Thursday, November 21, 2024

පළුදු හදවත් යළි අමුණන ආදරයේ කොරටුව

Must read

 

“ඉර පායා තියෙද්දි විතරක් නෙවෙයි, තිත්ත කළුවරේ දී පවා දුවපියව් කියන හඬ, ෂෙල් ,මෝටාර් හඬ ඇහුණු ගමන් අපිට මොකද වෙන්න යන්නේ කියලා හිතන්නවත් වෙලාවක් නැහැ,කැලෑවලට, බංකරවලට රිංගාගන්නවා. එළිවෙනකං මදුරුවෝ තල තල නිදිවරනවා. වෙඩි හඬවල් නැවතුනාම නැත්නම් ඉර මෝදු වේගෙන එනකොට බයෙන් බයෙන් ආපහු ගෙවල්වලට පා ඔසවනවා. සමහර වෙලාවට අපි ආපහු ගෙදරට එනකොට, දාලාගිය ගේ ද මේ කියලා අපටම කියැවෙනවා. අපේ ම නොවන කෙනෙක් ව දකිද්දිත් වෙව්ලා ගිය අපි දැන් සතුට, සමාදානය, සස්ශ්‍රීකත්වය ආදරය සමග ප්‍රීතියෙන් ජීවත්වෙනවා.”

මේ, නැගෙනහිර පළාතේ මඩකළපුව දිස්ත්‍රික්කයේ අය්යන්කර්නි ග්‍රාමනිළධාරී කොට්ඨාශයේ දෙපසක ජීවත්වන දෙමළ, මුස්ලිම් පුරවැසියන් කිහිප දෙනෙකුගේ මුවින් පිටවුණු බරසාර කියමන් ය. යුද්ධය අවසාන වී වසර 15ක් නිමා වී ඇති බැවින්, ඇතැමෙකුට මේ කියමන් නිකම්ම නිකං හරසුන් වදන් විය හැක. එහෙත් “යුධ සමයත් පසු කාලයත්” සමීපව නිරීක්‍ෂණය කරන්නෙකුට එහි “සැබෑව” මනාව වැටහෙනු ඇත.

යුද්ධය බෙදුම් රේඛාවක් වීම  

වසර 30ක් තුළ යුද්ධය, භේදයකින් තොරව රට තුළ සමස්ත ජීවිත සහ දේපල පිළිබඳව තීරණය කළ අතර විශේෂයෙන් ම එය උතුරු නැගෙනහිර දී තිව්ර විය. දෙමළ ජනයා ප්‍රමුඛව සිංහල, මුස්ලිම් ජනකොටස් අතර පැවති විශ්වාසය, හොඳ හිත පලුදුව ඔවුන් අතර සුහදතාවය හා ගනුදෙණු ද බිඳවැටුණි. මඩකළපුව අය්යන්කර්නි ප්‍රදේශය ඊට යස උදාහරණයකි.

“එදා සිංහල, දෙමළ, මුස්ලිම් අපි සියලුම දෙනා සමාදානෙන් ජීවත් වුණා. එකම මාර්කට් එකේ අපි හැමෝම බිස්නස් කළා. ගනුදෙණු කළා. උත්සව පැවැත්වුවා, හින්දු අපේ උත්සව වලට මුස්ලිම් අය ආවා. අපි ගියා රාමසාන් උත්සවවලට, කෑම බීම හුවමාරු කරගත්තා. ආදරයෙන් අපි ජීවත් වුණා. හැබැයි ඒ යුද්දෙට කලින්”යැයි අය්යන්කර්නි ග්‍රාමයේ දෙමළ වැඩිහිටියෙකු වූ මුත්තුමාරි කීවේය.

වසය අවුරුදු 10 සිට යුද්ධය සිය අත්දැකීම වූ සැමියා අහිමි එක් දරු මවක් වන ජෝශප් මයුරා කියා සිටියේ “වෙඩි හඬ, බෝම්බ හඬ මට හොඳටම හුරුයි. මට මතකයි එදා අපේ අම්මලා අතට හසුවන දේවල් අරගෙන, අපිවත් ඇදගෙන ස්කෝලවලට, කඳවුරුවලට දිව්වා. ඩෙඩි හඬ, බෝම්බ පිපිරෙන හඬ ඇහෙනකොට අපිට බය හිතුනා” යනුවෙනි.

මේ අතර, දෙපැත්තෙම ඇතැම් පුද්ගලයින් ආරක්‍ෂක අංශවල ඇතැම් නිළධාරීන් සමග එකතුවී කේලාම් කියමින් එකිනෙකාට කරදර කරන්නට ද ගම්වලට පැන ගෙවල් දොරවලට හානි කරන්නට ද නිවාස ඉඩම් අල්ලගන්නට ද සත්තු හොරකම් කරන්නට ද මරාදමන්නට ද පා ඔසවා ඇත.

මෙවැනි පසුබිමක ද,ී සමස්ත යුද්ධය විසින් අය්යන්කර්නි ග්‍රාමයේ පමණක් ගැහැණු, පිරිමි, තරුණ, වැඩිහිටි 198 දෙනෙකුගේ ජීවිත පිළිබඳව ඉතාම අකාරුණීක තීන්දු ගෙන ඇති අතර ඔවුන් අතුරුදහන් ද ජීවතුන් අතර සිටිත් ද යන්න පිළිබඳව නිශ්චිතයක් නැති බව ඔව්හු ප්‍රකාශ කළහ. ඉන් 145 දෙනෙකුම විශ්වවිද්‍යාල සිසුන්, උසස් අධ්‍යාපනය හැදෑරු සහ උසස් රැකියාවල නිරතවූ තරුණ තරුණියන් වුහ. රජයේ හමුදාවන් සහ දෙමළ සටන්කරුවන් අතර ඇතිවුණු ගැටුම් වලදී තුවාල ලබා තවමත් ඔත්පලව සිටින කාන්තා පිරිමි කිහිප දෙනෙකු ද ජීවත්වන බවත්, ඔවුන් කිසිවෙකුටත් සටන් කළ පාර්ශවයන්ගෙන් හෝ ආණ්ඩුවෙන් හෝ කිසිඳු සහනයක් නොලැබූණු බවත් ඔව්හූ ප්‍රකාශ කළහ.

යුද්ධයෙන් තිළිණ වු අසරණකම  

යුද්ධය, විරුද්ධවාදීන් සහ එහි ක්‍රියාදාමය පරාජය කළ ජයග්‍රහණයක් වූ අතර, පුරවැසි ජීවිත ජයග්‍රහණයක් නොවුණි. යුද්ධය ඉතිරිකර තැබුවේ රිඳුණු, තැලුණු සිත් සහ ඉමක් කොනක් නැති ජීවිත සහ දේපල හානි සහිත පාඩූවේ දේශයකි.

එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවලට අනුව, 2009 මැයි 18 වනදා අවසන්කළ ශ්‍රී ලංකාවේ දිගුකාලීන සන්නද්ධ ගැටුමේ “අවසාන මාසවල දී” 40,000 ත් 70,000ත් අතර උතුරු නැගෙනහිර සිවිල් වැසියන් මියගිය අතර, තවත් 150,000 ක් පමණ වැසියන් 30 වසරක් පුරා ඇදුණු ම්ලේච්ඡ කුරිරුකම්වලින් ජීවිතයට සමූදී ඇත. එමෙන්ම,ගැහැණු පිරිමි භේදයකින් තොරව 65,000 ක් පමණ දෙනා අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාවලට එක්වන අතර, යාවත්කාලින නොවන, 2020 වසරේ දී ගණනය කළ උතුරු නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාල දත්තවලට අනුව නැගෙනහිර ගෘහමූලික කාන්තාවන් 127,000 ක් ද වෙති. ඉන් 51,000 ගෘහමූලික කාන්තාවෝ මඩකළපුව දිස්ත්‍රික්කයේ පමණක් ජීවත් වෙති. යුද්ධයකට මුහුණදීම තුළ ගෘහමූලික කාන්තාවන් බවට පත්වූවන් හට තිරසර අත්වැලක් නොමැතිව, ජීවත් වීම ඉතාම බැරෑරුම් කර්තව්‍යකි.

අය්යන්කර්නි ප්‍රදේශයේ දී, දෙමළ මුස්ලිම් සාමාන්‍ය ජනතාව යුද්ධයෙන් පසුව ඉතා බියෙන් පසුවුණු අතර, දෙමළ මිනිසුන් මුස්ලිම් පළාතට ඇතුලුවීමත්, මුස්ලිම් මිනිසුන් දෙමළ පළාතට ඇතුලුවීමත් සපුරා තහනම්ව තිබී ඇත. දෙපාර්ශවයේම තාරුණ්‍යයේ මූලිකත්වයෙන් එසේ සිදුව ඇති අතර “මෙම තත්ත්වය සාමාන්‍ය මිනිසුන්ට දැඩිව බලාපාන්නට වූ බවත් ඒ විරසකය උත්සන්නව දෙපාර්ශවය අතරේ ආදරය විනාශවී වෛරය ඉතිරිවු බවත්” අය්යන්කර්නි, භාරතීපුරම් ප්‍රදේශයේ ජීවත්වන 38 හැවිරිදි ඝනේෂමූර්තී මෛධිලීගේ ප්‍රකාශයයි.

යළි නැගිටින්නට ලැබුණු අත්වැල

යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකා රජය, විදේශ රාජ්‍යයන්ගේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක ආහාර වැඩසටහන සහ ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය ප්‍රමුඛ මානූෂීය සහනාධාර ලබාදෙන විදේශීය රාජ්‍ය නොවන සංවිධානවල ද සහය ලබාගනිමින් “නැවත පදිංචිකරවීම, පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණය”යන ප්‍රධාන තේමා යටතේ, විවිධ  නම්වලින් හැඳින් වූ විවිධ ව්‍යාපෘති, වැඩසටහන් හරහා උතුරේ සහ නැගෙනහිර අවතැන් කඳවුරුවල ද වෙනත් ස්ථානවල ද ජීවත් වූ වින්දිතයින් වෙත සහන ලබාදුණී.

මඩකළපුව දිස්ත්‍රික්කයේ අය්යන්කර්නි ග්‍රාමයේ ජීවත්වන මුස්ලිම් සහ දෙමළ, තරුණ වැඩිහිටි ගැහැණු සහ පිරිමි පුද්ගලයින් 35 දෙනෙකු සමග පැවති සංවාධවලදී, යුද්දයෙන් විපතට පත්වූ බොහෝ දෙනෙකුට සමෘධි ආධාරය සහ පුරුෂයා අහිමි කාන්තාවන් හට යම්කිසි මුල්‍යාධාරයක් ලැබෙන නමුත් එය වර්තමාන ජීවන වියදමට සාපේක්‍ෂව ප්‍රමාණවත් නොමැති බව කීවේය. වසංගතයක්, ආපදාවක් වැනි විශේෂිත අවස්ථාවකදී ලබාදෙන සහනාධාර හැරුණු කොට වර්තමානයේදී රජයෙන් අත්වැලක් නොලැබෙන බව ද කීවේය.

ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ, සාමය හා තිරසර සංවර්ධනය සඳහා වූ ජනතා සංවාධය වැඩසටහනේ හිටපු ජාතික සම්භන්ධීකාරක ඇන්තනී ජේසුදාසන් පැහැදිළි කළ ආකාරයට, “මගේ අත්දැකීමට අනුව, යුද්ධයෙන් පස්සේ උතුරු – නැගෙනහිර පළාත්වල සංහිඳියාව ඇතිකරන්න ම කියන සෘජු අපේක්‍ෂාවෙන් කවුරුත් උදව් කළේ නැහැ. ඒ අවස්ථාවේ හැටියට තම තමන්ගේ ව්‍යාපෘති හරහා යුද්ධයෙන් විපතට පත්වෙච්ච ජනතාව වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කළා. ඒවා දීර්ඝකාලීන ඉලක්කයන් වුණේ නැහැ. නමුත් අවස්ථානුකූලව පීඩාවට පත්වෙච්ච සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාගේ ආර්ථීක අවශ්‍යතාවයන් පිරිමැසුනා ඒ වගේ ම යම්කිසි තාවකාලික ශක්තියක් සැනසීමක් ඒ අයට ලැබුණා” යැයි සඳහන් කළේය.

“සංහිඳියාව ගොඩනැගිය යුතුයි, ඔවුන්ගේ ජීවිත නගා සිටුවිය යුතුයි, එකතුවී වැඩකළ යුතුයි” මැයෙන් සාකච්ඡාවන් සිදුවුණා, නමුත් තිරසර ලෙසට දිගුකාලීන ඉලක්කයන් සේ සැබෑ සංහිඳියාවක් ගොඩනැගීම සඳහා වැඩසටහන් දියත්වුයේ නැහැ. දැනටත් දකුණෙන් ගිය සංවිධාන උතුරු නැගෙනහිර පළාත්වල විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. නමුත් උතුරු නැගෙනහිර ජනතාව සැබෑවටම ඉල්ලා සිටින සංහිඳියාව සඳහා ඒ වැඩසටහන්වල අවකාශයක් නැති බව නිරීක්‍ෂණය වෙනවා.” යැයි ඔහු වැඩිදුරටත් පැහැදිළි කළේය.

යුද්ධයෙන් විපතට පත්වූවන් මේවන විට දී යම්කිසි මට්ටමක ජීවත්වන බැවින් , ඔවුන් වෙනුවෙන් නව වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක නොවන බව රජයේ පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ අමාතා්‍යංශය සහ කෘෂිකර්ම අමාත්‍යංශය යනාදියෙන් විමසා සිටියදී ප්‍රකාශ විය.

රාජ්‍ය නොවන සංවිධාන, ආගමීක ආයතන වලින්  ලබාදූන් සහ දැනටත් ඉඳහිට හෝ ලබාදෙන ආර්ථීක අතදීමකින් හිස ඔසවාගෙන ජීවත්වන අතර පැවති හෝ පවතින ආණ්ඩුවකින් නිසි ආකාරයේ ආර්ථීක ශක්තියක් හෝ අධ්‍යාපනය හදාරණ දරුවන් වෙත අනාගතයට ශක්තියක් වන තිරසර වැඩපිළිවෙලක් ඔවුන් වෙත ලඟා නොවූ බව ඔවිහු ප්‍රකාශ කළහ.

භාරතීපුරම් හී ජීවත්වන උදය රජිධිකාට අනුව, යුද්ධයෙන් බොහෝ කාලයකට පසුව අය්යන්කර්නි ග්‍රාමයේ දෙපාර්ශවය අතර යම්කිසි අවබෝධයක් ගොඩනැගෙන්නට විය. එම ධනාත්මක ආරම්භය, රාජ්‍ය හා රාජ්‍ය නොවන විවිධ සංවිධාන විසින් සිදුකරන්නට වූ වැඩසටහන් හරහා සිදුවිය.

“ඒ සියලු වැඩසටහන් අතරින් මඩකළපුව කරිටාස් ආයතනය විසින් මෑතකදී ඉදිරිපත් කළ ව්‍යාපෘතියක් මගින් තමයි අපට නැවත ගොඩනැගෙන්නට ලොකු මගපෙන්වීමක් ලැබුණේ. දෙමළ මුස්ලිම් අපට යුද්ධයේ දී ඇතිවූණු තුවාල බොහෝමයක් සුවපත්කර ගන්නට ඒ වැඩසටහන් තුළ තිබූ ක්‍රියාකාරකම් හා ගෙවතුවගා ව්‍යාපෘතිය අපට ඉතා හොඳ අත්වැලක් වුණා.”යැයි ඇය කීවේ මහත් සතුටිණි.

බිඳුණූ ජීවිත විවිධත්වය තුළ නැවත ගොඩනැගෙමින්

අය්යන්කර්නි දෙමළ ගම්මානයේ ඥාණප්‍රගාසම් විජයා අදහස් දක්වමින්, කරිටාස් ආයාතනයේ අනුග්‍රහයෙන් මේ වසරේ ජනවාරි මාසයේ දී හඳුන්වා දුන් කාබනීක ගෙවතුවගා ව්‍යාපෘතිය අය්යන්කර්නි ග්‍රාමයේ මිනිස් ජීවිතවලට නව උදාවක් ඇතිකරමින් සිටින බව ප්‍රකාශ කළේය.

“අපි කණ්ඩායමක් වශයෙන් කාබනීක ගෙවතු වගාවේ නිරතවෙලා සිටිනවා වගේම ඒ එළවළු පළතුරු නිසා පවුල්වල සැවොම සෞඛ්‍යසම්පන්න ජීවිත ගතකරනවා. අපේ පාරිභෝජනය වගේම අවට ගම්වල අයටත් අඩු මිළකට අපි කාබනීක එළවළු පළතුරු අලෙවි කරනවා, ඒ නිසා අපට දැන් මූල්‍යමය ඉතිරියකුත් තිබෙනවා” යැයි විජයා කීවේය.

එළවළු පළතුරු මිළ අහස උසට නැග, රට තුළ ආහාර අර්බුදයක් පවතින විට දී, සිය ග්‍රාමයේ ජීවත්වන මුස්ලිම් හා දෙමළ ජනතාවට ඒ අර්බුදය ජයගන්නට මඩකළපුව කරිටාස් ආයතනයේ දෑත් දිගුකිරීම, ආර්ථීක අර්බුදය පමණක් නොව විරසකව තිබූ සිත් ද ජයගන්නට පාලමක් වූ බව ඇය සතුටින් ප්‍රකාශ කළේය.

අය්යන්කර්නි ග්‍රාමයේ දෙමළ සහ මුස්ලිම් ජනතාව පදිංචි වී සිටින රටාවට අනුව, ප්‍රදේශ දෙකක් වශයෙන් හඳුන්වා දුන්න ද, කරිටාස් ආයතනය හා සම්බන්ධ මුස්ලිම් ප්‍රදේශයේ පවුල් 31 ක් සහ දෙමළ ප්‍රදේශයේ පවුල් 26 ක්ද සෘජුවම සහ තවත් පවුල් ගණනාවක් වක්‍ර ආකාරයෙන් ද මෙකි කාබනීක ගෙවතු වගා ව්‍යාපෘතිය මගින් මහඟු ප්‍රතිලාභ ලබමින් සිටින බව මඩකළපුව කරිටාස් – මානව සහ ආර්ථීක සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂක ගරු සැම්සන් ජයනික්ෂන් පියතුමා පැවසීය.

“මේ කාන්තාවන් සිය නිවෙස්වල කාබනීක ගෙවතු වගාව කරනවාට අමතරව, මුස්ලිම්, දෙමළ දෙපාර්ශවය ම එකතුව පොදු ගොවිපල 04ක් ද පවත්වාගෙන යනවා. ගොවිපලේ සියලු ම වැඩ බෙදාගෙන, දින, වෙලාවල් වෙන්කරගෙන ගොවිපලේ වර්ධනයට ඔවුන්ගේ දායකත්වය නොමසුරුව ලබාදෙනවා, මොකද, මේ ගොවිපලවල් ඔවුන්ගේ,ලබන ආදයම සමව බෙදීයන ක්‍රමයක් සකස්කර තිබෙනවා’”යැයි පියතුමා කීවේය.

“මේ ව්‍යාපෘති හරහා යුද්ධයේදී ඔවුන්ට අහිමිවුණු ධනය, වටිනාකම්, සංස්කෘතිය, ඔවුන් ගතකළ ජීවිතය නැවත ලබමින් සිටිනවා. ඒ ගැන මට සතුටුයි. මොකද, මිනිසුන් සුවපත් කිරීම සහ ඔවුන් අතර සංහිඳියාව ගොඩනැගීම ආගම්වල හරපද්ධතියයි.”යනුවෙන් ද ගරු පියතුමා ප්‍රකාශ කළේය.

අය්යන්කර්නි ග්‍රාමය තුළ, කාන්තාවන් ඒකරාශී වී සිදුකරන මෙම කාබනීක වගාව සහ අලෙවි කිරීමේ කාර්යය අගයකළ, ග්‍රාමීය සාම කමිටුවේ නිළධාරී එන්. කමල්, තම ග්‍රාමයේ ජනතාවගේ සමාදානය යළි ස්ථාපිත කිරීම මෙන්ම ආහාර අර්බුදයක් පවතින විට, ශක්තිමත් ආර්ථීකයක් පවත්වාගෙන යාමට ද දියත්වන මෙම මහඟු දායකත්වය පිළිබඳව ප්‍රශංසා කළේ, මෙම සුවිශේෂනීය සද්කාර්යය, මඩකළපුවේ ඉතිරි ගම්වල ද පිහිටුවීම යෝග්‍යය බවට ඉඟි කරමිනි.

කාබනීක වගාව තුළින් බිඳුණු සිත් යාකිරීමට මෙවැනි පියවරක් ගැනීම කෙතරම් සුවිශේෂනීය දායකත්වයක් ද යන්න එරාවුර් අල් මද්ද්‍රසාවුල් මුහමධියා හී අධ්‍යක්‍ෂක කේ.එම්.එම්.කබීර් මවුලවී තුමා පැහැදිළිව ප්‍රකාශ කළේය.

“වස විසෙන් තොර කාබනීක ආහාර භාවිතය පිළිබඳව ශුද්ධවූ කුරානයේ පවා සඳහන්කර තිබෙනවා. මුස්ලිම් ජාතිකයින් පමණක් නෙවෙයි, සියලුම මිනිසුන් රෝගී නොවී යහපත් සෞඛ්‍යයක් පවත්වා ගැනීම සඳහා වස විස නැති කාබනීක ආහාර පාරීභෝජනය කළ යුතු බව නබී නායක මොහොම්මද් තුමා පැහැදිළිව ප්‍රකාශකර තිබෙනවා.”යැයි කබීර් මවුලවී තුමා කීවේය.

ආර්ථීක ප්‍රතිලාභ, ප්‍රජා වෙළෙඳපල සහ සංහිඳියාව දිනා ගැනීම

ප්‍රාදේශීය මුස්ලිම් සහ දෙමළ ප්‍රජාව අතර වර්ථමානයේ දී ගොඩනැගී ඇති එකමුතුකම සහ අවබෝධය ගැන සිය ප්‍රසාදය පලකළ, එරාවුර් ප්‍රදේශයේ පුන්‍යාරාමයේ විහාරාධිපති, දඹගල්ලේ වනරතන හිමි, ජීවිත පැවැත්මට අතීශ්‍ය අත්වැලක් වන කාබනීක ගෙවතුවගාව වැනි යහපත් කර්තව්‍යයක් හරහා දෙපාර්ශවය එකමුතු කිරීම සම්බන්ධයෙන් කරිටාස් ආයතනයට ස්තූතිය පුද කළේය.

“පෙණුමෙන් ලස්සණ වුනත් මෙච්චර කාලයක් අපි විස තමයි අනුභව කරලා තියෙන්නෙ. ඒවා කාලා අපිත්, දරුවොත් ලෙඩ වුණා. නමුත් අපිට හඳුන්වා දුන්න කාබනීක ගොවිතැන නිසා දැන් අපි හැමෝම වස විස නැති නැවුම් එළවළු, පළතුරු අනුභව කරනවා. විශේෂ ම දේ තමයි, අපියි දෙමළ කට්ටියයි අතර විශාල සම්බන්ධතාවයක්, එකමුතුකමක් ගොඩනැගුණා, ඒ ගැන හරිම සතුටුයි.” සතුටේ ඒ ප්‍රකාශය මඩකළපුව අය්යන්කර්නි මුස්ලිම් ප්‍රදේශයේ ජිවත්වන කරිටාස් කාබනීක ගෙවතු වගාවේ ප්‍රතිලාභ ලබන සුල්ෆිකා සහ මර්ෂුකා යන මුස්ලිම් කාන්තාවන්ගේ ය.


සුල්ෆිකා සහ මර්ෂුකා මෙන් ම අය්යන්කර්නි මුස්ලිම් ප්‍රදේශයේ ජිවත්වන මුස්ලිම් පවුල් 31ක කාන්තාවෝ මහත් ප්‍රීතියෙන් යුතුව, බෝංචි, වම්බටු, මෑ කරල්, වැටකොළු, බණ්ඩක්කා, මුරුංගා, පලා වර්ග සහ රටකජු යන නැවුම් එළවළු වර්ග සහිත සිය අස්වැන්න පළමු වතාවට ජුනි මස 29 වෙනි දා විවෘතකළ “ප්‍රජා වෙළෙඳපල” හී තැබූවේ තවත් ජයග්‍රහණයක් හිමිකර ගනිමිනි. තවදුරටත් ඔවුන්ගේ ගෙවතුවගාවට අවැසි පොහොර, බීජ සහ වගා උපකරණ ද මෙදින දී ඔවුන් සතුවූහ.

මෙකී වගා ව්‍යාපෘතිය, සාමාජීය, ආර්ථීක, අධ්‍යාත්මීක වශයෙන් ඔවුන්ගේ ජීවිතවල සැබෑ වර්ධනයක්, සතුටක්, සමාදානයක් ගොඩනැගීමට සමත්වූ බව අය්යන්කර්නි මුස්ලිම් ප්‍රදේශයේ සුල්ෆිකා, හම්ෂියා සහ මර්ෂූකා මෙන් ම, දෙමළ ප්‍රදේශයේ රජිධිකා, මෛධිලී, මයුරා, විජයා මෙන් ම මුත්තුමාරි ද ප්‍රකාශ කළහ.

“එකාවගේ ජීවත් වෙච්ච මුස්ලිම්-දෙමළ අපේ බිඳුණු හදවත් හී මැකී ගිය පෙර ආදරය කොරටුව තුළින් නැවත හිමිකර ගැනීමට හැකි වූ නිසා, අපි දැන් එකට වැඩකරනවා. දරුවෝ එකට පාසැල් යනවා. සෙල්ලම් කරනවා. එකට සතුටු වෙනවා. ජීවිත දිනනවා.” ඒ, මඩකළපුව, අය්යන්කර්නි ග්‍රාමයේ දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවගේ සංහිඳියාවේ සහ සංවර්ධනයේ සැබෑ හඬයි!

චාරිකා සටහන සහ පිංතූර – මෙලනි මානෙල් පෙරේරා
ඉන්ටර්නිවුස් ශ්‍රී ලංකා ආයතන‍යේ අනුග්‍රහය යටතේ සම්පාදිත ලිපියකි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article