Monday, November 25, 2024

යාපනයේ හදවත්වලට තවමත් කළුවරද චන්දිරන්

Must read

 

යුද්ධය විසින් ඇති කළ කුරිරු බව අම්මාවරුන්ට නිදහසේ ඇස පියා ගැනීමට ඉඩ දුන්නේ නැත. දරුවන්ගේ ජීවිතාරක්ෂාව පැතූ අම්මලා දරුවන් තමන්ගේ සෙවණට එනතුරු මඟබලා සිටියේ නින්ද, කුසගින්න හෝ වෙනත් ශාරීරික වේදනාවන් අමතක කර දමාය.Chandiran

අවි බලයේ කුරිරු බවට ජාතිභේද අදාළ වන්නේ නැත. දකුණේ ඇති වූ අරගල හා රාජ්‍ය භීෂණය හමුවේත් උතුරේ යුද්ධය හමුවේත් අම්මාට සැනසිල්ලක් තිබුණේ නැත. සෙසු අයට ද එසේම බව කෙනෙකුට තර්ක කළ හැකි නමුත් ඒ සියල්ලන්ටම වඩා මව සහ දරුවන් අතර ඇත්තේ ජෛව විද්‍යාත්මකව බැඳුණු සෙනෙහසකි. ලේ කිරට හරවනු ලබන මහා සෙනෙහසකි. තිස් අවුරුද්දක් පුරා නිදි නොලැබ දරුවන් වෙනුවෙන් මඟ බලා සිටි චන්දිරන්ගේ අම්මාට තවමත් නින්ද යන්නේ නැත. චන්දිරන්ගේ අම්මා ‘පවුලම්මාය’.යාපනය නගරයේ කොටු බැම්මට නුදුරුව ඇති කඩ පේළියේ කෙළවරක ඇත්තේ චන්දිරන්ගේ කරවල කඩය ය. දඹකොළපටුනේ උපත ලද චන්දිරන්ට ජීවිතය පිළිබඳ බොහෝ බලාපොරොත්තු, අපේක්ෂාවන් තිබුණේය. පාසලෙන් සාමාන්‍ය පෙළ, උසස් පෙළ සමත් වී රජයේ රැකියාවක නිරත වී පවුලේ බර සැහැල්ලු කිරීමට සිතූ චන්දිරන්ට ගමට නුදුරින් තිබූ පාසලේ ඉගෙන ගැනීමට ලැබුණේ දහයේ පන්තියට පමණි. යුද්ධය විසින් චන්දිරන්ගේ බලාපොරොත්තු කුඩුපට්ටම් කරන ලදී. උසස් අධ්‍යාපනය ලබා රැකියාවක් කිරීමේ අපේක්ෂාවේ සිට චන්දිරන් අපේක්ෂා කළ සිහින සියල්ලම යුද්ධය විසින් ගිල ගත්තේය. දැන් ඔහුට ඉතිරිව ඇත්තේ අයියා සමඟ හවුලේ පවත්වාගෙන යනු ලබන කරවල කඩයේ ව්‍යාපාරික ජීවිතය පමණි.

දඹකොළපටුන වැල්ලට නුදුරු සරුසාර බිම් තීරයක චන්දිරන්ගේ නිවස පිහිටා තිබුණේය. නිවසට නුදුරු සරුසාර වගා බිම චන්දිරන්ගේ මතකයේ තවමත් ඇවිළෙමින් තිබේ. 1990 වසරේ කිසියම් දවසක තමන් උපන් නිවසත් ගමත් සියල්ල අතහැර අයියා අක්කා සමඟ චන්දිරන් පදිංචියට ගියේ පේදුරුතුඩුවටය. එතැන සිට චන්දිරන්ට ජීවත් වීමට සිදු වූයේ තාවකාලිකව තැනූ සෙල්ලම් ගෙවල් වැනි ඉටි රෙදි කූඩාරම්වලය. එසේත් නැත්නම් අඩි හයක් හතක් පොළොව යට බිම්ගෙයකය.

එසේත් නැතිනම් අනාථ කඳවුරක අතපය දිගහරින්නට පමණක් ඉඩ ඇති කුඩා බිම්කඩකය. යන එන ගමන් වාරවල දී තමන් සමඟ ගමන් කළ ඥාතීන් එකිනෙකා මහමඟ මැරී වැටෙනු චන්දිරන්ගේ ඇස්වලින් දැක්කේය. තරුණ වයසේ පිරිමියකු වන චන්දිරන් ඒ අමිහිරි මතකය මැද්දේ ජීවිතය රැකගැනීම පවා පුදුමයකි. වෙඩි උණ්ඩ සහ ෂෙල් ප්‍රහාර මැද්දේ ජීවත් වූ චන්දිරන් අප සමඟ කී කතාව යුද්ධයේ කුරිරුභාවය කොතෙක්ද යන්න පසක් කර දෙන්නකි.

“මමයි, අයියයි, අක්කයි පේන්න හිටියේ නැත්නම් අම්මා නිදියන්නේ නෑ. ඉන්න තැන කොතන වුණත් අපිට නිදාගන්න

කියලා අම්මා අවදියෙන් හිටියා. අවුරුදු ගාණක් තැනින් තැනට මාරු වෙලා ජීවත් වුණත් ඒ හැම දවසකම අම්මා රෑට නිදාගත්තේ නෑ. එදා විතරක් නෙවෙයි අදත් අම්මට රෑට නින්ද යන්නෙ නෑ”

ඒ ඇයිදැයි චන්දිරන්ගෙන් මම ඇසූ පැනයට චන්දිරන්ට පිළිතුරක් ලබා දීමට තේරුමක් නැතත් ඔහු කීවේ අම්මා නිදිමැරුවේ අපේ ආරක්ෂාවට කියාය. චන්දිරන්ගේ අම්මා පවුලම්මා වුවත් චන්දිරන්ගේ පියා කවුදැයි කියන්නට චන්දිරන් දන්නේ නැත. යුද්ධය ඇවිළී යන බිමක දරුවන්ට පියෙකු පවා නැති පසුබිමක මවකට කවර නම් සැනසිලිදායක නින්දක්ද? චන්දිරන්ගේ අම්මා පිළිබඳ කියැවීම යනු යුද්ධයට ගොදුරු වූ සියලු අම්මලාගේ කියැවීමය. යුද්ධයේ කුරිරු බවට මුහුණ දුන් බොහෝ මව්වරුන්ට තවමත් හරිහැටි නින්ද යන්නේ නැත. ඇතැම් අම්මාවරු අතුරුදන් වූ තම දරුවන් සොයා කොළඹට එන්නේ තල්ගොබ (කොට්ටකිලංගු) විකුණා මහත් වැර වෑයමින් උපයාගත් මුදල්වලිනි. රුදුරු භීෂණය අවසානයේ චන්දිරන්ගේ පවුලේ සාමාජිකයන් ජීවිත ගලවාගනු ලැබුවත් ඔවුන්ගේ ඥාතීන් ආගිය අතක් නැත. “මොනවා වුණාද දන්නේ නැහැ” චන්දිරන්ගේ පිළිතුරය.

පේදුරුතුඩුවේ තාවකාලික පදිංචියට ගිය චන්දිරන් ඇතුළු පවුලේ සාමාජිකයන් ලැබූ කටුක අත්දැකීම් චන්දිරන් අපට කීවේ මෙලෙසිනි. “පිටි ග්‍රෑම් 250 යි, හාල් ග්‍රෑම් 200 යි, පොල්තෙල් ග්‍රෑම් 400 යි, ලාම්පු තෙල් ග්‍රෑම් 200 යි එක පවුලකට ලැබුණේ. සබන් කැටයක් රුපියල් සීයයි, පොල් ගෙඩියක් රුපියල් සීයයි. අපිට ඒවා නම් පාවිච්චි කරන්න වත්කමක් තිබුණේ නෑ. අවසන් යුද්ධය යන අතරවාරයේ අපි හිටියේ අනාථ කඳවුරුවල. කඳවුරෙන් පිට මොනවා වෙනවාද කියලා අපි දැනගෙන හිටියේ නෑ. අපි අතහැරලා ආපු ගෙවල් දොරවල් වල් බිහි වෙලා හරි ඉතිරි වෙලා ඇති කියලා අපි හිතුවා. ඒත් එහෙම වුණේ නෑ. ආයිත් ගමට එද්දී අපේ ගෙදර තිබුණු තැන හොයාගන්නවත් තිබුණේ නෑ.” චන්දිරන් මේ කියන්නේ දඹකොළපටුනේ සරුසාර බිම් තීරයක අකැමැත්තෙන් අතහැර ගිය සාර භූමිය පිළිබඳවය.

“කටු පඳුරු ගාලක් තිබුණේ. ගෙදර බිත්ති පවා මහ පොළොවට දියවෙලා ගිහින් තිබුණා වගේ. ඒත් කමක් නෑ කියලා අම්මා කිව්වේ අපේ ජීවිත බේරුණු නිසා. 2010 දඹකොළ පටුන ඉඩමේ පදිංචියට අපි ආවා. ඉඩම සුද්ද කරලා ජීවත් වෙන්න තැන් තැන්වල කුලී වැඩ කළා” ඒ කාලය තුළ අද මෙන් පහසු හෙවණක් චන්දිරන්ට තිබුණේ නැත. දැන් අම්මා අයියා අක්කා සමඟ චන්දිරන් එකම හෙවණක හිටියත් ජීවිතවල මඟහැරීම් බොහොමයකි. චන්දිරන්ගේ අක්කාගේ විවාහ වන වයස කාලය විසින් උදුරාගෙන ඇත. අතීතයේ මතකයේ තිබූ අපේක්ෂාවන්ට සමු දුන් චන්දිරන් යාපනය නගරයේ කොටු බැම්ම සමීපයේ කෙළවරක අයියා සමඟ එකතුව කරවල විකිණීමේ ව්‍යාපාරයක් ආරම්භ කරනු ලැබීය. පොලියට ගත් ණය මුදලකින් ආරම්භ කළ සුළු ව්‍යාපාරය අද චන්දිරන්ගේ පවුලේ ප්‍රධාන ජීවනෝපාය වී ඇත්තේය.

කෙතරම් වේදනාබර අතීතයක් තිබුණත් චන්දිරන්ගේ අද දවස ගෙවෙන හැටි පිළිබඳව ඔහුට ඇත්තේ මහත් සැනසීමකි. යාපනයට එන සංචාරකයන් කරවල, මෝරු මිරිස් ඇතුළු නිෂ්පාදන මිලදී ගන්න නිසා දවසේ වියදම සරිකර ගන්නට ලැබීම පවා චන්දිරන් භාග්‍යයක් කොට සලකන්නේය. කිසිවකු ආධාර අනුබල නොදුන්න ද මේ ස්වයං රැකියාව තුළින් තමන්ගේ ජීවන ගමන ඒකාලෝක කර ගැනීමට ඔහු මහත් අපේක්ෂාවෙන් සිටින්නේය.

යාපනය අර්ධද්වීපයේ ධීවර තොටුපළවලින් එන සෑම වර්ගයකම කරවල චන්දිරන්ගේ කරවල කඩයේ තිබේ. චන්දිරන්ට කරවල සපයන වෙළෙන්දන් ද තිස් අවුරුද්දක් පුරා විවිධ අඩන්තේට්ටම්වලට මුහුණ දුන් අයය. හරියටම කිවහොත් ඔවුන් චන්දිරන් සේම යුද අනාථයන් වූ අයය. චන්දිරන්ගේ කරවල ව්‍යාපාරය  නිසා ඔවුන්ට ද අතමිට සරු වී ඇත. අමතක කළ නොහැකි වේදනාවක් ජීවිත පතුලේ තිබිය දී සිනහමුසු මුහුණින් චන්දිරන් කරවල වෙළෙඳාමේ යෙදුණත් සාප්පුව වසා ගෙදර එනතුරු චන්දිරන්ගේ අම්මා තවමත් මඟ බලා සිටින්නීය. මධ්‍යම රාත්‍රියේ පවා නිදි නොලැබ ඇයගේ ජීවිතය ගෙවෙන්නේය. නින්ද නොයෑමට කොපමණ ප්‍රතිකාර කළත් මහා ඛේදවාචකය විසින් තවමත් චන්දිරන්ගේ අම්මාට සැනසිලිදායක නින්දක් උරුම කර දී නැත.

–       – දයා නෙත්තසිංහ

www.sathhanda.lk

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article