Wednesday, November 20, 2024

තේරීම් කාරක සභාවේදී හේමසිරි සියල්ල හෙළි කරයි.

Must read

තමන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සහ පොලිස්පතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස දැන්වූ බවට මාධ්‍ය හමුවේ ජනාධිපති සිරිසේන පැවසූ නමුත් එය අමූලික බොරුවක් බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව කරුණු විමසන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.
තම ඉල්ලා අස්වීම සිදුවූයේ තමන්ම ගනුලැබූ තීරණයකට අනුව බවත් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් පැවසීය.
ඊට අදාළ තත්ත්වය හේමසිරි ප්‍රනාන්දු පැහැදිළි කළ ආකාරය මෙසේය.
ඉල්ලා අස්වෙන්න කියලා ජනාධිපති ඉල්ලුවේ නෑ !
පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව පොලිස්පති වූ පූජිත ජයසුන්දර විසින් ආරක්ෂක අමාත්‍යංශයේ එවකට ලේකම් ලෙස කටයුතු කළ  හේමසිරි ප්‍රනාන්දුට   දුරකථන ඇමතුමක් ලබාදී සඳහන් කර ඇත්තේ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීමේ වගකීම භාරගෙන තමන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති දැනුම්දුන් බවය. තමන්ට තොරතුරු ලැබුණ ප්‍රමාණය අනුව ගත හැකි උපරිම ක්‍රියා මාර්ග ගෙන ඇති බැවින් ප්‍රහාරයේ වගකීම තමන් භාරගෙන ඉල්ලා අස්විය යුත්තේ ඇයි දැයි ජනාධිපතිගෙන් විමසු බවත් පූජිත ජයසුන්දර විසින් හේමසිරි ප්‍රනාන්දුට පවසා තිබේ.
වගකීම ගන්නවා නම් තානාපතිකමක් දෙන්නම් කියලා !
“මට මේකේ වගකීම ගන්න බෑ , මම ලංකාවේ හිටියෙත් නෑ . මට මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මම ඔයාට විදෙස් රටක තානාපතිකමක් දෙන්නම්, අනිත් ප්‍රශ්නත් විසඳලා දෙන්නම්” කියා ජනාධිපති සිරිසේන තමන්ට පැවසූ බවත් පුජිත විසින්  හේමසිරි ට පවසා ඇත.
අවසානයේ පූජිත  “සර්, මම මොකක්ද කරන්නේ?” කියා හේමසිරි වෙතින් විමසා තිබේ.
එහිදී හේමසිරි පවසා ඇත්තේ තමන්ට ඊට දෙන්නට උපදෙසක් නොමැති බවත් ඒ ගැන තීරණයක් ගත යුත්තේ පූජිත බවත්ය.
ඊට පසුදින ජනාධිපතිවරයා අමතා ඇති හේමසිරි තමන්ට මිනිත්තු 15ක් ජනාධිපති සමඟ තනිව කතා කිරීමට අවශ්‍ය බව දන්වා තිබේ. අනතුරුව හේමසිරි සහ ජනාධිපති සිරිසේන හමුවී ඇති අතර ඒ වන විටත් තමන් ඉල්ලා අස්වීමට තීරණය ගෙන සිටි බවත් හේමසිරි ප්‍රනාන්දු සිය සාක්ෂියේ දී පැවසීය.
තමන් එම තීරණය ගත්තේ තමන් යටතේ සිටි පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වගකීම භාරගෙන ඉල්ලා අස්වෙනවා නම් එම දෙපාර්තමේන්තුව භාරව සිටි ලේකම්වරයා ලෙස ඔහුව පාවාදී දිගටම සිටිය නොහැකි නිසා බවත් හේමසිරි සඳහන් කළේය.
අනතුරුව ජනාධිපති හමුවූ අවස්ථාවේ “සර් පූජිත ට ඉල්ලා අස්වෙන්න කිව්වාද ?” කියා ඇසූ බවත් එහිදී ජනාධිපතිවරයා “මේකේ ඉතිං මට වගකීම ගන්න බෑනේ,” කියා ඉල්ලා අස්වන ලෙස පොලිස්පතිට දැන්වූ බව ජනාධිපති පිළිගෙන ඇත.
එහිදී “පොලිස්පති ඉල්ලා අස්වෙනවා නම් තමන්ද ඉල්ලා අස්වන බව” ජනාධිපතිට පැවසූ බවත් පොලිසියේ අඩුපාඩුවක් හේතුවෙන් මේ ප්‍රහාරය වලක්වා ගන්න නොහැකි වූවා නම් තමන් යටතේ පැවති ආයතනයක අඩුවක් බැවින් තමන්ට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස තවදුරටත් සිටිය නොහැකි බව ජනාධිපතිට පැවසූ බවද හේමසිරි පවසා තිබේ. ඒ අසා ජනාධිපති සිරිසේන සතුටු වූ බවත් ඔහු සාක්ෂි දෙමින් පැවසීය.
තමන් ජනාධිපතිගෙන් සමුගෙන එන විට ජනාධිපති සිරිසේන අමතා, අමාත්‍යංශයක ලේකම් වරයෙකුට අවම වශයෙන් දිනකට පැය භාගයක් හෝ විෂය භාර අමාත්‍යවරයා මුණගැසී විෂය සම්බන්ධව සාකච්ඡා කිරීමට අවස්ථාව දෙන ලෙසත්  නැතිනම් එහි කටයුතු සාර්ථක නොවන බවත් පවසා පැමිණි බවත් ඔහු සඳහන් කළේය.
ප්‍රහාරය ගැන දැනගෙන හිටියා !
මෙහිදී අනාවරණය වූ වැදගත් කරුණක් වන්නේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් සම්බන්ධයෙන් තමන්ට ද කල් තියා තොරතුරු ලැබී තිබුණු බව  ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු පිළිගැනීමය.
ජනාධිපතිට බුද්ධි තොරතුරු දෙන්නේ නිලන්ත !

නමුත් ඒ පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම් දීමට ක්‍රියා නොකළේ ජනාධිපතිවරයා සියලු බුද්ධි තොරතුරු සෘජුව ම ලබා ගන්නේ ජාතික  බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්තගෙන් බව තමන් දැනුවත් වී සිටි හෙයින් යැයිද ඔහු පැවසීය.

ඒ සම්බන්ධව වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් හේමසිරි සඳහන් කර සිටියේ ” මම ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වෙලා දවස් දෙකකට විතර පස්සේ ජාතික  බුද්ධි සේවය නිකුත්කර තිබූ බුද්ධි වාර්තාවක් ගැන  ජනාධිපතිට දැන්වුවා. ජනාධිපති මාතෘකාව ඇහුවා. මම මාතෘකාව කිව්වාම මට කිව්වා, ඕක ගැන මට නිලන්ත කියලා තියනවා කියලා. තවත් දවසක කියන්න යනකොටත් නිලන්ත කියලා තියෙන්නේ කිව්වා.

මම බුද්ධි අංශ ප්‍රධානියාගෙන් මේ බුද්ධි වාර්තා ජනාධිපතිවරයාට දැන්වීම ගැන ඇහුවා. එතකොට එයා කිව්වා “පහුගිය අවුරුදු හතරේම මම තමයි ජනාධිපතිව දැනුවත් කරන්නේ” කියලා.

ප්‍රහාරය දවසේ නිලන්ත පල්ලි ගණන් කරකර ඉඳලා !

මෙහිදී ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු තවත් වැදගත් අනාවරණයක් සිදුකළේය.

“ප්‍රහාරය වෙච්ච දවසේ උදේ හත හමාරත් අටත් අතර රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා (නිලන්ත) මට කතා කරල ඇහුවා ‘සර් .. කොළඹ නගරයේ ප්‍රධාන මෙතෝදිස්ත පල්ලි කීයක් තියෙනව ද?’ කියල. මං ඇහුවා, මම බුද්ධාගමේ ඇයි එහෙම අහන්නේ කියල. එතකොට කිව්වා ‘නෑ සර් දැන් ආරංචියක් ලැබිල තියෙනවා කතෝලික පල්ලිවලට නෙවෙයි පහර දෙන්න යන්නේ, මෙතෝදිස්ත පල්ලිවලට’ කියල.”

“පස්සේ මම මිතුරන් හතර පස් දෙනෙකුට කතා කරල දැනගෙන කොළඹ තියෙන මෙතෝදිස්ත පල්ලි නිලන්තට කිව්වා.” ඔහු ප්‍රකාශ කළේය.

තමන් රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්‍ෂ වෙත මෙම දුරකථන ඇමතුම උදෑසන අටට පමණ ලබා දුන් බවත් ඊට විනාඩි 15කට පමණ පසු බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ බව තමන්ට දැනගන්නට ලැබුණු බවත් ඔහු පැවසීය.

මෙම ප්‍රහාරය සිදු වීමට පෙර දිනයේ තමන් පොලිස්පතිවරයා ඇමතූ බවත් මෙවැනි ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බව ඔහුට දැනුම් දුන් බවත් මෙහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා පිළිගත්තේය.

මේ පිළිබඳව අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බවත් අවශ්‍යතාවක් මතු වුවහොත් තමන් අමතනු ඇති බවත් පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්‍ෂ තමන්ට පැවසු බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ වනවිට රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්‍ෂ විසින් ජනාධිපතිවරයා ද දැනුවත් කරනු ලැබ ඇති බවට තමන් සිතූ බවත් එය සාමාන්‍ය ක්‍රමවේදය බවත් හෙතෙම පැවසීය.

අගමැති දැනුවත් නොකළ හේතුවත් සිරිසේන !

මේ පිළිබඳව අගමැතිවරයා දැනුවත් නොකළේ මන්ද යන්න විමසු විට ඔහු කියා සිටියේ “මම ස්වාධීන ලේකම්වරයෙක් නොවෙයි. හැම දෙයකටම ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලබා ගන්න සිදු වුනා.” යනුවෙනි.

මෙහිදී තමන් “අසරණ ලේකම්වරයෙක්” බවත් ජනාධිපතිවරයාගෙන් අත්සනක් ලබා ගැනීමට පවා පැය කිහිපයක් “බලාගෙන” සිටිය යුතු බවත් මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ හේමසිරි ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

ආරක්ෂක මණ්ඩලයට පූජිත ගෙන්වන්න එපා කියලා ජනාධිපති කියලා !

ආරක්ෂක මණ්ඩල රැස්වීමට පොලිස්පති පූජිත් ජයසුන්දර කැඳවීම නතර වූයේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත බව ඔහු ප්‍රකාශ කළේය. එම තොරතුරු තමන්ට ලැබුණේ රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්‍ෂවරයාගෙන් බවත්  ඔහු පැවසීය.

මෙහිදී ආරක්ෂක කවුන්සිලය කැඳවීම සම්බන්ධවද ඔහු අදහස් දැක්වීය.

“මා ආරක්ෂක ලේකම්වරයා ලෙස වැඩ භාර ගත්තට පස්සේ ආරක්ෂක කවුන්සිලය හතර වතාවක් රැස් වෙලා තියෙනවා. මේ රැස්වීමට නියෝගය දෙන්නේ ජනාධිපති තුමා. මේ හතරටම ලැබුණේ ඉතාමත් කෙටි නියෝග. සමහර වෙලාවට උදේ කියනවා හැන්දෑවට මේක තියන්න කියලා.”

“පළමුවැනි රැස්වීමේදී ම මම ඇහුවා ජනාධිපති තුමනි ඇයි අපි මේක අගමැති තුමාට කියන්නේ නැත්තේ කියල. එතකොට කිව්වා, නෑ … නෑ .. කියන්න ඕන නැහැ. මං කියන දේ කරන්න කියලා ”

ආරක්ෂක කවුන්සිලයේ කතා වුණේ මධුෂ් ගැන විතරයි : ජාතික ආරක්ෂාව ගැන මොකුත් නෑ !

ප්‍රහාරයට පෙර පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීම් හතරේ ම ජාතික ආරක්ෂාව ගැන හෝ තවුහිද් ජමාත් සංවිධානය ගැන කතා කෙරුණු බවක් තමන්ට මතකයට නොඑන නමුත් “මාකඳුරේ මධුෂ් ගැන නම් හැමදාම කතා” කළ බව ඔහු පැවසීය.

ගමැති රනිල් කැඳවූ ආරක්ෂක කවුන්සිලයට නොගියේ ජනාධිපති යන්න එපා කියපු නිසා !

එහිදී ඔහු තවදුරටත් කියා සිටියේ, පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් පසුව අග්‍රාමාත්‍යවරයා විසින් කැඳවන ලද ආරක්ෂක කවුන්සිලයට සහභාගි නොවූයේ, ඊට සහභාගි නොවන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ දැනුම් දීමක් අනුව බවය.

(newstube.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article