Saturday, May 18, 2024

වැඩි බලය කාටද? මේවනවිට පාර්ලිමේන්තුවේ සංයුතිය මෙන්න.

Must read

 

පවතින දේශපාලන අර්බුදය හමුවේ පාර්ලිමේන්තු මහජන නියෝජිතයින් පිල් මාරුකරමින් සිටින මොහොතක අද (30) වන විට එහි සංයුතිය සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ විශේෂ අවධානයක් යොමුව ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තේරී පත් වූ සියළු මන්ත්‍රීවරුන් මෛත්‍රී – මහින්ද අන්තර් කාලින ආණ්ඩුවට සහාය පළ කරන්නේ යැයි අනුමාන කලහොත් මේ වනවිට ඔවුන්ට හිමි මුළු මන්ත්‍රීවරුන් ගණන 95 දෙනෙකි. ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (EPDP) හි ඩග්ලස් දේවානන්ද මහතාගේ සහය ද හිමිව තිබුනේ ඔවුන්ටය.

එක්සත් ජාතික පක්ෂය යටතේ පාර්ලිමේන්තුවට තේරීපත්වූ විජේදාස රාජපක්‍ෂ, වසන්ත සේනානායක, ආනන්ද අලූත්ගමගේ හා වඩිවේල් සුරේෂ් යන අය සිව්දෙනා මේවනවිට මෛත්‍රී – මහින්ද අන්තර් කාලින ආණ්ඩුවට එක්වී අමාත්‍ය ධුර භාරගෙන තිබේ.

ඒ අනුව මෛත්‍රී – මහින්ද සන්ධානයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100කගේ සහය ලැබී ඇති අනුමාන කල හැක.

(උපුටා ගැනීම – parliament.lk)

එක්සත් ජාතික පක්ෂය යටතේ පාර්ලිමේන්තුවට තේරීපත් වූ මුළු මන්ත්‍රීවරුන් ගණන 106 දෙනෙකි. කතානායකවරයා හැරුණු විට ඔවුන්ගේ මන්ත්‍රීවරුන් ගණන 105 ක් වේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යටතේ වෙනම තේරීපත් වූ මන්ත්‍රීවරයෙකුගේ සහය ලැබී ඇත්තේ ද එක්සත් ජාතික පක්ෂයටය.

එක්සත් ජාතික පක්ෂය යටතේ තේරීපත්වූ මන්ත්‍රීවරුන් 4 දෙනෙකු මේ වනවිට මෛත්‍රී – මහින්ද හවුලට සහාය පළ කර ඇති නිසා මේ වනවිට එක්සත් ජාතික පක්ෂය සමග සිටින මන්ත්‍රීවරුන් ගණන 102 කට සීමා වී ඇත.

දෙමළ ජාතික සන්ධානයේ (ඉලංකෙයි තමිල් අරසු කච්චි) මන්ත්‍රීවරුන් ගණන 16 දෙනෙක් වන අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ගණන 06 දෙනෙකි.

මෛත්‍රී- මහින්ද අන්තර් කාලින ආණ්ඩුවකට හෝ එක්සත් ජාතික පක්ෂයේ හවුල් ආණ්ඩුවකට හෝ තම පක්ෂය කිසිඳු ආකාරයකින් සහය නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ මේවනවිටත් අවධාරණය කර ඇති අතර මේ අර්බුදයේදී කවර ස්ථාවරයක් ගත යුතු දැයි මෙතෙක් තීරණය කර නැති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

 මන්ත්‍රී ධුරයක් විකිනෙන මිල? – ඩොලර් මිලියන දෙකයි!

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් මෛත්‍රී – මහින්ද හවුලට හෝ එජාප හවුල් ආණ්ඩුවකට සහය නොදී ස්වාධිනවීමට ගෙන ඇති තීරණය මෙන්ම, එසේ ස්වාධිනවීමට යන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් මෙන්ම, එක්සත් ජාතික පෙරමුණේ හා මුස්ලිම්- දෙමල දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් බිලීබා ගැනීමට රාජපක්ෂවරුන් දරන වෙහෙස සම්බන්ධව අවධානය යොමු කිරීමේදී ඉදිරි දින කිහිපයේ බරපතල දේශපාලන ව්‍යකුලත්වයක් මතුවිය හැකි බව නියතයකි.

මේදිනවල මන්ත්‍රී ධුරයක් කැබිනට් ඇමතිකමකට අමතරව ඇමරිකානු ඩොලර් මිලියන දෙකකට විකිනෙන බවත් ඒ සඳහා විදෙස් රටකින් ආධාර ලැබී ඇති බවත් දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වේ.

මෙවැනි තත්වයක් තුල ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදය ජාත්‍යන්තරයේ විශේෂ අවධානයට ලක්වෙමින් තිබේ.
srilankamirror.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article