ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය 03 වනදා අමාත්‍යවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව ගොස් ඇති අතර එමීරයේ අගනුවර වන අබුඩාබි නුවරදී මෙම විශේෂ හමුව සිදු වූ බවද එම රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ සංදේශයක් එරට විදේශ අමාත්‍ය අන්වර් බින් මොහොමඞ් ගර්ගාෂ් මහතා හමුවේ බාර දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
දැනට ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ඇතුළු දෙරට අතර බලපාන ද්විපාර්ශවික ගැටලු නිරාකරණය කර ගැනීම් පිළිබඳවද තිලක් මාරපන අමාත්‍යවරයා එමීර් විදේශ අමාත්‍යවරයා සමඟ දීර්ඝ සාකච්ඡා පවත්වා ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් කිහිපදෙනෙකුම පසුගිය දින කිහිපයේදී නිල දැනුම්දීමකින් තොරව ලංකාවට එවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් පත්ව ඇති අපහසුතාවය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා එමීර් විදේශ අමාත්‍යවරයා හමුවේ කරුණු සැලකර ඇතැයිද දැන ගන්නට ලැබේ.
මෙම සංචාරය අමාත්‍යවරයා පෙර සැලසුම් කළ සංචාරයක් නොවන බවද රජයේ ආරංචි මාර්ග කියා සිටී.
මේ අතර විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සහ එමීර් විදේශ කටයුතු අමාත්‍යවරයා අතර සිදුවූ මෙම හමුව සම්බන්ධයෙන් එමීර් විදේශ කටයුතු අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ තොරතුරු දක්වා ඇතිර අතර එහි සඳහන් වන්නේද තිලක් මාරපන අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාගේ පණිවිඩයක් එරට විදේශ ඇමති බාර දුන් බවය.
(Lankadeepa.lk)