ඔක්තෝබර් 26 වැනිදා රාත්‍රියේ සිදුවූ ආණ්ඩු පෙරළිය අන් කිසිවක් නොව 2015 පෙර තිබූ කළු දශකයේම දිගුවක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියයි. ඉතිහාසයේ සිදුවූ අයුරින්ම නැවතත් සිදුවෙමින් පවතින්නේ බල සූදුවක් නිර්මාණය වීම බවත් එයින් මුළාවේ නොවැටී අයිතිවාසිකම් වෙනුවෙන් පුළුල් කතිකාවක් ගොඩනැගීම කෙරෙහි ජනතාවගේ අවධානය යොමු කරවන බවත් දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.බත්තරමුල්ල ජවිපෙ කාර්යාලයේදී පැවැති එම මාධ්‍ය සාකච්ඡාවේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා අදහස් දැක්වූයේ පහත ආකාරයෙනි.

අද මේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ 26 වැනිදා රාත්‍රීයේ සිදුකළ දේශපාලන වෙනස්කම් සහ ඉදිරියේදී සිදුවිය හැකි දේ පිළිබඳව පක්‍ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ අදහස රටට කියන්නයි.

අපි කව්රුත් දන්නවා, 2015 අවුරුද්දේ ජනාධිපතිවරණය වෙනුවෙන් පුළුල්තම දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගුවා. දේශපාලන පක්‍ෂ, සිවිල් සංවිධාන, පුරවැසියන්, ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළා. නමුත් ඒ ගොඩනැගූ ජනතා බලවේගය මුළුමනින්ම කොල්ල කාලා රනිල් – මෛත්‍රී හවුල් ආණ්ඩුව පසුගිය අවුරුදු තුන හමාරක කාලය තුළ මුළුමනින්ම එම ජනවරමට පිටුපෑවා.

රනිල් වික්‍රමසිංහත්, මෛත්‍රීපාල සිරිසේනත් තමන්ගේ දේශපාලන බල උවමනාව වෙනුවෙන් මාරුවෙන් මාරුවට වංචනිකයන්ව ආරක්‍ෂා කළා. අපේ රටේ වංචාව-දූෂණය නතර කරමින් යහ පාලනයක් ගොඩනැගීම පිළිබඳ අපේක්‍ෂාව එම බල හුවමාරුවේ තිබුණා. හැබැයි රනිල් වික්‍රමසිංහත් ඔහුගේ හවුල්කාර කණ්ඩායමත් කටයුතු කළේ මහා පරිමාණ වංචාවල සහ දූෂණ වල යෙදෙමින් ජනවරමට මුළුමනින්ම පිටුපා යන අන්දමින්.

ආර්ථික වශයෙන් විශාල පීඩාවකට පත්ව සිටින ජනතාවකට ජීවත් වීමට අවශ්‍ය අවම සහන, රැකියා උත්පාදනය, ආදායම් මාර්ග ඉහළ දැමීම, අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි සේවාවන් වර්ධනය කිරීම ගැන අපේක්‍ෂා ඒ ජනවරමේ තිබුණා. හැබැයි රනිල්-මෛත්‍රී ආණ්ඩුව ක්‍රියා කරමින් හිටියේ ජනතාව තව තවත් පීඩාවට පත්කරමින් දේපොළ මංකොල්ල කමින්, ජනතාව මත අසීමිත බදුබර පටවමින් දිනපතා භාණ්ඩ මිල ඉහළ දැමීමේ විනාශකාරී ක්‍රියාමාර්ගයක.

එදා එම ජනවරමේ අපේ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා අවශ්‍ය සම්පත් ආරක්‍ෂා කර ගැනීම පිළිබඳ පරමාර්ථය ගැබ්වී තිබුණා. නමුත් සිදුකළේ ජාතික සම්පත් විනාශයට යවමින් පහුගිය අවුරුදු තුන හමාර පුරා මේ දෙදෙනාම 2015 ලබාදුන් ජනවරමට පටහැනිව කටයුතු කිරීමයි. එහි තීරණාත්මක සිදුවීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 26වැනිදා සිදුකළා. ඔහු බලයට ගෙනඒම සඳහා කටයුතු කළ මුළු ජනතා අපේක්‍ෂාව අළුයම ලූ කෙළ පිඩක් සේ විසිකර දමා තමන්ගේ සතුරන් බවට පත් වූ කණ්ඩායම් සමග අතිනත ගැනීමක් සිදුවුණා.
මේ දේශපාලන සිදුවීමෙන් අපට කියා පාන්නේ කුමක්ද?
පොත් දහස් ගණනක් කියවලා ඉගෙන ගන්න බැරි පාඩම් එක් දේශපාලන සිදුවීමකදී මිනිස්සුන්ට ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න පුළුවන්. අපේ රටේ දේශපාලනයේ තිබෙන කැත, නිර්ලජ්ජිත, කුමන්ත්‍රණකාරී ස්වභාවය මේ සිදුවීම්වලින් පැහැදිළියි.

2015 රනිල්-මෛත්‍රී හවුල ගොඩනැගෙන්නේත් පොදු ජනයාගේ උවමනාවන් අනුව නොවෙයි. බලය වෙනුවෙන් රනිල්ට මෛත්‍රීගේ සහාය අවශ්‍ය වුණා. මෛත්‍රීගේ පැත්තෙන් මුළු මැතිවරණ කාලය පුරාම තිබූ විවේචනය ඔහු අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කළ කාලයේ අත්විඳි හිංසනයයි. ඒ නිසා එදත් ඔහුට තිබුණේ පෞද්ගලික බල උවමනාවන්. ඒ වගේම 2015 මහ මැතිවරණයෙන් පස්සේ දෙන්න එකතු වෙලා හවුල් ආණ්ඩුවක් හැදුවේ, අමාත්‍යධූර වැඩිකළේ මේ දෙදෙනාගේම බල පංගුව ආරක්‍ෂා කර ගන්න.

එදා රාජපක්‍ෂගේ කළු දශකයේ විශාල චෝදනාවන්ට ලක්වූ පිරිස් ආණ්ඩුවට අරගෙන මෛත්‍රී-රනිල් දෙන්නා තමන්ගේ කැබිනට් මණ්ඩලයේ වාඩිකර ගත්තා. ඒ ජනතාව වෙනුවෙන් නෙවෙයි.

ජාතික ආණ්ඩුව ගොඩනැගුවෙත් බල පොරය වෙනුවෙන් මිස ජනතාව වෙනුවෙන් නොවේ. එදා මුලදී ජනතාවට කිව්වේ අවුරුදු දෙකකට ජාතික ආණ්ඩුව ගොඩනගන බවයි. හැබැයි විවිධ අවස්ථාවල දීර්ඝ කර ගනිමින් ඉදිරියට ගියා. ව්‍යාජ ජාතික ආණ්ඩුව පිටුපසත් කාලය දීර්ඝ කර ගැනීම පිටුපසත් තිබුණේ පොදු ජනතාවගේ උවමනාවන් නෙවෙයි. පසුගිය කාලය පුරාවටම මේ දේශපාලන පක්‍ෂ යැයි කියාගන්නා කල්ලි එකතු වෙන්නෙත් වෙන් වෙන්නෙත් ගහ ගන්නෙත් ආයේ යාළු වෙන්නෙත් පොදු ජනයාගේ උවමනාවන් වෙනුවෙන් නොවෙයි. ඔවුන්ගේ බල උවමනාවන් වෙනුවෙන්.

අන්න ඒ බල උවමනාවේ කැත, නිර්ලජ්ජිත කුමන්ත්‍රණකාරී පියවරක් තමයි 26වැනිදා මේ රටේ ජනතාවට එළිදරව් වුණේ. මෛත්‍ර්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදීම කියා තිබුණා, ජනාධිපතිවරණය පරාජය වූවා නම් ඔහුගේ පවුලේ සියලු දෙනා ජීවතුන් අතර නොහිටින තත්ත්වයක් නිර්මාණය වී තිබූ බව කිව්වා. ඒ කිව්වේ කුමක්ද? මහින්ද රාජපක්‍ෂ ජයග්‍රහණය කළා නම් ඔහු සැලසුම් කොට මෛත්‍රීපාල සිරිසේනගේ පවුලේ සියලු දෙනා ඝාතනය කරන බවයි රටට කිව්වේ.

අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කළ, මේ කියූ ඝාතනය පිළිබඳව ප්‍රකාශ කරමින් දැන් අතිනත ගෙන සිටිනවා. දේශපාලනයේදී සාමාන්‍යයෙන් විවේචනයට ලක්වෙන්නේ දේශපාලන කරුණුයි. හැබැයි මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් දේශපාලන කරුණුවලින්  එහා ගිය නමේ ස්වභාවය, ශරීරයේ ස්වභාවය, වචන උච්ඡාරණය, හැසිරීමේ ස්වභාවය ආදී වශයෙන් කවර දේශපාලනඥයෙකු සම්බන්ධයෙන් හෝ එල්ල නොකළ යුතු තරම් පහත් කොට සැලකීම, අවලාද නැගීම, අපිට දකින්න ලැබුණා.

රාජපක්‍ෂ කඳවුරේ මෛත්‍රීපාල පිළිබඳව තිබු විවේචනය හිටං, හුටං, ආප්පයා, වගේ වචනවලින් ප්‍රකාශ වුණා. හැබැයි ඒ මෛත්‍රීපාලයි ඒ මහින්ද රාජපක්‍ෂයි එකට එකතු වුණා. මේ රට ආර්ථිකමය වශයෙන් මුහුණ දී තිබෙන අර්බුදය, ජනතාව වෙනුවෙන්, සමාජයීය කඩා වැටීම, වගේ කරුණුවලින් ගොඩගන්නද මේ එකතු වුණේ? මේ එකතු වෙලා හැදෙන්නෙත් 2015ට කලින් තිබුණු එකමයි. එහෙනම් ඒක පරාජය කළේ මොකටද? කළු දශකය තුළ විනාශකාරී අත්දැකීම් ලබාදී තිබුණු නිසයි මේ රටේ ජනතාව ඒ පාලනය පරාජයට පත් කළේ. දැන් නැවත අටවා ගන්නේ 2015ට කලින් තිබුණු කළු දශකයේම දිගුවයි.
lankadeepa.lk