ජීවත්වෙයි.

දමයන්ති සංවේදී මතෘකාවක් සම්බන්ධව මෙසේ පවසයි.
මම දෙවතාවක්ම ගැබ් ගත්තා. ඒත් මට දරුවෝ නැහැ. පළමු වතාවේ මගේ දරුවා නැති වෙලා නැවත මම ගැබ් ගත්තම අම්මා මාව ගෙන්න ගත්තා එයා ගාවට. මම මහන්සි වෙනවා කියලා මට ෂූටින් යන්න දුන්නේ නෑ. එයා ළඟට වෙලා ඉඳගෙන මාව බලාගත්තා. ඒත් මට මවු පදවිය උරුම වුණේ නැහැ. හැබැයි මවු සෙනෙහස මොකද්ද කියලා මම අම්මාගෙන් ඉගෙන ගත්තා. අදටත් මගේ ජීවිතේ පූර්වාදර්ශය මගේ අම්මා.

සම්පූර්ණ සාකච්ජාව කියවන්න.

 

අම්මා ජීවිතයට දැනුණේ කොහොමද?

පුංචි කාලේ ඉඳලම මට ජීවිතයම අම්මා තමයි. අම්මා නැතිව බෑ. නිදා ගත්තෙත් අම්මා ළඟ. අපේ පවුලේ එකොළහක්. අපි හැමෝම පැදුරු දාගෙන පේළියට නිදි යනවා. ඒ කොහොම නිදාගත්තත් මම තමයි අම්මා ළඟ හිටියේ. අම්මා, අම්මා, අම්මා හැමදේටම අම්මා. අපි කාටවත් අම්මාගෙන් තොර ලෝකයක් තිබ්බේ නෑ.

පෞද්ගලික ජීවිතය කියන තැනදී අම්මාගේ මැදිහත් වීම මොන වගේද?

අපේ ලොකු අයියා මට වඩා අවුරුදු 18ක් වැඩිමල්. මට තේරෙන වයස වෙද්දී මාලනී අක්කා රංගන ශිල්පිනියක් විදියට සෑහෙන්න කාර්යබහුලයි. එයා ඒ වෙද්දී චිත්‍රපට ගණනාවක රඟපානවා. ශි්‍රයානි අක්කා, රසාදරී අක්කා වේදිකා නාට්‍යවල. අම්මා මේ හැමකෙනෙක් එක්කම තනියට යනවා. ගෙදර වැඩත් කරනවා. මාවත් බලාගන්නවා. අපිව ආරක්‍ෂා කරන්න අම්මට පුදුම හයියක් තිබුණේ.

පුංචිම කාලෙදී ගැහැනු දරුවෙක් විදියට අම්මට උදව්වක් වුණු තැන් තියෙනවද?

අපොයි ඔව්, ගෙදර වැඩ අපිට අනිවාර්යයි. මට මුලින්ම ගෙදර බඩු පිහදාගන්න දුන්නා. ඊළඟට ගෙදර අතු ගාන්න. ඊට පස්සේ මිදුල. ඔය විදියට වයසින් වැඩෙද්දී එක එක වැඩ අලුතින් කරන්න ලැබුණා. අපි කවුරුත් වැඩ කළා. මට මතකයි මොන වැඩේ තිබුණත් අපි වෙලාවට කන්න ඕන. එදාට පිඟන් සෝදන කෙනා පිඟන් සෝදන්නම ඕන. එහෙම නීති අපේ අම්මා අපිට දාලා තිබුණා.

ඔය කියන නීති කඩකළ නිසා ඔබ අම්මාගෙන් ගුටි කාපු බැණුම් අහපු අවස්ථා තියෙනවද?

අපොයි ඔව්. ඕන තරම්. අපේ අම්මා හැමෝටම ගහනවා. මට මතකයි අපේ අම්මා වතාවක් පොඩි අයියට හොඳ වැඩක් කළා. අපි සෙල්ලම් කර කර ඉද්දී පොඩි අයියා නරක වචනයක් කිව්වා. ඔය වචනේ අම්මට ඇහුණා. අම්මා පොඩි අයියව කුස්සියේ මිරිස් ගල ගාවට ඇදගෙන ගිහිල්ලා, ඒකේ මිරිස් අඹරපුවා තිබුණෙත් නෑ. බොරුවට අත ගලේ අතුල්ලලා අරන් පොඩි අයියගේ කටේ ගෑවා. ඔය ටික ඇති අපිට හැදෙන්න. ආයේ අපි ඉතින් උඹ කියලවත් කියන්නේ නෑ.

ගැහැනියක් විදියට අම්මාගේ ශක්තිය පිළිබිඹු වුණු තැන් මොනවද?

අපේ අම්මා ඉගෙන ගෙන තිබුණේ දහය වසරට විතරයි. ඒත් අම්මා පුදුමාකාර දැනුම් සම්භාරයක් තිබුණු කෙනෙක්. අපි හැමකෙනෙක්වම බලාගත්තා. මුදල් කළමනාකරණය අතින් ඉහළයි. ඒ ගැන පුදුම හැකියාවක් තිබුණා. අපි එකවර අසනීප වුණත් අම්මා කඩා වැටුණේ නෑ. අපි සේරම අරගෙන ගෙවල් ළඟ තියෙන ඩිස්පැන්සරියට ගිහින් බෙහෙත් අරන් දුන්නා.

ඔබේ අක්කා නිළි රැජන වෙන්නේ පෞද්ගලික ජීවිතයේ හැලහැප්පීම් ගොඩක් මැද්දේ. මවක් විදියට ඔබේ අම්මා ඒවා දරාගත්තේ කොහොමද?

ඔව්, අක්කාගේ පළමු විවාහයෙන් ඇය දික්කසාද වීමෙන් කාලෙකට පස්සේ ඇය විජය සමඟ ආදර සම්බන්ධය පටන් ගන්නවා. අම්මා ඒ ගැන හුඟක් දුක් වුණා. අක්කා රංගන ශිල්පිනියක් ලෙස සාර්ථක නිසා ඇයට මුදල් තිබුණා. ඇය ගෙදරට මුදල් දුන්නා. අම්මා ඒ කිසිම දෙයක් තැකුවේ නෑ. අක්කා නිළියක්, අක්කා මුදල් දුන්නා කියන කිසිම කාරණයක් එයාට වැදගත් වුණේ නැහැ. අම්මා කෑ ගැහුවා බැන්නා. ඒ වගේම අම්මා අපි හැමෝම වෙනුවෙන් දුක් වුණු හැටිත් අපි දැක්කා.

මට ඉන්නේ අම්මා විතරයි කියලා මුලින්ම දැනුණ දවස මතකද?

ඔව්, අපි හැමෝටම ප්‍රශ්න එනවා. මම විවාහ වෙද්දී ඒ විවාහය මට ප්‍රශ්නයක් වුණා. මම කියන්නේ මම විවාහයෙන් වෙන් වුණා කියන එක නෙවෙයි. ඒ විවාහ උත්සවය ගනිද්දී ගැටලු රැසක් ආවා. නමුත් මගේ සහෝදර සහෝදරියෝ හැමෝම මාව බලාගත්තා. ඒ හැමෝම ඉද්දීත් මට ඕන වුණේ අම්මගේ ශක්තිය. ඒ වෙලාවේ අම්මා මාත් එක්ක හිටියා.

අම්මා වැඩිපුරම ආදරේ කළේ කාටද?

මම හිතන්නේ අපේ අම්මා එහෙම කාටවත් විශේෂයක් කරලා ආදරේ කළේ නැහැ. එහෙම ආදරේ විශේෂ කරලා බෑනේ. එක කාලයක් එයා ශි්‍රයානි අක්කා ළඟින්ම හිටියා. අපිත් එතකොට හිතුවේ අම්මා ශි්‍රයාණි අක්කට ආදරේ වැඩියෙන් දෙනවා කියලා. මාලනී අක්කා හිටියේ වෙනම නේ. ඔන්න මාලනී අක්කා එන දවසට එයා රස කෑම හදනවා. එතකොට අපි හිතනවා මාලනී අක්කට තමයි වැඩිය ආදරේ කියලා. ඒත් එහෙම නැහැ. අම්මා අපි හැමෝටම එක වගේ ආදරේ කළා.

ඔබ මවක් වුණේ නැතත් ඒ හැඟීම විඳි මොහොතක අම්මව මතක් වුණාද?

ඔව්, මම දෙවතාවක්ම ගැබ් ගත්තා. ඒත් මට දරුවෝ නැහැ. පළමු වතාවේ මගේ දරුවා නැති වෙලා නැවත මම ගැබ් ගත්තම අම්මා මාව ගෙන්න ගත්තා එයා ගාවට. මම මහන්සි වෙනවා කියලා මට ෂූටින් යන්න දුන්නේ නෑ. එයා ළඟට වෙලා ඉඳගෙන මාව බලාගත්තා. ඒත් මට මවු පදවිය උරුම වුණේ නැහැ. හැබැයි මවු සෙනෙහස මොකද්ද කියලා මම අම්මාගෙන් ඉගෙන ගත්තා. අදටත් මගේ ජීවිතේ පූර්වාදර්ශය මගේ අම්මා.

අම්මාගේ අවසාන කාලසීමාව ගෙවුණු විදිය මතකද?

ඔව්. අම්මා අන්තිම කාලේ හිටියේ අපේ මහ ගෙදර. තාත්තා දුන්නු සල්ලිවලින් එයා ටිකෙන් ටික මහ ගෙදර ගොඩනැඟුවා. අපි අම්මාව බලාගන්න හැදුවම එයා ඒකට ඉඩ දුන්නේ නෑ. මට හොඳට මතකයි අම්මා කිව්වා ‘කවදාවත් මහ ගස් යට පොඩි ගස් හැදෙන්නේ නෑ’ කියලා. අන්තිමට අම්මා මාව සෑහෙන්න විශ්වාස කළා.

මොන තරම් දේවල් තිබුණත් අම්මා යම් දෙයක් ගැන පසුතැවුණා කියලා හිතනවද?

මම හිතන්නේ ඔව්. මගේ තාත්තා හරිම හොඳ කෙනෙක්. එයා උපයපු වැටුපෙන් බස් ගාස්තුව තියාගෙන ඉතිරි සියල්ලම අම්මට දුන්නා. නමුත් ඒ මොන දේ කළත් තාත්තා සම්බන්ධව මගේ අම්මා තුළ හිඩැසක්, හිස් තැනක් තිබුණා. මුදල් විතරක් නෙවෙයි, තනියට ළඟ ඉඳියි කියලා අම්මා ගැහැනියක් ලෙස තාත්තාගෙන් බලාපොරොත්තු වුණා. නමුත් ඒ දේ ඇයට ලැබුණේ නෑ. මම ඒ ගැන අදටත් දුක් වෙනවා. තාත්තා ඉඳලත් මගේ අම්මා තනි අතින් අත්පුඩි ගැහුවා

හංසි ආටිගල-මව්බිම පුවත්පතෙන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article