Friday, September 20, 2024

ආදරය, කෝපය සහ ඝාතනය…..

Must read

 

 

පහළ සටහන මා පලකළේ මීට අවුරුදු දෙකකට පෙරයි. යළිත් එවැනිම අවාසනාවන්ත සිදුවීමක් කොළඹ විශ්ව විද්‍යාලය ඇසුරින් දැන් අසන්නට ලැබී තිබේ.

ආදරය, කෝපය සහ ඝාතනය – මතක ඇති සිදුවීම් දෙකක්..!

පළමු වැන්න වසර 1992 දීය. සුරූපිණියක වූ මධුවන්ති කැළණිය විශ්ව විද්‍යාලයේ අවසන් වසර සිසුවියකි. පෙම්වතා තෙවන වසරේය. සරසවියට ඇතුලත් වන මාතර ප්‍රදේශයේ තරුණයාට මුලින්ම බහ දෙන්නේ දෙවන වසරේ මධුවන්තිය. එහෙත් එය එම අවස්ථාවේ සාර්ථක නොවූවද පසුව දළුලා වැඩෙන මිත්‍රත්වය පෙම් සබඳතාවක් බවට පත්වෙයි.

සරසවියෙන් සමුගැනීමට මාස කිහිපයක් තිබියදී මධුවන්තී සිය පෙම්වතාගෙන් දුරස්වීමට යත්න දරයි. වෙනස හැඟෙන ඔහු ප්‍රශ්න කරන අතර ඇයගේ වෙනස්වීමට හේතු පැහැදිලිවෙයි. ඇයට පිටරටක සිටින සිය ඥාතියෙකු සමග පෙර සිටම ප්‍රේම සම්බන්ධතාවක් පැවතින.

විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් අනතුරුව ඔහු සමග විවාහවී විදෙස්ගත වීම අරමුණු විය. එහෙත් සරසවි ප්‍රේමයද විසල් එකකි. තරුණයාට මෙය දරාගත නොහැක්කි. අවසන් තීරණය කුමක්දැයි විමසා දැනගත් ඔහු සාක්කුවට දමා රැගෙන ආ උල්පිහියකින් මිතුරු මිතුරියන් අභියසම කෝපයෙන් මධුවන්තිට ඇනුම් 25 ක් පමණ කළේය.

අනෙක් සාක්කුවේ දමාගෙන සිටි වස බෝතලයද පානය කළේය. දෙදෙනාම රෝහල්ගත කරනු ලැබූහ. මධුවන්ති දිවියට සමුදුන් අතර ඔහුගේ දිවි බේරිණ. ඝාතන චෝදනාවලට වරදකරු වූ ඔහුට පෝරකය නියම විය. එහෙත් නඩු තීන්දුව ප්‍රකාශයට පත්වන විටත් ඔහු රටින් පිටවී සිටියේය.

අනෙක වසර 2014 දීය. ඩිමාෂා, කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ දෙවන වසර සිසුවියකි. ඇල්පිටිය තල්ගස්වල,නියාගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. අදාළ දිනයේ ඇය කොළඹ ඒම සඳහා නිවසින් පිටත්ව තිබුණේ අළුයම 3.30 ට පමණය. ඇල්පිටිය බස්නැවතුම් පොළ පිටිපස ඉදිකෙරෙමින් තිබූ ගොඩනැගිල්ලක ඇය ඝාතනයට ලක්ව තිබිණ. එයද පිහි ඇනුම් සහ කැපීම් හේතුවෙනි.

සැකපිට ඇයගේ පෙම්වතා වූ කමාන්ඩෝ සෙබලා අත්අඩංගුවට ගනු ලැබිණ. ඔහු පාපොච්චාරණය කළේය. මෙය ගම් ප්‍රදේශයේදී ඇති වූ ප්‍රේම සම්බන්ධයකි. ඩිමාෂා කොළඹදීද එවැනි සබඳතාවක් ඇතිකරගත් බවට වූ සැකයක් සමග, එකඟතාවක් අනුව උදෑසන හමුව සිදුව තිබිණ. කතාබහ, බහින්බස්වීම දුරදිග ගොස් ඔහුගේ කෝපය ඩිමාෂාට මරුකැඳවා තිබිණ.

කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි චතුරි හංසිකා ඊයේ ඉතා කුරිරු ලෙස ඝාතනයට ලක්වන්නේද සිය පෙම්වතා අතිනි. දෙදෙනාම විද්‍යා පීඨයේ තෙවන වසර සිසුන් වන අතර ප්‍රේම සබඳතාව නතර කිරීමට හංසිකාට තිබූ ඕනෑකම මෙකී අවාසනාවන්ත සිදුවීමට හේතුව බව කියවෙයි.

මේ සෑම සිදුවීකම ආදරය සහ ජීවිතය තිබෙනවා. ආදරය නිසා ජීවිතය පවතිනවා වගේම නැතිවෙන අවස්ථාද ඇත. එනිසාම අතීතයෙන් හැකි පමණ හෝ පාඩම් ඉගෙනීමයි වැදගත්..!

|මහින්ද රුබසිංහ

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article