2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් වන විමර්ශනයේදී දුරකතන අංක 20ක් සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය අද (16) නියෝගයක් නිකුත් කළා.

අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළේ කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.

මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (16) අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඉකුත් සිකුරාදා දිනයේදී මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍යවරයාගේ සහ ඔහුගේ රියැදුරු දිලුම් තුසිත කුමාර යන අයගේ විදෙස් ගමන් තහනම් කරන නියෝගයක් ද අධිකරණය නිකුත් කර තිබුණා.

එහෙත් අධිකරණය අද එම තහනම ඉවත් කරමින් දන්වා සිටියේ විදෙස්ගත වීමට ප්‍රථම අධිකරණයට දැන්වීම පමණක් ප්‍රමාණවත් බවයි.

Newshub.lk