Thursday, September 3, 2026

හක්කපටස් කා බරපතළ තුවාල ලැබූ වන අලියා මරුට: වෛද්‍යවරුන්ගෙන් අපූරු මානුෂීය මෙහෙයුමක්

Must read

​මිනිස් ක්‍රියාකාරකමක් හේතුවෙන් සකස් කරන ලද ‘හක්කපටස්’ උගුලකට හසුවී මුඛයට බරපතළ තුවාල ලබා සිටි වන අලියෙකුට වනජීවී පශු වෛද්‍යවරුන් පිරිසක් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා ප්‍රතිකාර කළද, තුවාලවල බරපතළකම හේතුවෙන් එම වන අලියා අද (31) දහවල් ජීවිතක්ෂයට පත්ව ඇත.

​ගිරාඳුරුකෝට්ටේ, මිල්ලත්තාව, බෝධිරාජ මාවතේ ප්‍රජාශාලාව ආසන්නයේ මෙම දුර්වල තත්ත්වයේ පසුවන වන අලියා රැදී සිටිනු ප්‍රදේශවාසීන් විසින් දැක මහියංගන වනඅලි පාලන ඒකකයට දැනුම් දී තිබේ. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් වනජීවී පශු වෛද්‍ය නිලධාරී වෛද්‍ය අකලංක පිණිදිය මහතා එම ස්ථානයට කැඳවා ප්‍රතිකාර කටයුතු ආරම්භ කර ඇත.

​මේ දිනවල වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් තම වෘත්තීය ගැටලු කිහිපයක් මුල් කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටියද, වන සතෙකුගේ ජීවිතය ගැටළුවක් වූ මෙම හදිසි අවස්ථාව හමුවේ ඔවුන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පසෙක තබා ඉදිරියට පැමිණීම විශේෂත්වයකි. දිවයිනම ආවරණය වන පරිදි සේවයේ නියුතු වනජීවී පශු වෛද්‍යවරුන් සංඛ්‍යාව 17 දෙනෙකු වැනි සීමිත පිරිසක් වුවද, මහජන ආරක්ෂාව සහ වනජීවී සංරක්ෂණය වෙනුවෙන් ඔවුන් අභීතව ඉටු කරන මෙම සේවය පිළිබඳව ප්‍රදේශවාසීන් මෙන්ම සමස්ත ජනතාවගේ දැඩි ප්‍රසාදය හිමිව තිබේ.

​කෙසේ වෙතත්, හක්කපටස් පිපිරීමෙන් අලියාගේ මුඛයට සිදුව තිබූ හානිය අතිශයින්ම දරුණු මට්ටමක පැවතීම නිසා, වෛද්‍යවරුන් කොතරම් උත්සාහ කළද අවාසනාවන්ත ලෙස අලියා අද දහවල් මියගොස් ඇත. මිනිසුන්ගේ අමනුෂ්‍ය ක්‍රියාකාරකම් හේතුවෙන් තවත් අහිංසක වන සතෙකුට මෙලෙස අකාලයේ ජීවිතක්ෂයට පත්වීමට සිදුවීම පිළිබඳව පරිසරවේදීන් දැඩි කණස්සල්ල පළ කර සිටිති.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article