“සල්ලි දුන්නා නම් කාඩ් එක ඉල්ලගන්න… අපිට කොළය දෙන්න ඕනෙ!” — රජයෙන් නීත්‍යානුකූලව හඳුන්වා දුන් ඩිජිටල් රක්ෂණ සහතිකය (Digital Insurance) ෆෝන් එකෙන් *1338# ගහලා Active කියලා ඔප්පු කරද්දීත්, පොලීසියෙන් මෙහෙම කියලා දඩ කොළයක් ලිව්වොත් ඔබ මොකද කරන්නේ?🙏💪
මෑතකදී සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්වූ වීඩියෝ දර්ශනයකින් පෙන්නුම් කරන්නේ මෙරට ඩිජිටල්කරණ වැඩපිළිවෙළ සහ බිම් මට්ටමේ රාජකාරියේ නියුතු නිලධාරීන්ගේ සැබෑ ක්‍රියාකලාපය අතර පවතින බරපතළ පරස්පරයයි.
රථවාහන පරීක්ෂාවකදී තරුණයෙකු තම වාහනයේ රක්ෂණාවරණය නිල USSD කේතය වන *1338# මඟින් සක්‍රීයව (Active) පවතින බව පොලිස් නිලධාරියාට පෙන්වද්දී, “අපි සල්ලි ගත්තා නම් තමයි රක්ෂණ සමාගම මේක දුන්නේ… රජයෙන් මේක Valid කියලා තියෙද්දී තව මොනවද සර් බලන්නේ?” යනුවෙන් විමසයි. ඊට ප්‍රතිචාර දක්වන නිලධාරියා, “සල්ලි දුන්නා නම් කාඩ් එක ඉල්ලගන්න… අර මහත්තයා කිව්වෙත් කොළය දෙන්න කියලා… මෙහෙම කරන්න බැහැ” යැයි පවසමින් භෞතික ලියකියවිලි නොමැති බව පවසමින් අවසානයේ දඩ කොළයක් නිකුත් කිරීමට පියවර ගන්නා අයුරු එම වීඩියෝවේ පැහැදිලිව සටහන්ව තිබෙනවා.
නීතිමය සහ තාක්ෂණික කරුණු විමසා බැලීමේදී, රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL), රක්ෂණකරුවන්ගේ සංගමය (IASL) සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව නිල වශයෙන් ඩිජිටල් රක්ෂණ කාඩ්පත් (Digital Motor Insurance Cards) භාවිතය හඳුන්වා දුන් අතර, 2006 අංක 19 දරන විද්‍යුත් ගනුදෙනු පනතේ 3 වන වගන්තියට අනුව මුද්‍රිත ලේඛනයකට හිමි සියලු නීතිමය පිළිගැනීම් ඩිජිටල් ලේඛන සඳහාද වලංගු වනවා. එමෙන්ම රක්ෂණය පරීක්ෂා කිරීමට මහජනතාවට මෙන්ම ඕනෑම පොලිස් නිලධාරියෙකුටද තමන්ගේ ජංගම දුරකථනයෙන් *1338# ඇමතීමෙන් හෝ 1338 කෙටි පණිවිඩයක් යැවීමෙන් නොමිලේ තත්පර කිහිපයකින් නිල දත්ත පද්ධතිය හරහා සත්‍යාපනය කරගත හැකියි.
නමුත් මෙහිදී සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම සාමාන්‍ය ජනතාවද නගන ප්‍රධානතම චෝදනාව වන්නේ, රජය හෝ පොලිස් දෙපාර්තමේන්තුව මෙවැනි නව තාක්ෂණික පද්ධති හඳුන්වා දී මහජනතාව ඒ සඳහා යොමු කළද, තම ආයතනයේ බිම් මට්ටමේ රාජකාරි කරන නිලධාරීන්ව ඒ පිළිබඳව නිසි පරිදි දැනුවත් කර හෝ පුහුණු කර නොතිබීමයි.
අවසානයේ සිදුවන්නේ නීතිගරුකව කටයුතු කළ සාමාන්‍ය පුරවැසියා මහමග අසාධාරණ ලෙස රස්තියාදු වී දඩ කෑමට ලක්වීමයි.
තොරතුරු සනාථ කිරීම: රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL), 2006 අංක 19 දරන විද්‍යුත් ගනුදෙනු පනත සහ අදාළ වීඩියෝ සිදුවීමේ ප්‍රකාශිත දත්ත ඇසුරිනි.
නවීන පද්ධති සහ නීති හඳුන්වා දෙන බලධාරීන්, එම නීති තම ආයතනවල බිම් මට්ටමේ ක්ෂේත්‍ර නිලධාරීන්ව නිසි ලෙස පුහුණු කර යාවත්කාලීන කළ යුතුය..
ඔබත් වාහනයක් පදවන කෙනෙක් නම්, මෙවැනි ඩිජිටල් රක්ෂණ සහතික හෝ ලියකියවිලි සම්බන්ධයෙන් පොලීසියෙන් මෙවැනි අත්දැකීමකට මුහුණ දී තිබෙනවාද?
(ජානුවා පිටුවෙනි)

