Wednesday, November 27, 2024

ව්‍යවස්ථා විරෝධීව විසුරුවහොත් ඇතිවියහැකි ගැටලු ?

Must read

 parliment

1. හමුදා කුමන්ත‍්‍රණයක අවදානම
ව්‍යවස්ථාවේ සදහන් ප‍්‍රතිපාදන නොසළකා හරිමින් ජනාධිපතිවරයා යම් පියවරක් ගන්නේද එය මගින් අර්ථවත් වන්නේ තමා ව්‍යවස්ථාව පිළිනොගන්නා බවත් එය හුදු ලියවිල්ලක් පමණක් ලෙස තමා සළකනු ලබන බවත්ය. එය උඩ බලාගෙන කෙළ ගසාගන්නවා වැනි වැඩකි. මන්ද ජනාධිපතිවරයාගේ තනතුර ඔහුගේ බලතල පවා ස්ථාපිත කර ඇත්තේ ව්‍යවස්ථාව හරහා වන බැවින් ඔහුම එය නොසළකා ක‍්‍රියා කිරීම සැබැවින්ම ව්‍යවස්ථා විරෝධී ලෙස කටයුතු කිරීමට පුල පුලා සිටි යම් පිරිසක් වී නම් ඔවුන්ට උඩගෙඩි දීමක් වන බැවිනි.

යම් පැහැදිලි නොවන හෙළිදරව් නොවූ හේතුවක් මත ඊයේ (07 වැනිදා) ජනාධිපතිවරයා විසින් කරන ලද කැදවීමක් අනුව ඔහු හමුවීම ත‍්‍රිවිධ හමුදාපතිවරුන් විසින් ප‍්‍රතික්ශේප කරන ලද බවට පුවතක් දක්නට ලැබුණි. ඒ අනුව ජනාධිපතිවරයා සේනාධිනායකවරයා බවට පත්කරන ව්‍යවස්ථාව ඔහු විසින්ම උල්ලංඝනය කළහොත් එහි ඇති අවධානම විස්තර කිරීමට අටුවා ටීකා අනවශ්‍ය වේ.

ඔක්තෝබර් 26 වැනිදා නාටකය පිළිබදව තවමත් බොහෝ දෙනා අසන ප‍්‍රශ්නය “ඇයි?” යන්නයි. ඇතැම් පිරිසක් මහින්ද අගමැති වීමෙන් පමණක් සැනසෙද්දී තවත් පිරිසක් රනිල් එළවීම පිළිබදව කෝපයෙන් පිපිරුණද වඩා විචක්ෂණව මෙම සිදුවීම් මාලාව දෙස බලන්නෙකුට තවමත් පෙරකී “ඇයි?” යන ප‍්‍රශ්නයට හරිහමන් පිළිගතහැකි පිළිතුරක් ලැබී නොමැති බව මාගේ හැගීමයි.

28 වැනිදා සිදුවූ මාදිලියේ නාටක හුදෙක් අහම්බයක් ලෙස හෝ ජනාධිපතිවරයා පවසන ආකාරයේ ළදරු සෙල්ලම්ගෙයි ආරවුල් වැනි හිනා යන හේතු නිසා වේදිකාගත වන්නේය යන්න මා පිළිගන්නේ නැත. සමහරවිට මෙම සමස්ථ ක‍්‍රියා කළාපයේ හිස ඇත්තේ ජනාධිපතිවරයා එවැනි ව්‍යවස්ථාව උල්ලංඝනය කරන පියවරකට පොළඹවා ඔහුගෙන් වෙනත් පිරිසක් ව්‍යවස්ථා විරෝධී ක‍්‍රමයකට බලය පැහැර ගැනීමේ කුමන්ත‍්‍රණයක වීමේ බැහැර කළ නොහැකි අවධානමක් පවතී.

2. වෙනත් යම් පිරිසකගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන අරගලයක් සාධාරණීකරණය වීම
දැනට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩු බලයට පත්කිරීම පහකිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව සිදුකළ යුතු බවට යම් අදහසක් හෝ පවතී. එසේ ව්‍යවස්ථා විරෝධී ක‍්‍රමයන්ට බලය පැහැර ගැනීමට උත්සාහ දරණ ලද 1971, 1988 මෙන්ම ඊළාම් යුද්ධය තුලදීද රටට තිබූ ප‍්‍රධාන අවියක් බවට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පත්විය.

ඒ අවස්ථා වලදී විදේශ බලවතුන් අප රටට අත පෙවුවද එකී බලපෑම් යම් සීමාවකින් මෙහාට නොපැමිණීමට හේතුවූ ප‍්‍රධාන කරුණක් වන්නේ අප රට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකට අනුව පාලනය වන ස්වෛරී රාජ්‍යයක් වන්නේය යන කරුණයි. (එසේ නොව එකළ රට පාලනය කළ ජනාධිපතිවරයාට බයේ එම රටවල් එසේ නොකළ බව හිතීම විහිලුවකි) ව්‍යවස්ථාව නොසළකා කටයුතු කිරීම පෙරකී ලෙස රාජ්‍ය බලයට අභියෝග කිරීමට බලා සිටින විමුක්තිකාමී හෝ ත‍්‍රස්තවාදී හෝ වෙනයම් මිලිටරි නොවන බලවේගයන්ට අත්තටු දීමක් වනු ඇති අතර එවැනි කුමන්ත‍්‍රණ හා අර්බුද වලට පෙර නොවූ විරූ ආකාරයට මැදිහත් වීමට බලවත් රටවල් පොළඹවන ප‍්‍රබල හේතුවක් බවට පත්වනු ඇත.

3. පුරවැසියන්ට නීතිය කෙරෙහි පවත්නා විශ්වාසය බිදවැටීම
රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන රටේ මුල් පුරවැසියා නොසළකන්නේ නම් අනෙක් වැසියන් කෙරෙහිද එය අහිතකර ආකල්පයකින් බලපානු ඇත. මා අද ෆේස්බුක් පෝස්ටුවක දුටු පරිදි “ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවත් මරණාධාර සමිතියේ ව්‍යවස්ථාව වගේ සත පහක වැඩක් නෑ. ඒකෙ මොනව තිබුණක් අපිට හිතෙන දේ අපි හිතුව. කළා” යනුවෙන් ආකල්පයක් සාමාන්‍ය ජනතාව තුල මුල් බැස ගැනීම රටක් වශයෙන් කිසිසේත් සුබදායක තත්වයක් නොවන්නේ එවැනි වාතාවරණයක් තුල අප ලී ක්වාන් යූගේ සිංගප්පූරුව දෙසට වඩා ඉඩි අමින්ගේ උගන්ඩාව වැනි රටක් දෙසට තල්ලු වීමට ඇති ඉඩකඩ වැඩි බැවිනි.

4. විදේශ රටවල් වලින් සම්බාධක පැණවීමේ අවදානම
ජනාධිපතිවරයා සහ පත්කළ අගමැතිවරයාද ඔවුන්ගේ ප‍්‍රකාශයකයින්ද කුමක් පැවසුවද ඔක්තෝබර් 26 වැනිදායින් ඇරඹි සිදුවීම් දාමය ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියත්වයට හේතු වී නොමැති බව අරුමයක් නොවේ. එය නොසළකා රටක් ලෙස කටයුතු කළ හැකියැයි ඇතැමුන් පුරසාරම් දෙඩුවද එක පෙට‍්‍රල් නැවක් සතියක් ප‍්‍රමාද වීම නිසා රටක් වශයෙන් අප ඇදවැටුණු තත්වය සිහිපත් කරන්නේ නම් රටක් වශයෙන් තනිව පැවතීම අප රටට කෙතරම් අසීරුද යන්න පැහැදිලි වනු ඇත. ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට පටහැණිව යමින් පාර්ලිමේන්තුව විසිරවුවහොත් එය ශ‍්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය නායකයෙකු විසින් රටේ උත්තරීතර නීතිය නොසළකා සිදුකළ බරපතළම සාපරාධී ක‍්‍රියාව ලෙස එය ලෝකයේ අවධානයට ලක්වනු ඇත. මෑත කාලීනව එවැනි අත්තනෝමතික ක‍්‍රියාකාරකම් වලට එළැඹි මියන්මාරය වැනි රටවලට ගෝලීය මට්ටමෙන් ලැබුණු ප‍්‍රතිචාර අපේක්ෂා කිරීමට රටක් වශයෙන් අපටද සිදුවිය හැකිය. එය ජී එස් පී ප්ලස් බදු සහනය අහිමි කිරීම යුරෝපා මත්ස්‍ය අපනයන කෝ්ටාව අහිමි කිරීම වැනි සුලු කරුණක් දක්වා ලඝු වුවහොත් එය ශ‍්‍රී ලංකාවේ වාසනාවකි. එසේ නොවී ගෝලීය මට්ටමින් සම්බාධක ලෙස සැබැවින්ම පිළිගැනෙන එක් සම්බාධකයක් හෝ හරිහැටි ශ‍්‍රි ලංකාවට පැණවුවහොත් සතියක් තුල රට ඉතියෝපියාවක් කිරීමට එය පමණක් වුවද ප‍්‍රමාණවත් වනු ඇත.

ප.ලි – ඉහත අවසාන ඡේදය ටයිප් කරමින් සිටියදී පාර්ලිමේන්තුව විසිරවීමේ ගැසට් පත‍්‍රයට ජනාධිපතිවරයා අත්සන් කළ බවට Breaking News විකාශය කරන ලදී
(නීතිඥ අථිල අතාවුදගේ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදි )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article