Monday, May 20, 2024

මත්ද්‍රව්‍ය ජාවාරම අතුගා දැමීමට ජනාධිපති රනිල්ගේ සහය මට තියෙනවා – අමාත්‍ය ටිරාන් අලස්

Must read

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා  ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ‘යුක්තිය’ නමින් දිවයින පුරා ක්‍රියාත්මක කර තිබෙන විශේෂ මෙහෙයුම සම්බන්ධව අදහස් දක්වමින් කියා සිටියේ මෙම මෙහෙයුම සාර්ථක කරගැනිමට කවුරු නැතිවුවත් ජනාදිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  සහයෝගය නොඅඩුව ලැබෙන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් මෙරටින් මර්දනය කිරීමේ මෙහෙයුම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ ආශිර්වාදය ලැබී තිබෙන බවත් එබැවින් කුමන බලපෑමක් පැමිණියත් එම මෙහෙයුම් කිසිසේත්ම නතර නොකරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

තිස් වසරක යුද්ධය නිමා කිරීමට ජනතාව ලබා දුන් සහාය මේ මොහොතේදි රටටම පිළිලයක්ව පවතින මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා ද අවශ්‍ය බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

‘යුක්තිය’ නමින් දිවයින පුරා ක්‍රියාත්මක කර තිබෙන විශේෂ මෙහෙයුම සම්බන්ධව මේ වන විට සමස්ත රටේම කතාබහට ලක්ව තිබෙනවා. මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මේ රටේ දිගින් දිගටම පැවතුණා. එම නිසා මෙම ක්‍රියාකාරකම් කවුරුන් හෝ නතර කළ යුතුයි. ඒ නිසා මෙරටින් මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් නතර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මම තීරණය කළා. ඒ අරමුණින් තමයි ‘යුක්තිය’ මෙහෙයුම ආරම්භ කළේ. මෙම කටයුත්තේදී ප්‍රජා පොලිස් කමිටුවලට ද විශේෂ වගකීමක් පැවරී තිබෙනවා.

ඒ වගේම මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීමට ජනතාවගේ සහාය වගේම විශේෂයෙන්ම මාධ්‍යයේ සහාය ද අවශ්‍යයි. එදා යුද සමයේ ඔබ සියලු දෙනා එක්ව ආරක්ෂක අංශවලට සහයෝගය ලබා දුන්නා. තිස් අවුරුදු යුද්ධය තිබුණේ උතුර නැගෙනහිර පමණයි. නමුත් මේ යුද්ධය රට පුරාම ව්‍යාප්තව තිබෙනවා. මහජනතාවගේ සහාය හිමිවීම පොලිසියට විශාල ශක්තියක්. ඒ නිසා මෙම මෙහෙයුමට අවශ්‍ය සහාය සහ නිවැරදි තොරතුරු ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා. එසේ වුවහොත් ලබන වසරේ ජුනි මස වන විට මෙරටින් මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් තුරන් කිරීමට හැකිවෙනු ඇතැයි මා විශ්වාස කරනවා.

ඒ වගේම මෙරටට මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීමට නාවික හමුදාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. පළමුව මේ මෙහෙයුම යටතේ බෙදාහැරීම් ජාලය නතර කළ යුතුව තිබෙනවා. දෙවනුවට මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පාතාල ක්‍රියාකාරකම් නතර කළ යුතුයි. තෙවනුව මත්ද්‍රව්‍ය භාවිත කරන අය සම්බන්ධවත් විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. මත්ලෝලීන් වෙනුවට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන විශේෂ අවධානයක් යොමු කරන ලෙස මම පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නා.

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ පාතාලයට සම්බන්ධ 4665ක පිරිසක් සිටින බවට අපට බුද්ධි වාර්තා ලැබී තිබෙනවා. මේ සියලුම දෙනාවම අත්අඩංගුවට ගන්නා ලෙසට මා උපදෙස් දී තිබෙනවා. පසුගිය දින 4 තුළ පමණක් එම බුද්ධි වාර්තාවේ සිටින 731ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුමේදී බුද්ධි අංශ වාර්තාවල සඳහන් නොවූ සැකකරුවන් ද අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා. මීට අමතරව තවත් 8451ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතරින් 346ක් සඳහා රැඳවුම් නියෝගය ද, වත්කම් විමර්ශන කටයුතු වෙනුවෙන් 61ක් ද, 697ක් පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබෙනවා.

ඒ වගේම පසුගිය දින 4තුළ සිදුකළ වැටලීම්වලින් රුපියල් මිලියන 431ක වටිනාකමකින් යුත් ගංජා, හෂීස්, හෙරොයින්, අයිස්, ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. සැකකරුවන්ට අයත් වාහන, නිවාස, දේපළ ඇතුළු වත්කම් බැරකම් වශයෙන් සැලකූ විට ඒවායෙහි වටිනාකම රුපියල් මිලියන 162ක් පමණ වෙනවා. එම නිසා මේ මෙහෙයුම කොතෙක් දුරට සාර්ථක ද කියා ඔබ සැමට පෙනෙන්නට තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් සෑම භාණ්ඩයක්ම අධිකරණ ක්‍රියාමාර්ග හරහා රාජසන්තක කිරීමට කටයුතු කරනවා.

මෙම මෙහෙයුම ආරම්භ කිරීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මා සාකච්ඡා කළා. මෙරටින් මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම පාතාල ක්‍රියාකාරකම් තුරන් කළ යුතු බව එතුමාගේ ද ස්ථාවරය වී තිබෙනවා. එම නිසා ජනාධිපතිතුමාගේ ආශිර්වාදය මත සිදුකරන මේ මෙහෙයුම කුමන බලපෑමක් පැමිණියත් නතර කරන්නේ නැහැ. මේ මෙහෙයුම සතියකින් නතර කරන්නේ නැහැ. එය අප අඛණ්ඩවම ක්‍රියාත්මක කරනවා. මෙරට මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් නතර කර ඉදිරි අනාගත පරපුරට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් අපි නිර්මාණය කරනවා.

ඒ වගේම ළමා හා කාන්තා අපයෝජන සම්බන්ධව ද පැමිණිලි ලැබෙමින් තිබෙනවා. මේ අපචාර නතර කිරීමටත් පොලිස් හදිසි ඇමතුම් අංකය වැනි විශේෂ අංකයක් ලබන ජනවාරි මස පළමු සතියේ සිට හඳුන්වා දීමට කටයුතු කරන ලෙසත් මා උපදෙස් දී තිබෙනවා. මේ විශේෂ දුරකථන අංකය යටතේ කටයුතු කරන්නේ කාන්තා පොලිස් නිලධාරිනියන්. බොහෝ විට කාන්තාවන් සිය ප්‍රශ්න පොලිස් නිලධාරීන්ට පැවසීමට මැලිකමක් දක්වනවා. එම නිසා පැය 24 පුරා ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම් මැදිරියෙහි පොලිස් කාන්තාවන් පමණක් යෙදවීමට පියවර ගෙන තිබෙනවා. මීට අමතරව දමිළ භාෂාවෙන් පමණක් පැමිණිලි ඉදිරිපත් කළ හැකි නව අංකයක් හඳුන්වාදීමට ද සැලසුම් කර තිබෙනවා.

news.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article