Tuesday, May 14, 2024

ජනමාධ්‍ය නීති ගැන නිවේදනයක්

Must read

ව්‍යාජ පුවත් හා ජාතීන් අතර අසමගිය ඇති කරන සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ප්‍රවෘත්ති පළ කරන්නන්ට ඒරෙහිව ගෙන එන නීති විනිවිධභාවයෙන් යුතුව ඉදිරිපත් කළ යුතු බවද අදාල සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර සමාජයේ පුළුල් කතිකාවක් ඇතිකරගත යුතු බවද ජනමාධ්‍ය හා අධ්‍යාපනය සදහා වූ කේන්ද්‍රය පවසයි.

මෙම සංශෝධන සකස් කිරීමේදී සිවිල් සංවිධාන හා පුරවැසියන්ට අදහස් දැක්වීමට අවස්ථාව ලබාදිය යුතු බවද ඒ් මගින් සාධනීය ලෙස පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැාබෙන බවද නිවේදනයක් නිකුත් කරමින් ජනමාධ්‍ය හා අධ්‍යාපන සදහා වූ කේන්ද්‍රය ප්‍රකාශ කරයි.

ජනමාධ්‍ය හා අධ්‍යාපනය සදහා වූ ‌‌කේන්ද්‍රය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය ‌මෙසේය.

ව්‍යාජ පුවත්, විශේෂයෙන්ම ජාතීන් අතර අසමගිය සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ඒවා, පතුරවන පුද්ගලයන්ට දඩුවම් කිරීමට හැකිවන සේ දණ්ඩ නීති සංග‍්‍රහය සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහය සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සහ ඊට පසුව ඇතිවුනු ගැටුම්කාරී සිදුවීම් සහ ඒවා ඇතිවීමට ව්‍යාජ පුවත් සහ වෛරී ප‍්‍රකාශ වල බලපෑම සලකන විට, ජනමාධ්‍ය සහ අධ්‍යාපනය සඳහා වූ කේන්ද්‍රය ව්‍යාජ පුවත් සහ වෛරී ප‍්‍රකාශ ගැන සොයා බැලීමේ සහ දඩුවම් කිරීම අත්‍යාවශ්‍ය බව පිළිගනියි. නමුත් නිසි අධ්‍යයනයකින් හෝ සියලු පාර්ශවකරැවන් සමඟ සාකච්ඡාවකින් තොරව මෙවැනි නීති හදුන්වාදීම කුලින් ඉතා විශාල සෘණාත්මක බලපෑමක් ඇතිවිය හැකි බව අපගේ මතයයි. ඉදිරි කාලයේදී මැතිවරණ කිහිපයක්ම ඒමට නියම්ත නිසා ව්‍යාජ පුවත් සහ වෛරී ප‍්‍රකාශ වල වර්ධනයක් තිබීමට ඉඩද ඇත. ඒ වගේම හදිසියේ ගෙනෙන නීති අවභාවිතා කිරීමේ විශාල ඉඩක්ද ඇත.

වර්ථමානයේදී මෙම සංශෝධනය ගැන අප දන්නේ ඉතාම සුලු කාරණා කිහිපයකි. අසත්‍ය ප‍්‍රවෘත්ති ප‍්‍රචාර සම්බන්ධයෙන් වැරදිකරු වන පුද්ගලයෙකුට රුපියල් දස ලක්ෂයක් දක්වා වන දඩ මුදලක් නියම කිරීමට හෝ වසර 05 කට නොවැඩි සිරදඩුවමක් නියම කිරීමට හෝ එම දඩුවම් දෙකටම යටත් වන පරිදි සහ වෛරී ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වන පුද්ගලයෙකුට දඩ මුදලක් හෝ සිරදඬුවමක් නියම කල හැකි වන පරිදි පරිදි මෙම නීති සංශෝධනය කෙරෙන බව පමණක් අපි දනිමු. මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල පසු, මෙම සංශෝධන ගැන මහජනතාවට දැනගැනීමට ඉඩ විවිර වේ. නමුත් මෙම කාලය සංශෝධන ගැන නිසි අධ්‍යයනයක් කිරීමට ප්‍රමාණවත් වෙයිද? මෙම කාලය තුල මෙම සංශෝධන ගැන නිසි අවබෝධයක් මහජනතාවට ලබා ගැනීමට හැකි වෙයිද යන්න විශාල ගැටලුවකි.

තවද ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මන්ත්‍රීන් තමන් වෙත ඉදිරිපත් කරන පනත් ගැන අධ්‍යයනයක් කරන්නේද, රටට අතිශයින්ම වැදගත් කාරණා ගැන සංයත සංවාදයන් සිදු කරන බවට අපට මෑත උදාහරණ නැත. බොහෝ විට සිදුවන්නේ තම පක්ෂය දිනවීමට කටයුතු කිරීමය. යම් පනතක් අනාගතයට කොතරම් බලපෑමක් කරයිද යන්න ගැන ඔවුන්ට කිසිම උනන්දුවක් නැති බව පෙනේ. එම නිසා හදිසියේ ගෙනෙන මෙවැනි පනතකින් බොහෝ විට අසාධාරණයට ලක්විය හැක්කේ මෙවැනි පනත්වලින් ආරක්ෂා කිරීමට බලාපොරොත්තු වන අවධානමට ලක්ව ඇති ප්‍රජාවන්ය.

සියලුම ශ්‍රී ලාංකිකයන්ට ඇත්ත දැන ගැනීමට හා විවිධ පාර්ශව වෙතින් එන (රජය, ව්‍යාපාර හෝ වෙනත් පුද්ගලයන්) ව්‍යාජ පුවත් වලින් ආරක්ෂා වීමට අයිත්යක් ඇත. නමුත් ‘ඇත්ත’ ගැන අවසාන තීරණකරු කවුද? මෙම තීරණකරු රජයද? එසේ නම් මෙම නීති වලින් රජය (මෙම රජය හෝ වෙනත් ඕනෑම එකක්) මෙම බලතල තමන් විවේචනය කරන්න්න මර්ධනයට යොදා නොගනියි යන්නට ඇති සාක්ෂිය කුමක්ද?

තවද ව්‍යාජ පුවත්, උදාහරණ ලෙස වෙනත් පුද්ගලයෙක් අප වෙත එවූ පෝස්ට් එකක් හෝ පින්තූර, අපගේ දුරකතනයක තිබුනොත්, එය කාගේ වරදක් ලෙස ගැනෙයිද? එය සෑදු පුද්ගලයාද? එම සමාජ මාධ්‍ය සමාගමද? අපට සමාජ ජාලා හෝ අන්තර්ජාලයේ හුවමාරු වන දේවල් පරීක්ෂා කර ඒවා කවුරුන් මුලින් නිර්මාණය කලාදැයි කීමට හැකි තාක්ෂණය තිබේද? දැනට යම් පුද්ගලයෙක්, විශේෂයෙන්ම කාන්තාවක් සමාජ ජාලා හෝ අන්තර්ජාලය හරහා විශාල වශයෙන් අපහාසයට ලක්වෙන අවස්ථා ඇත. මේවා ගැනවත් නිසි දඩුවම් දීමේ හැකියාවක් අප සතුව නැත. මෙවන් තත්වයක් තුල සමාජ ජාලා හෝ අන්තර්ජාලයේ හුවමාරු වන දේවල් පරීක්ෂා කර ඒවා කවුරුන් මුලින් නිර්මාණය කලාදැයි කීමට අපට හැකිද?

ජනමාධ්‍යවේදය සහ අධ්‍යාපනය සඳහා වූ කේන්ද්‍රය වශයෙන් අපගේ යෝජනාව නම් මෙම යෝජිත වෙන්ස්කම් විනිවිදභාවයකින් යුතුව වහාම ජනතාවට ලබා දිය යුතු බවයි. තවද ජනතාව තුල මේ පිළිබඳව දැනුම ඇති කිරීම සහ සිවිල් සංවිධානවලට සහ ඕනෑම පුරවැසියෙකුට මේ පිලිබඳ අදහස් දැක්වීමට සහ එම අදහස් තුලින් මෙම පනත සාධනීය ලෙස වෙනස් කිරීමට ඉඩ ප්‍රස්ථා ලබා දීම, මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර සිදු කල යුතුය.
ජනමාධ්‍ය සහ අධ්‍යාපනය සඳහා වූ කේන්ද්‍රය ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයකි.

 

(newstube.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article