Sunday, December 22, 2024

මුලතිව් මුහුදෙන් හමුවූ රොහින්ග්‍යා අනාථයන් අතරමගදී ආපසු හරවා යවයි

Must read

( 2.00 pm ) මුලතිව් මුහුදු තීරයේදී දෙමළ ධීවරයන් විසින් ගලවාගන්නා ලද රොහින්ග්‍යා යුද අනාථයන් පිළිබඳව නිසි සම්බන්ධීකරණයකින් කටයුතු කෙරෙන බවක් පෙනෙන්නට නැති නිසා දෙසතියකට වැඩි කලක් බියජනක මුහුදු ගමනක යෙදුනු සියයකට අධික පිරිසක් ශ්‍රී ලංකා භූමියේදී අවිනිශ්චිත භාවයකට පත්ව සිටිති.
ඒ බව වඩාත් ඉස්මතු වූයේ අධිකරණ තීන්දුවක් අනුව පොලිසිය විසින් සෙනසුරාදා (21) ත්‍රිකුණාමලයේ සිට මිරිහානට ගෙන එමින් සිටි සියයකට අධික පිරිස බලධාරීන් විසින් හබරනදී ආපසු හරවා යැවීමෙනි. ඔවුන් දැන් නැවත රඳවා සිටින්නේ ත්‍රිකුණාමලයේ මුස්ලිම් පාසලකය.

රජය පවසන පරිදි දරුවන් සහ කාන්තාවන් ඇතුළු එම පිරිසට කාර්ය සම්පාදනය සඳහා තවත් කල් වෙලා අවශ්‍යය.

බ්‍රහස්පතින්දා (19) පාන්දර ධීවරයන්ගේ ඇස ගැසී බේරා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදාව ඔවුන් පැමිණි ධීවර යාත්‍රාවෙන්ම ත්‍රිකුණාමල වරායට ගෙන ගොස් රඳවා තිබුනේ තාවකාලික කූඩාරමකය.

එදින ආහාර පානාදිය සපයා තිබුනේ ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයක් වන අහම් (AHAM) මානුෂීය සම්පත් මධ්‍යස්ථානය විසිනි.

පසුදින අධිකරණය හමුවට පමුණුවන ලද 115 දෙනා අතරින් යාත්‍රාව පැදවූ බවට සැක කෙරෙන 11 දෙනකු සති දෙකකට රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අර්ජුන් අරියරත්නම් සෙස්සන් මිරිහාන විදේශීය සංක්‍රමණික මධ්‍යස්ථානයේ රඳවා තබන ලෙස නියෝග කර තිබුණි.

තමන් සමග මුහුදුබට දරුවන් සිව් දෙනකු ඇතුළු හයක් අතරමගදී මියැදුණු හෙයින් මහ සයුරේ දමා එන්නට සිදුවූ බව අනාථ පිරිස බලධාරීන්ට පවසා තිබේ.

 

උසාවි තීන්දුව අනුව රොහින්ග්‍යාවරුන් පිරිස සෙනසුරාදා (21) පොලිස් බස් රියකින් මිරිහාන බලා ගෙනයමින් සිටියදී හබරණින් ආපසු හරවා එවන ලදී. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් පරිදි මිරිහානට ගෙනයාම කල්දමන ලද බව නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසයි. ඒ සඳහා අධිකරණ නියෝගයක් ලබාගත්තේද යන්න පැහැදිලි නැත. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඇත්තේ පොලිසියද ඇතුලත් මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේය.

 

සරණාගතයන් හරවා යැවීම ගැන දෙමළ මාධ්‍යවේදියකු විසින් කරන ලද විමසීමකට සමාජ මාධ්‍ය ඔස්සේ දෙමළෙන් පිළිතුරු දෙමින් ත්‍රිකුණාමලය නියෝජනය කරන අරුන් හේමචන්ද්‍ර නියෝජ්‍ය ඇමතිවරයා පවසා තිබුනේ නීතිමය විමර්ශන සහ නවාතැන් පහසුකම් පිළිබඳ කටයුතු නිමා කොට දෙදිනකින් පමණ ඔවුන් භාරගනු ඇති බවයි.

කෙසේ නමුත්, දෙදිනකට පෙර ඔහු මෙන්ම විදේශ අමාත්‍යවරයා ද මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ මාධ්‍යවේදීන්ට සහතික වී තිබුනේ සියලු කාර්ය සම්පාදනය කර ඇති බවටයි.

“ජාත්‍යන්තර ප්‍රඥප්ති අනුව අපි ඔවුන්ට සලකනවා. බෙහෙත් ආහාර ඇතුළු සියලු පහසුකම් අපි ඔවුන්ට ලබාදෙනවා,” යි අමාත්‍ය විජිත හේරත් දෙසැම්බර් 20 වැනිදා කැබිනට් මාධ්‍ය හමුවේදී කියා තිබුණි.

ඔහුගේ නියෝජ්‍යයා ප්‍රකාශ කර තිබු පරිදි එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එම කටයුත්තේ දී ආණ්ඩුව හා එක්ව කටයුතු කරයි.

”මේ අවස්ථාවේ ආරක්ෂක අංශ, සෞඛ්‍ය සේවාව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, වරාය අධිකාරිය, විදේශ කටයුතු අමාත්‍යාංශ්‍ය වගේම එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය UNHCR එක එක්කත් සම්බන්ධ වෙමින් ජාතික සහ ජාත්‍යන්තර නීතියට අනුව ක්‍රියාත්මක වෙනවා,” යි අරුන් හේමචන්ද්‍ර මාධ්‍යයට පවසා තිබුණි.

 

කෙසේ වෙතත්, රජය හෝ කිසිදු රාජ්‍ය ආයතනයක් හෝ මෙන්ම සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයත්, ශ්‍රී ලංකා භූමියට අලුතින් ගොඩබට රොහින්ග්‍යා යුද අනාථයන් සම්බන්ධ නිළ නිවේදනයක් නිකුත් කළ බවක් දැනගන්නට නැත.

 

මියන්මාර යුද්ධයෙන් දිවි බේරාගෙන ශ්‍රී ලංකාවට ගොඩබට රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට මීට ඉහතදී පහර කෑමට සිදුවූ අවස්ථා තිබේ. ළමුන් 16 දෙනකු හා කාන්තාවන් 7ක් ඇතුළු රොහින්ග්‍යා අනාථයන් 31 දෙනකු ගල්කිස්සේ රඳවා සිටි එක්සත් ජාතීන්ගේ නිවහනකට බෞද්ධ භික්ෂුන් ප්‍රමුඛ සිංහල අන්තවාදීන් පිරිසක් 2017 දී ගල්මුල් වලින් පහර දුන්නේ පොලිසිය බලා සිටියදීය. එයින් ඇතැමකු නැගෙනහිර හා කන්ද උඩරට ගිනි ලෑ මුස්ලිම් විරෝධී ප්‍රහාරවලට නායකත්වය දෙනු දක්නට ලැබුණි.

ඒ ප්‍රහාරකයන් කිසිවකුටත් එරෙහිව නීති මගින් පියවර ගන්නා ලද බවක් දැනගන්නට නැත.

theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article