ඔස්ට්‍රේලියාවේ සිට මැලේසියාව දක්වා පියාසරකරමින් තිබූ සිය ගුවන්යානයේ ගමන අඩාල කරන ලද්දේ ශ්‍රී ලාංකික මගියෙකු විසින් බව මැලේසියානු බලධාරීහු පවසති.
මෙල්බර්න් ගුවන්තොටුපළින් ගුවන්ගත වූ මෙම යානය ක්වාලාලම්පුර් නුවර බලා විනාඩි තිහක් පමණ පියාසර කිරීමෙන් අනතුරුව එය ආපසු හරවා නැවත මෙල්බර්න් ගුවන්තොටුපළට පැමිණ තිබේ.
තමන් අත බෝම්බයක් ඇති බව පවසමින් එහි සිටි ශ්‍රී ලාංකික මගියා බලහත්කාරයෙන් නියමු මැදිරියට ඇතුළුවීමට උත්සාහ දරා තිබේ.
මැලේසියාවේ ප්‍රවාහන කටයුතු භාර නියෝජ්‍ය ඇමති අබ්දුල් අසිස් බින් කප්රාවී කියා සිටියේ මෙම මගියා බීමත්ව සිටි බවක් පෙනෙන්නට ඇති බවය.
කාර්ය මණ්ඩලය බිය වැද්දීම සඳහා තමන් අත බෝම්බයක් ඇති බව පවසා ඇති නමුත් එය කුඩා බැටරියක් බව හඳුනාගෙන ඇතැයි නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේය.
![ගුවනයානයට සන්නද්ධ පොලීසිය කැදවූ අවස්ථාවේ ගත් ඡායාරූපයක්](http://citizenpostlk.com/wp-content/uploads/2017/06/96290446_c07694f4-228b-4c23-a8a6-ab3a6f578543.jpg)
MH 128 ගුවන් යානය ආරක්‍ෂා සහිතව ආපසු ගොඩ බැස්වූ බවත් ශ්‍රී ලාංකික මගියා අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් මැලේසියානු ගුවන් සමාගම පවසයි.
වික්ටෝරියා පොලිසිය ප්‍රකාශ කළේ ඔහුට නියමු මැදිරියට ඇතුළුවීමට නොහැකිවී ඇති බවය.
මීට පෙර ශ්‍රී ලාංකිකයෙකු විසින් ගුවන් යානයක් පැහැර ගනු ලැබූ බව වාර්තා වූයේ 1982 වසරේදී ය.
අලිතාලියා ගුවන් සමාගමට අයත් එම ගුවන් යානය පැහැර ගනු ලැබුවේ සේපාල ඒකනායක විසිනි.
උපුටාගැනීම – http://www.bbc.com/sinhala