Friday, May 17, 2024

අතුරුදහන් වූවන් “එලොව ගියාද, රට ගියාද?” අගමැති

Must read

ශ්‍රී ලංකාවේ දහස් සංඛ්‍යාත අතුරුදහන් වූවන් මරුමුවට පත්වූයේද, නැතහොත් විදේශ ගත වුයේද යන ගැටලුව අගමැතිවරයා හමුවේ මතුවී තිබේ.

අතුරුදහන් වූවන්ට සිදුවූ දේ සොයා ගන්නා තුරු නොනැගිටින බවට ශපත කරමින් වව්නියාවේ දියත් කොට ඇති මාරාන්තික උපවාසයට දවස් තුනක් පිරෙන දා අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ එම පුද්ගලයන් පිළිබඳව කිසිදු තොරතුරක් නැතැයි පොලිසිය පවසන බවයි.

“රට ගියාද එලොව ගියාද කියා, එතන තමයි කාරණය තියෙන්නේ,” යි අගමැතිවරයා 25 බදාදා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ අතුරුදහන් වූ අයට කුමක් වීදැයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා විසින් විමසන ලද අවස්ථාවේදීය.

වවුනියාව දිසාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයේ යෙදී සිටි අය අතරින් වියපත් මෑණි වරුන් දෙදෙනකුගේම ශරීර සොඛ්‍යය පිරිහී යාමෙන් අනතුරුව සිහි මුර්ඡා වූ එක් කාන්තාවක් වවුනියාව රෝහලට ඇතුල් කර තිබේ.

ඥාතීන් උද්ඝෝෂණ වල යෙදීමට පෙළඹී සිටින්නේ රජය නිසි පිළිතුරක් දීමට අසමත් වීම නිසා බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

දෙමළ ජාතික සන්ධානයේ ශිවශක්ති ආනන්දන් වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද ඊයේ දිනයේ තමන් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව සඳහන් කළ අගමැතිවරයා කියා සිටියේ අතුරුදහන් වූවන් නීත්‍යානුකුලව රට හැර ගිය බවක්ද දැන ගන්නට නැති බවයි.

අතුරුදහන් වුවන් අතරින් සොයා ගත හැකි නාම ලේඛනය ලබා දීමට පොලිස්පතිවරයා එකඟ වූ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පවසා සිටියේය.

යුද සමයේ දී අතුරුදහන් වූ පුද්ගලයන් සියලු දෙනාම මියගොස් ඇති බවට පසුගිය වසරේ තෛපොංගල් උත්සවයට සහභාගිවෙමින් අගමැති වරයා කළ ප්‍රකාශය නෑසියන්ගේ දැඩි විරෝධයට ලක්විය.

යුද සමයේත් ඉන් පසුවත් අතුරුදහන් පිරිස් අතරින් සෑහෙන කොටසක් රජය විසින් හෙළි නොකළ ස්ථාන වල රඳවාගෙන සිටින බව ඥාතීන් මෙන්ම එක්සත් ජාතීන් ඇතුළු මානව හිමිකම් සංවිධාන වල බලවත් විශ්වාසයයි.

ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ එලෙස රහසිගත වධකාගාරයක් පවත්වාගෙන යන ලද බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දෙවසරකට ඉහතදී තහවුරු කරන ලද අතර, ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය (ITJP)  විසින් ලේඛනගත කරන ලද රහස් වද කඳවුරු 48ක් පිළිබඳව ඉකුත් නොවැම්බරයේ ජිනීවා නුවරදී ශ්‍රී ලංකාවේ වධහිංසා විමර්ශනය කළ එක්සත් ජාතීන්ගේ කමිටුවට විසින් සඳහන් කරන්නට යෙදිනි.

ලංකාවේ අතුරුදහන් වීම්

අතුරුදහන් වීම් පිලිබඳ සොයා බලන එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුවට 1980 සිට ශ්‍රී ලංකාවෙන් වාර්තාවී තිබෙන නොවිසඳුණු අතුරුදහන් වීම් සංඛ්‍යාව 5750 කි.

එය දෙවැනි වන්නේ ඉරාකයට පමණයි.

නොවැම්බරයේ ශ්‍රී ලංකාවට පැමිණි එම කමිටුවේ විශේෂඥ මණ්ඩලයට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාධාරීන් වාර්තා කළ පරිදි ආගිය අතක් නොමැති පුද්ගලයන් 22,000 කට වැඩි දෙනකුගේ තොරතුරු දේශීය වශයෙන් ලේඛණ ගතවී ඇත
(උපුටා ගැනිම ගගන වෙබ් අඩවියෙනි )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article